[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා - 57 කොටස

දුටුගැමුණු මහ රජතුමා - 57 කොටස

සිරිනාග ජාති ද්‍රෝහියෙක් ද ?

මහාසිව මාහිමියන්ට සැකයක්

මිත්‍ර මහසෙනෙවිගේ, පුත්‍රයකු ලෙසින් ඇවිත් තිබෙන්නේ සිවනාග“ උත්තර මහ ඇමතිට පමණක් ඇසෙන ලෙස නන්දිමිත්‍ර කීවේ ය.

එය ඇසූ ඔහු මහත් සේ විමතියට පත්විය. නන්දිමිත්‍ර සමඟ පිරිසෙන් මඳක් ඈතට ගිය මහ ඇමැති විස්මිත දෑසින් නන්දිමිත්‍ර දෙස බැලුවේ ය.

“ඉතින් ඔහු අතුරුදහන් වුණේ කෙසේද?

“අතුරුදහන් වුණේ නැහැ. උපතිස්ස බණ්ඩාරගේ ආරක්ෂක භටයන් අතට අසුවුණා. ඉතින් ඔහු මරා දැම්මාද?”

“නැහැ ඔහු දැන් සේවය කරන්නේ අපට මට තේරුම් ගන්න බැහැ. නන්දිමිත්‍ර කියන්නේ සිවනාග විශ්වාස කළ යුතු බවද?”

“මෙතෙක් මහාසිව මාහිමිපාණන් වහන්සේ ඇතුළු දෙතුන් දෙනෙකු දන්නා රහසක් අමාත්‍ය මණ්ඩලයටත්, සෙනෙවි මණ්ඩලයටත් අද දැනගන්න ලැබේවි.”

“සිවනාග ශූරයෙක්. අවංකවම අපට එකතු වෙනවානම් හොඳයි. දක්ෂ සංග්‍රාමිකයෙක්. යුද්ධ මායාවෙහි පොහොසත්, උපායශීලි පුද්ගලයෙක්. ඕනෑම කෙනෙකුගේ සිත් ගැනීමටත්, කෙනෙකු රවටා තමන්ගේ කාරිය කරගැනීමටත් හපනෙක්. වෙස්වළා ගැනීමට දක්ෂ ඔහු අපේ ආරක්ෂක භටයන්ට අසුවීම පුදුමයක්.”

“අසුවුණා නොවෙයි. ඔහු වුවමනාවෙන්ම ආරක්ෂක භටයන් අතරට මැදි වෙලා”

ඔහු කැමැත්තෙන්ම එසේ අසුවන ලෙස කටයුතු කළේ ඇයි?”

“සිවනාග, එළාර රජුගේත්, දීඝාභය කුමාරයාගේත් බලවත් ඉල්ලීම නිසා ආවත්, තිස්ස කුමාරයා වෙනුවෙන් සටන් මෙහෙයවීමට කැමැත්තක් තිබී නැහැ. ඒ නිසා ඔහු යෙදූ උපායක් තමයි ආරක්ෂක භටයන්ට අසුවන ලෙස සැක සහිත පුද්ගලයකු ලෙස පෙනී සිටීම.”

එහෙම නම් සිවනාග ඇත්තටම හොඳ පැත්තට යොමු වෙලා.”

ඔව්. ඔහු සිවනාග නමින් අපේ උප සෙනෙවියකු ලෙස පෙනී සිටියත් ඔහුගේ සැබෑ නම සිරිනාග. දැනට අනුරාධපුර රාජධානිය ඇතුළු සමස්ථ උතුරුකරයේම ආරක්ෂාව භාර මහ සෙනෙවි”

“ඉතින් ඔහු නැවතත් අපේ උපසෙනෙවියකු වීමට කැමති වේද?”

“නැහැ, ඔහු දැන් ඉන්නේ අපේ අත්අඩංගුවේ. දැන් ඒ බව එළාර රජුට ආරංචි වී ඇති.”

එළාර රජු ඔහු ඉල්ලා සිටියහොත් ආපසු යවනවා ද?”

“ඔව්,ඒ වෙනුවෙන් සෑහෙන වන්දියක් ගෙවතොත්”

“නන්දිමිත්‍ර හිතන්නේ එය නුවණට හුරුයි කියාද?”

“ඔව්, නමුත් ඒගැන තීරණයක් ගන්නේ අපේ රජතුමා”

“අපේ අදහස සිරිනාග වෙනුවට, අනුරාධපුර සිරගෙවල සිටින අපේ චරපුරුෂයන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමයි.”

“එහෙමනම් ඒක අපට ලොකු වාසියක්.”

“භරණ , ගුත්තාහල කඳවුරේ සිට එද්දි, උපතිස්ස බණ්ඩාර තවත් අසරුවකු සමඟ අතුරු මං ඔස්සේ එදා දුටු බවක් කීවා. මා හිතන්නේ ඔහු කැටුව ආවේ සිරිනාග මහ සෙනෙවියි.”

