[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි අව අටවක 2020.08.11

සැබෑ දියුණුව

ජීවිතයේ දියුණුව, සාර්ථකත්වය අපේක්ෂා කිරීම පොදු මිනිස් ස්වභාවය වන්නේ ය. බොහෝ දෙනා දියුණුව, සාර්ථකත්වය ලෙස අර්ථ දක්වන්නේ මිල මුදල්, යාන වාහන ආදී භෞතික සම්පත්හි අසීමාන්තික බව ය. ඒ සම්පත් ළඟා කර ගන්නට බොහෝ පිරිසක් හැල්මේ දිවයති. නැවතීමක් නැතිව ම යති. ඒ අධිවේගය තුළ බොහෝ විට හොඳ නරක තෝරා බේරා ගැනීමක් නැත. උත්සාහය කෙසේ හෝ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම ය. සමාජය විවිධ අපරාධයන්ට, අපචාරයන්ට, වංචා දූෂණයන්ට යොමු වන්නේ ඒ හේතුව නිසා ය.

විවිධ කූඨෝපක්‍රම මඟින් මුදල් උපයන්නට ඇතැම් පිරිස් මොන තරම් නින්දිත පෙළඹවීම්වලට ලක්වී ද යත් පසුගිය දිනයන්හි උකුස්සන්, බළලුන් වැනි සතුන් පවා යොදා ගනිමින් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ගත් උත්සාහයන් දැකිය හැකි විය. එය කෙසේ හෝ මිල මුදල් උපයා ගැනීමේ පරමාර්ථය පමණක් මුල් කරගත් අසීමාන්තික ආශාවේ ප්‍රතිඵලයකි. මෙවැනි අශීලාචාරකම් අඩු වැඩි වශයෙන් සමාජය තුළ විද්‍යාමාන ය.

බුදු දහම අනුදත් සැබෑ දියුණුව නම් පුද්ගලයා ආධ්‍යාත්මික ව ලබන්නා වූ දියුණුව ය. ආධ්‍යාත්මික ගුණ ධර්ම ගරු කරන පුද්ගලයා ජීවිතයට අවශ්‍ය කරන භෞතික සම්පත් උපයා ගන්නේ ධාර්මිකව ය. ඒ උත්සාහයන් මල්ඵල ගැන්වෙන්නේ තමන්ට ද, අනුන්ට ද අනර්ථයක් නොවෙමිනි. එවැනි මිනිසුන් වෙසෙන සමාජය සැබැවින් ම ගිහි ප්‍රතිපදාවට පිළිපන්, එනම් පංච ශීලය ගරු කරන සමාජයකි. අප උත්සාහ කළ යුතු එවැනි සමාජයක සාඩම්බර සාමාජිකයෙක් වීමට ය.

අයහපත බැහැර ලා යහපතට මුල් තැන දෙන දියුණු පුද්ගලයෙක් බවට පත්වීමට විශේෂ හැකියාවක් තිබිය යුතු ය. ඒ අතර උත්සාහය මුල් තැන ගනී. මිල මුදල්, ධන සම්පත් සේ ම තමන් තුළ හොඳ ගුණ ධර්ම වැඩි දියුණු කර ගැනීමට ද උත්සාහයක්, නොපසු බස්නා වීර්යයක් තිබිය යුතු ය. ඒ වෙනුවෙන් නිරන්තර ව සිත කය වෙහෙස විය යුතු ය. සමාජ විරෝධී බොහෝ කටයුතුවලට මුල් වන්නේ ඇතැමෙක් අලස ව හිඳ පහසුවෙන් මුදල් උපයා ගැනීමේ ක්‍රමෝපායන්වලට අනුගත වීම නිසා ය.

එවැනි වැරැදි සහගත ක්‍රියාකාරකම්වලින් බැහැර වීමට නම් එළඹ සිටි සිහිය ඉතා වැදගත් ය. එනම් හරි වැරැදි දැක, අවබෝධ කොට ගැනීමට යහපත් කල්පනාවක් තිබිය යුතු ය. යහපත් කල්පනාවක් ඇති කර ගැනීමට නිරන්තර දහම් ශ්‍රවණය ඉතා වැදගත් ය. යහපත් පුද්ගලය ආශ්‍රය ද වැදගත් ය.

පිරිසුදු බව දියුණුවන්නා තුළ තිබිය යුතු සුවිශේෂී ම ගුණාංගයකි. සිත, කය, වචනයෙහි පිරිසුදු බව දියුණු වන්නා තුළ තිබිය යුතු සුවිශේෂී ම ගුණාංගයකි. එනම් සිත, කය, වචනය තුළින් නිදොස් දේ ම කිරීම ය. පව බැහැර පිනට යොමු වීම ය.

දක්ෂ වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කරන්නේ රෝගයට නොව රෝග නිදානයට ය. දියුණුව බලාපොරොත්තුවන පුද්ගලයා ද එවැනි ය. ඔහු නුවණින් පිරික්සා විමසා බලා කටයුතු කරන්නෙකි. ඒ තුළ දොස් නිදොස් සොයා බලා නිදොස් දේ ම කිරීමට පෙළඹේ. ඒ ක්‍රියාකාරීත්වයෙහි දී සමාජ විරෝධී දේ, අන්‍යයන් විනාශ වන දේ සිදු වන්නේ නැත. සිත, කය දමනය කර ගත් පුද්ගලයෙක් වීම, දැහැමිව ජීවත් වීම, සියලු යහපත් කාර්යයෙහි ප්‍රමාදී නොවන පුද්ගලයකු වීම දියුණුවන තැනැත්තාගේ ලක්ෂණ ය.

තමාත් විනාශයෙහි ගිලී, අනුන් ද විනාශයට කැඳවාගෙන යන පුද්ගලයෙකු නොවී තමන්ගේ ද අනුන්ගේ ද යහපත, දියුණුව බලාපොරොත්තු වන්නෙකු වීම සැබෑ බෞද්ධයාගේ ස්වභාවය ය. එසේ දැහැමෙන් සෙමෙන් ගෙවන දිවි පැවැත්ම යහපත් සමාජයකට දොරගුළු විවර කරන්නේ ම ය. අන්‍යයන්ට ද ආදර්ශයක් වන්නේ ය. දියුණුවෙහි සැබෑ අරුත වටහා ගනිමු.

   නිකිණි අව අටවක පෝය 

   අගෝස්තු 11 අඟහරුවාදා පූර්වභාග 09.07න් අව අටවක පෝය ලබා 12 බදාදා පූර්වභාග 11.16 න් ගෙවේ. අඟහරුවාදා සිල්

මීළඟ පෝය අගෝස්තු 18 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]