[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගුණ ගරුක සමාජයකට නිති මඟ පෙන්වූ යතිවරයන් වහන්සේ

ගුණ ගරුක සමාජයකට නිති මඟ පෙන්වූ යතිවරයන් වහන්සේ

ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු අලුත්කූරු කෝරළයේ සීදූව රද්දොළුව ගම් පියසේ දැහැමෙන් දිවි ගෙවූ ප්‍රභූ පවුලක් වූ වතු පාලක කේ. විල්සන් රොවෙල් මහතා හා කේ. පුංචිනෝනා මහත්මිය යන දම්පතීන් වෙත පුත් රුවනක් ලැබිණි.

1933 ජනවාරි මස 19 වැනිදා උපත ලද ඒ කුමරුවාට රෝලන් රොවෙල් යන නම තැබිණි. රද්දොළුව මෙතෝදිස්ත පාසලෙන් හා රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදැරූ මේ කුල කුමරුවෝ වයස අවුරුදු 11 දී රද්දොළුව සුබෝධාරාම මහා විහාරාධිපතිව වැඩවිසූ කොටුගොඩ ශ්‍රී ධම්මානන්ද මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1944 දී රද්දොළුවේ අමරවංශ නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ. එතැන් සිට තම ගුරු දේවයාණන් වහන්සේ වෙතින් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පසුව ද්වතීය අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවනට ඇතුළත් වූණි. එහිදී සිංහල, පාලි, සංස්කෘත භාෂා දැනුම පිළිබඳ ව හා සූත්‍ර, අභිධර්ම, විනය පිටක දැනුම ලබා විද්‍යෝදය අවසන් පරීක්‍ෂණයෙන් ද සමත් විය.

අනතුරුව නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය, බේරුවල සිරිනිවාස මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල උපසම්පදාව ද ලබාගත් උන්වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයෙන් සමත් වී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට සුදානම් වන අවස්ථාවේ දී තම ගුරු දේවයන් හා පැවිදි සහෝදර රද්දොළුවේ අරියවංශ හිමියන්ගේ හදිසි අපවත්වීම නිසා ගුරු දේවයාණන් අතින් ඉටු වූ සියලු ආගමික සහ සාමාජීය කටයුතු උන්වහන්සේ වෙත පැවරීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට සිදුවිය.

තම ගුරු දේවයාණන් අපවත්වීමෙන් පසු රද්දොළුව සුබෝධාරාම මහා විහාරය, රද්දොළුව අභිනවාරාමය යන විහාරස්ථානවල උභය විහාරාධිපති ධූරයට අමරවංශ නාහිමියෝ පත්වූහ.

උන්වහන්සේ විහාරාධිපති ධූරයට පත්වීමෙන් පසුව විහාරස්ථානවල දහම් පාසල් ආරම්භ කර ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් දැනුම දියුණු කිරීමටත්, විහාරස්ථානය කේන්ද්‍ර කොටගත් ළදරු පාසල ආරම්භ කිරීමටත් ක්‍රියා කළහ.

රද්දොළුව ප්‍රාථමික විද්‍යාලය සඳහා ඊට අදාළ භූමිය පරිත්‍යාග කිරීමටත්, ළදරු පාසල් ගොඩනැඟිල්ල සඳහා ප්‍රාදේශීය සභාවට එම භූමිය ලබාදීමත් උන්වහන්සේ විසින් සිය උපන් ගම් ප්‍රදේශයට සිදුකරන ලද සුවිශේෂී කටයුත්තක් විය. තමන් වහන්සේ යටතේ පාලනය වන විහාරස්ථාන දෙකෙහි දියුණුවට විශාල සේවයක් අමරවංශ නාහිමියන් අතින් සිදු වූ අතර, ප්‍රදේශයේ කිතුනු දේවස්ථානය සමඟ ද සමීපව කටයුතු කරමින් ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ මෙන්ම අන්‍ය භක්තිකයන්ගේ ද දහම් දැනුම හා ජන ජීවිතය නඟා සිටුවීමට ක්‍රියාකරවීම ද උන්වහන්සේ අතින් සිදු වූ මහඟු සේවාවකි.

රද්දොළුවේ අමරවංශ යතීන්ද්‍රයාණෝ අමරපුර මහානිකායේ අමපුර පාර්ශවයේ අනුනායක අපවත් වී වදාළ රද්දොළුවේ විමලවංශ අනුනායක ස්වාමීන් වහන්සේ සහ කටාන - මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි, විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත සීදූවේ සුමනවංශ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන උගත් පැවිදි ශිෂ්‍ය පිරිසක් ද ශාසනයට දායාද කොට ඇත. කෙටි කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ 2017 ජනවාරි මස 29 වෙනි දින අපවත් වී වදාළහ. අපවත්වන විට උන්වහන්සේ 84 වන වියෙහි පසුවූහ.

දුරුතු අමාවක පෝය

ජනවාරි 31 සඳුදා අපරභාග 02.21 අමාවක ලබා 01 අඟහරුවාදා පූර්වභාග 11.20 ගෙවේ.
31 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]