“සිරිනාග අද ම දුටුගැමුණු රජතුමාට හමුවීමට සැලැස්වීමට නන්දිමිත්‍ර අදහස් කරනවාද?”

“එය තීරණය කළ යුත්තේ මහාසිව මාහිමිපාණන් වහන්සේයි. සිරිනාග යහපත් මඟට ගැනීමේත් , ඔහු රට දැය හිතකාමියකු ලෙස හැඩ ගැසීමේත් ගෞරවය හා වගකීම පැවරිය යුත්තේ උන්වහන්සේටයි.”

“මාත් කැමතියි හැකිනම් අදම සිරිනාග හමුවන්නට”

පසුදා හිමිිදිරි උදෑසන උපතිස්ස බණ්ඩාර සෙනෙවි සිරිනාග කැටුව සිලාපස්ස පිරිවෙනට ඇතුළු වූයේ තමන්ගේ අත්අඩංගුවේ සිටින සිරකරුවකු මහාසිව මාහිමිපාණන් වහන්සේට භාරදෙන අදහසිනි.

වෙස් වළාගෙන පැමිණි සිරිනාග සිලාපස්ස පිරුවන්පති මහාසිව මාහිමියන් වැඳ එකත්පසව සිටියේ ය. උපතිස්ස බණ්ඩාර මාහිමියන් වැද එකත්පසව සිටියේ ඉන් අනතුරුව ය. ඔහු තවමත් කුතුහලයෙනි. විමතියෙනි.

මහාසිව මාහිමිපාණන් වහන්සේ විසින්ම ජාතිද්‍රෝහියකු ලෙස අනාවරණය කිරීමෙන් පසු පලාගිය සිවනාග උප සෙනෙවි, සිරිනාග මහ සෙනෙවි ලෙස මේ පැමිණ සිටින්නේ ජාත්‍යාලය ඇති දේශපේ‍්‍රමියෙකු ලෙසද? උපතිස්සට සැක සිතේ.

බොරු කොණ්ඩයක්, බොරු රැවුලක් ගලවා අතට ගත් සිරිනාග එය තම උරෙහි එල්ලාගත් මල්ලෙහි දමා ගත්තේ, මහාසිව මාහිමියන් ඉදිරියේදී තමාට කිසිවකුගෙන් කරදරයක් නොවන බව සහතික නිසාවෙනි.

“සිරිනාග තොප උපතිස්ස බණ්ඩාර සෙනෙවිට මුණගැසුනේ කෙසේද?”

“මහා ස්වාමීන් වහන්ස, කසාතොටින් මෙරටට පැන දිගාමඩුල්ලට යන්නට උත්සාහ කරද්දී, මා ගැන සැක කළ ආරක්ෂක භටයන් මා අත් අඩංගුවට ගත්තා. ඒ ආරංචියෙන් ආ උපතිස්ස සෙනෙවිතුමා මා හඳුනාගෙන මාව මරන්නට තරම් කේන්ති ගත්තා.”

“නොයෙක් ආකාරයේ ප්‍රශ්න අසා, දඬුවම් දීම වේළුසුමන මහ සෙනෙවිතුමාට පවරන බව කියා එතෙක් මා සිරකර තබන්නට තීරණය කළා.”

සිවනාග ලෙස තොප හඳුනා ගන්නා සිංහල සෙනෙවියෙකුගෙන් තොපට කිසිම අනුකම්පාවක් නොලැබෙන බව සහතික කරුණක්.”

“උපතිස්ස සෙනෙවිතුමාගෙන් බේරෙන්නට මට සත්‍යයෙන් අඩක් කියන්නට සිදුවුණා. නමුත් ඔහු විශ්වාස කළේ නැහැ. ගිරිනුවරින් සහ මාගමින් ලැබුණු හීපත් දෙක නිසා ඔහු විමතියට පත්වුණා. හීපත්වල සඳහන් පරිදි ඔහු මා මෙහි රැගෙන ආවා.”

“උපතිස්ස බණ්ඩාර සෙනෙවිතුමනි, මා සිරිනාග සමඟ කතා කරන තෙක්. තොප සම්මන්ත්‍රණ ශාලාවට ගොස් නන්දිමිත්‍ර , වේළුසුමන, සුරනිමල, තිදෙනා මෙහි කැටුව එන්න. දුටුගැමුණු තිස්ස සටනෙහි අලුත් තොරතුරු රැගෙන එන්න.”

“එම තොරතුරු ඔබ වහන්සේට සිරිනාගගෙන් සපුරා දැනගන්නට පුළුවන්. දැන් රජතුමා ජයග්‍රාහී මහ පෙරහරින් මාගමට පැමිණෙමින් සිටිනවා.

දුරුතු අමාවක පෝය

ජනවාරි 31 සඳුදා අපරභාග 02.21 අමාවක ලබා 01 අඟහරුවාදා පූර්වභාග 11.20 ගෙවේ.
31 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]