[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙත් සිතේ බලයෙන් ඇසට නොපෙනෙන සත්වයෝ ද සැනසෙති

මෙත් සිතේ බලයෙන් ඇසට නොපෙනෙන සත්වයෝ ද සැනසෙති

" නුග, නා, කොහොඹ බඳු වනස්පතීන් පරිසරයට සිසිල සෙවණ සදන්නාක් මෙන් මෛත්‍රී සහගත මිනිසා මුළු විශ්වයට ම ශාන්තිය ද, සැනසිල්ල ද, යහපත ද, දානය කරයි. එවිට සතා සීපාවා ද, ගහකොළ ද, ඇළ දොළ ගංගා සමුදුරින් සමලංකෘත සුන්දර පරිසරය ද නිරුපද්‍රිත ය."

එදා සිරිලක් මාතාව දේශ දේශාන්තරයන්හි පතළ කිතුගොස් ඇතිව වැජඹුණා. ඒ බුදුදහමේ ආභාසයෙන් ස්වකීය ආධ්‍යාත්මය මොනවට සකසාගත් හෙළයන් නිසාවෙන් ම ය.

එදා හෙළ දිව හෙළයෝ පිරුණු මෙත් සිත් ඇති සත්පුරුෂයෝ වූහ. එනිසාම සිරිලක කිතුගොස ලොවැ දසත දලුලා වැඩුණි. අහස් කුස නැඟී බබළන ක්ෂීර පැහැ දාගැබ ද, ශීලාදීි ගුණ යුතු මහ තෙරවරුන්ගේ කාෂාය පැහැ චීවරය ද , සිරිලක් මාතාවගේ ගුණ වරුණ ලොවැ දසත පතළ වීමට මහෝපකාරි විය.

මෙබඳු ගුණ ඝෝෂයක් ලොවැ පැතිරෙද්දී දඹදිව මහා පොහොසතෙක් සිය යස ඉසුරු සම්පත් හැම හැර දමා ආධ්‍යාත්මික සුව සහනය පතා නැව් නැඟී ලක්දිව අවුත් අනුරාධපුර මහා විහාරයට පිය මැන්නේ ය. ඒ මහා විහාරයීය මහතෙරුන් වෙතින් පැවිද්ද ලබා ගැනීමට ය. පැවිදිව උපසම්පදා වූ මේ විශාක හාමුදුරුවෝ එක්තරා ව්‍රතයක් සමාදන්වැ සිටියහ. එනම් එක අරමක සාර මසක් පමණක් විසීමේ ව්‍රතය යි.

මහණදම, සිල්ගුණ අබමල් රේණුවකින්වත් නොසිඳගත් මේ ස්වාමින් වහන්සේ දවසක් සිතුල්පව් වෙහෙරට වඩිනට පා ගමනින් පැමිණ දෙමංසලක දී , වෙහෙරට කුමන මඟින් යා යුතු දැයි සිතත්ම අසල ගසක විසූ දෙවියෙක් වෙහෙරට යන මඟ මෙය යැයි අත දිගුකර පෙන්වා නෙපෙනී ගියේ ය. එදා මේ හාමුදුරුවෝ සාර මසක් සිතුල්පව් වෙහෙරේ ශීලාදී ගුණ පුරමින් ගතකර තමන් වහන්සේගේ ව්‍රතය සිහිකර දැන් සිතුල් පව්වෙන් නික්මීමට කාලය යැයි දැන හෙට දවසේ අලුයම සිතුල්පව්වෙන් පිටත්වීමට තීරණය කළේ ය.

