[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සුසිරිත සැප පිණිස ය

"කායික, වාචසික හා මානසික ක්‍රියාවල දී තමා ගැන, අනුන් ගැන මෙන් ම තමා, අනුන් යන උභය පක්ෂය ගැනම සලකා බැලිය යුතු ය. යම් ක්‍රියාවක් තමාට හානිකර වන්නේ ද, අනුන්ට හානිකර වන්නේ ද, දෙපක්ෂයට ම හානිකර වන්නේ ද එය අකුසලයකි. යම් ක්‍රියාවක් තමන්ට අනුන් හා තමන් යන උභය පක්ෂයට ම හානිකර නො වන්නේ ද එය කුසලයකැයි සලකා ගත යුතු ය." හොඳ නරක යන මානව චර්යාවන් හැඳින්වීම පිණිස බුද්ධ දේශනාව විවිධ ව්‍යවහාරයන් භාවිත කරයි. කුසල, අකුසල යන යෙදුම් එහි දී ප්‍රමුඛ වේ.  ඒ හැර පුඤ්ඤ - පාප, සාර - අසාර, සාධු - අසාධු, සාවජ්ජ - අනවජ්ජ, ධම්ම - අධම්ම, කරණීය - අකරණීය, සුකට - දුක්කට, තණ්හ - සුක්ක යනාදී යෙදුම් ද ඒ සඳහා යෙදී තිබේ. එලෙස හොඳ ක්‍රියාව මෙන් ම නරක ක්‍රියාව ද තීරණය කිරීමට මිනිසාට හැකියාව ඇති බව බුදු දහම පිළිගනියි. එහිදී එයට අදාළ වන කරුණු සලකා බැලිය යුතු ය. ඒ සඳහා මිනිසාට නිදහස තිබේ. සර්ව බලධාරී ඊශ්වරයෙකුට අනුව හෝ ආත්මවාදී ව හෝ හුදෙක් තර්කයට ම වහල් වී හෝ, සමාජගත සාම්ප්‍රදායික මතවාදවලට යටත් ව හෝ හොඳ, නරක නිශ්චය කළ යුතු නැත. නරක ක්‍රියාවක් හැර පියා හොඳ ක්‍රියාවක් ප්‍රගුණ කිරීමේ හැකියාව අතින් මිනිසා ලොව අන් සියලු සත්ත්වයන්ට වඩා ඉදිරියෙන් සිටින බව පිළිගන්නා බුදුදහම සිතා මතා කරන හොඳ ප්‍රතිඵල සහිත වූ චර්යාවන් ඇරඹීමට ද (ආරම්භ ධාතු) පවත්වාගෙන යාමට ද (නික්ඛම ධාතු) එහිදී බාධක මැඬළමින් ඉදිරියට යාමට ද (පරක්කම ධාතු) පුද්ගලයාට අනුශාසනා කරයි. එබැවින් ඒ සඳහා අරඹව් (ආරභථ) නික්මෙව් (නික්ඛමථ) යෙදෙව් (යුඤ්ජථ) යැයි මිනිසා ධෛර්යමත් කරයි. මෙසේ ස්ව ඡන්දය එනම් තම තමා සතු හැකියාව කැමැත්ත (ස්වච්ඡන්දතාව) අගය කරන දහමක් ලෙස බුදු සමය ප්‍රකට ය. කුසලා කුසල කර්ම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමේ දී බුදු සමය නිබඳ ව ම එකී ක්‍රියාවන්ට පාදකවන චේතනාව පිළිබඳ අවධානය යොමු කරයි. ඒ අනුව හොඳ ක්‍රියාවට, කුසලයට මුල් වන්නේ අලෝභය යි. ලෝභයෙන් ගිජුකමින් තොර බවයි. අද්වේශය යි. ද්වේශයෙන් පටිඝයෙන් තොර බවයි. අමෝහය යි. මුලාවෙන් මුවහ වීමෙන් තොර බවයි. යම් ක්‍රියාවකට එම චේතනාවන් පාදක වී තිබේ ද, එය අකුසල ය. මෙම අර්ථයෙන් “මහණෙනි,මම චේතනාව ම කර්මය යැයි කියමි. කයින්, වචනයෙන් හා සිතින් සිතා මතා ක්‍රියාවෝ කරනු ලැබෙත්’ යැයි වදාරන ලදී.


   නිකිණි අව අටවක පෝය 

   අගෝස්තු 11 අඟහරුවාදා පූර්වභාග 09.07න් අව අටවක පෝය ලබා 12 බදාදා පූර්වභාග 11.16 න් ගෙවේ. අඟහරුවාදා සිල්

මීළඟ පෝය අගෝස්තු 18 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]