[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුපින්බර චරිතාදර්ශයෙන් සඟ සසුන ඒකාලෝක කරන මහා යතිවරයාණන් වහන්සේ මිරිස්සේ ධම්මික නාහිමි

සුපින්බර චරිතාදර්ශයෙන් සඟ සසුන ඒකාලෝක කරන මහා යතිවරයාණන් වහන්සේ

මිරිස්සේ ධම්මික නාහිමි

ප්‍රභාසම්පත්තියෙන් යුක්ත පූර්ණ චන්ද්‍ර මණ්ඩලය ගගන තලය ශෝභාවත් කරන්නේ යම් සේ ද, ඒ ආකාරයෙන් ම සීල සම්පත්තියෙන් පරිපූර්ණ භික්ෂූන් වහන්සේ තපෝවනය ශෝභමාන කරති” යන උතුම් බුදු වදන පසක් කරමින් සීලයෙන්, ගුණයෙන් යුතුව සම්බුදු සසුන ශෝභාවත් කරමින් දෙස් විදෙස් සතහට දහම් මඟ විවරකර දෙන ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමිපාණන් වහන්සේගේ පෙබරවාරි 05 වන දිනට යෙදෙන ජන්ම දිනය නිමිත්තෙනි.

දුටු දුටුවන්ගේ සිත් සතන් පහදවන පැවැත්මෙන් යුතු අප නා හිමිපාණන් වහන්සේ සීලයෙන් ද, ගුණයෙන් ද, බහුශ්‍රැතභාවයෙන් ද ධර්ම ඤාණයෙන් ද පිරිපුන් වෙති. උන්වහන්සේ සැබෑ ම චරිතාදර්ශයකි. බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන කේන්ද්‍ර කර ගනිමින් ලක්වාසී, ලෝකවාසී සැමට තථාගත සම්බුදු දහම උන්වහන්සේගේ සුමිහිරි සුගම්භීර හඬින් දේශනා කරනුයේ නිරපේක්ෂක මනසිනි.

මිරිස්සේ ධම්මික හිමිපාණන් වහන්සේ දක්ෂ ධර්ම දේශකයාණන් වහන්සේ නමකි. උන් වහන්සේගේ ධර්ම දේශනා ශෛලිය උන්වහන්සේට ම සුවිශේෂි වූවකි. උන්වහන්සේ ගේ මුවින් ගිලිහෙන ළයාන්විත දහම් පද ගැඹුරු අරුත් දනවන සුළුය. වචන ගැලපීම මධුර මනෝහර ය. ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාවත්, ප්‍රඥාවත් අවදි කරවන සුළුය. උන්වහන්සේට ධර්ම දේශනය ගැන ඇත්තේ අති මහත් දක්ෂතාවයකි. එම දේශනාවන් සිතක් නිවන සුළු වෙයි. උන්වහන්සේගේ ගැඹුරු ස්වරය හදවතම ස්පර්ශ කරයි. නිතැතින්ම ශ්‍රාවකයා තෙරුවනට බැඳී යයි.

සිරිසුදසුන් පින්බිමෙහි සිංහල හා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පවත්වන දහම් පාසල් දෙකකි. තුන්දහසකට වැඩි දූ දරුවන් දහම් අධ්‍යාපනය ලබති. උදෑසන බුද්ධ පූජාවෙන් පසු දරුවන්ට සෑම ඉරිදා දිනකම හා සෙනසුරාදා දිනකම උන්වහන්සේට ම ආවේණික වූ කාරුණික වදනින් දරුවන් අමතා අනුශාසනා කරනුයේ ඉතාම කරුණාවෙනි. ඒ කාරුණික වදනින් ජීවිත සුවපත් කරගත් දරුවන් දසදහස් ගණනින් වෙති.

සෑම පොහෝ දිනකම සීල, සමාදාන වැඩසටහන ද සෑම සෙනසුරාදා දිනකම භාවනා වැඩසටහන ද පොදුවේ සියලු ආගමික කටයුතු ද පවත්වන අතර දහස් ගණනින් පිරිස ද සහභාගි වෙති. ප්‍රඥා ප්‍රභා සංවිධානය අරඹමින් මාසිකව ධර්ම ග්‍රන්ථ රචනා කොට පළකරමින් බොහෝ දෙනකුගේ දහම් පිපාසය සංසිඳුවාලති. ආගමික වශයෙන් මෙන්ම සාමාජික වශයෙන් ද උන්වහන්සේ සිදුකරනු ලබන සේවය අතිමහත් ය. පාරමී සංවිධානය ඇති කොට එමඟින් විවිධ සමාජ සුබසාධන කටයුතු රාශියක් සිදුකරති. එමෙන්ම සිරි සුදර්ශනාරාම විහාරස්ථ සිරි සදහම් සුව සරණින් මේ වන විට පරිත්‍යාග කර ඇති රෝද පුටු අත්වාරු දහස් ගණනකි. ඒ වගේම අපේක්ෂා රෝහලට අවශ්‍ය ඖෂධ වර්ග, ලේ දන්දීමේ පින්කම් ආදිය සිදු කරති.පාරමී පුරමින් පැමිණි ගමනක මේ භවයේ දී උන්වහන්සේට ලැබෙන පිරිකර පවා දුෂ්කර ප්‍රදේශවල වැඩවසන මහ සඟරුවනට මෙන්ම අවශ්‍ය කෙනකුට පරිත්‍යාග කරනුයේ දාන පාරමිතාව සපුරන සෙයිනි.

අපගේ ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික මාහිමිපාණන් වහන්සේ ගේ ජන්ම දිනය යෙදෙන පෙබරවාරි පස්වන දිනයෙහි මහරගම අපේක්ෂා රෝහලට ලක්ෂ 15 කට අධික ඖෂධ පරිත්‍යාගයක් ද දෙසීයකට පමණ පිරිසකට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් ද එදින සවස 7.00 ට ආශිර්වාද පූජාවක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. අප ගුරුදේවෝත්තම ආචාර්ය පූජනීය අධිකරණ සංඝනායක මිරිස්සේ ධම්මික මාහිමිපාණන් වහන්සේට සම්බුදු සසුන වෙනුවෙන් තව බොහෝ කල් වැඩවසන්නට නීරෝගි සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා’යි ප්‍රාර්ථනා කරමු.

දුරුතු අමාවක පෝය

ජනවාරි 31 සඳුදා අපරභාග 02.21 අමාවක ලබා 01 අඟහරුවාදා පූර්වභාග 11.20 ගෙවේ.
31 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]