ගත වූයේ මඳ වේලාවකි. කෙනකු අඬන හඬ ඇසී ඒ කවරෙක්දැයි පිරික්සා බලන කල තම කුටිය නුදුරෙහි ඇති මිනිහෙල ගසේ රුක් දෙවියා එසේ අඬන බව දුටුවහ. ඊට හේතු ඇසූ කල්හි " පින්වත් ස්වාමීනි ඔබ වහන්සේ සිතුල්පව් පින්බිමෙන් වඩින බව දැන දුකට පත්වැ සන්තාපයෙන් හැඬූ වෙමි. ඔබ වහන්සේ මෙහි විසීමෙන් අප නොමඳ සැනසීමට පත් වූවෙමු. ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ මෛත්‍රි චිත්ත බලය, මේ අරණේ මිනිස් ඇසට නොපෙනෙන අදෘෂ්‍යමාන සත්වයන්ට ද දැනී ඔවුහු එකිනෙකා නපුරු බස් බිණීම නවතා කලහ කිරීම අතහැර සිටිති. ඉදින් ඔබ වහන්සේ මෙහි විසීම අපට මහත් වූ සැනසිල්ලක් දානය කිරීමෙකැයි පවසා සිටියේ ය.

ඒ බැව් අසා මෙත් සිතැති විසාක හාමුදුරුවෝ තවත් සාර මසක් එහිම විසුහ.

නැවත සාර මස ගෙවී වෙන අරමකට වැඩීමට සිතූ කල පෙර ආකාරයෙන් ම රුක් දෙවියෝ හඬා වැළපුණහ. මෙලෙස යළි යළිත් රුක් දෙවියාගේ ඉල්ලීමට සවන් යොමුකළ විසාක තෙරණුවෝ පෙනෙන නොපෙනෙන කොයි කාටත් ආශිර්වාදයක් වෙමින් පිරිනිවන්පාන තුරු සිතුල්පව්වෙහි ම කල් ගත කළහ. මෙම කථා ප්‍රවෘත්තියෙන් ද මෛත්‍රී සිතෙහි ඇති ප්‍රබල බව වඩාත් හොදින් ඉස්මතුව පෙනෙයි.

එසේම එදා බුදුරදුන් ජීවමාන ව වැඩ සිටි සමයේ දී රජගහනුවර විසූ පූර්ණක සිටු දියණිය උත්තරාවන්ට, ද්වේශයෙන් සිත් ගිනිගත් සිරිමා වෛශ්‍යා කත උණු තෙල් හිසට දමා ගසද්දී ගිනියම් උණුතෙල් උත්තරාවන්ගේ මෙත් සිත් දිව්‍ය ධාරාවෙන් සිසිල්වැ ගියේ ය.

එසේම මෛත්‍රි සිතින් කල්ගත කළ සාමාවතී ඇතුළු කාන්තා සමූහයට උදේන රජ එල්ල කළ ඊ පහර. ඔවුනගේ මෛතී‍්‍ර බලය හමුවේ බලශූන්‍ය වූ අයුරු මෛත්‍රියේ බලවත් බව පෙන්වු තවත් අවස්ථාවකි.

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව වැඩමවා මිස්සක පව්වෙන් හැමූ සදහම් මාරුතය සිරිලක සිසාරා පැතිරෙද්දී ලක්වැසි හෙළයෝ මෛත්‍රි සිතිවිල්ලෙන් සුපෝෂිත පිරිසක් වූහ. එනිසාම එදා සිට අද දක්වා ම අපේ ඇත්තෝ අනෙකාගේ දුක කඳුළ වේදනාව, කුසගින්න, පිපාසය හොඳින් දැන හැකි සෑම අවස්ථාවක දී ම අනෙකුත් සත්වයනට මිත්‍රත්වයෙන් සැලකීමට කිසිවිටෙකත් මැළිනොවුහ. එසේම උදේ සවස බුද්ධ වන්දනාවෙන් අනතුරුව කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කිරීමට හෙළදිව හෙළයෝ හුරුපුරුදු වී සිටිති. කුරාකුහුඹුවාගේ පමණක් නොවැ මව්කුසක ඉපදීමට පිළිසිඳගත් කළල රූපයේ ප්‍රාණය ද බුදුදහමින්, මෙත්ත සූත්‍රය තුළින් සුරක්ෂිත විය.

එමඟින් උපන් නූපන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා යන හැඟුමෙන් ක්‍රියා කරන ලෙසට බුදුපියාණෝ ලෝක සත්වයනට උගන්වා වදාළහ. එම සදූපදේශ හද සන්තානයේ තැන්පත් කරවාගෙන ඒ අනුව කටයුතු කිරීම ගිහි, පැවිදි සිව්වනක් පිරිසේ ම වගකීම ය. උත්තම බුද්ධ පූජාව ය.

බුදුන් වහන්සේගේ අමිල ඉගැන්වීම් ශ්‍රී සද්ධර්මය නම් පුද්ගලයාගේ ජීවන ක්‍රියාකාරකම් තුළින් උද්දීපන ය වේ නම්, මතුව පෙනේ නම් සැබෑවට ම එවන් පුද්ගල එකතුවෙන් නිර්මිත සමාජයෙන් ද කරුණාව මෛතී‍්‍රය විද්‍යමාන වෙයි. නුග, නා, කොහොඹ බඳු වනස්පතීන් පරිසරයට සිසිල සෙවණ සදන්නාක් මෙන් මෛත්‍රී සහගත මිනිසා මුළු විශ්වයට ම ශාන්තිය ද, සැනසිල්ල ද, යහපත ද, දානය කරයි. එවිට සතා සීපාවා ද, ගහකොළ ද, ඇළ දොළ ගංගා සමුදුරින් සමලංකෘත සුන්දර පරිසරය ද නිරුපද්‍රිත ය. එවැනි වටපිටාවක සොඳුරු අදහස් ඇතිව දිවිගෙව් අපේ අය රසවත් බතක් ඉදුණු විට අහල පහළ ස්වකීයයන් හා බෙදා හදාගෙන කන්නට බොන්නට හුරුපුරුදු වූහ.

ආගන්තුක සත්කාරය හෙළ බොදු දිවියෙන් ප්‍රභාවත් වූ අයුරු හෙළ දිව ඓතිහාසික සබඳතා AN Historicalrelation of the island of Ceylon by Robert knox “එදා හෙළ දිව“ නමින් පරිවර්තනය කළ කෘතියෙන් විදේශිකයකු හෙළ සිරිත්, හෙළ හැදියා ගැන කරන කමණීය විවරණයෙන් මොනවට කරුණු පැහැදිලි වෙයි. සූසැට බරණින් සැරසුණු රූබර කතකට පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා නිරුපද්‍රිතව දවසේ ඕනෑම වේලාවක යාමට ඒමට හැකි වටපිටාවක් හදා තිබුණේ සැවොම සැමට මෙත් සිත පැතිරූ නිසාවෙනි.

ලක් ඉතිහාසයේ වෙදකමින් විකුම් පෑ හෙළයේ වෙද නිරිඳාණෝ බුද්ධදාස මහ රජතුමාණෝ ය. වරෙක සිරුරේ විස ගෙඩියක් සැදී වේදනාවෙන් පරිපීඩිත නාගයාගේ දුක දැක සිත සන්තාපයට පත්වැ වහා සැත්කමක් සිදුකර කිසිවක් කරකියාගත නොහැකිව වේදනාවෙන් එකතැන හුන් නාගයාට සුව සහනය අත්කර දුන්නේ මහ නිරිඳාණන් තුළ වූ කරුණා මෛති‍්‍රය නිසාවෙන් ම ය. ධර්ම ද්වීපය නමින් මගේ රට දිගත, පතළ වූයේ සිරිලක් ජනහද මෛත්‍රියෙන් පිරී ඉතිරුණු නිසාවෙනි.

දුරුතු අමාවක පෝය

ජනවාරි 31 සඳුදා අපරභාග 02.21 අමාවක ලබා 01 අඟහරුවාදා පූර්වභාග 11.20 ගෙවේ.
31 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]