[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නැකැත් පොරොන්දම් දහමට අනුව

නැකැත් පොරොන්දම් දහමට අනුව

විවාහ දිවියට පත්වීමෙන් පසු ඔවුන් “අපි දෙදෙනා එකතු වී මහමඟට බැස හිඟමනෙහි යෙදුනත් කවරදාකවත් සොරකමෙහි නම් නොයෙදෙමු” යන තීරණයට, නිගමනයට දෙදෙනාම පැමිණිය යුතුයි. ඇතැම් පවුලක තම ස්වාමියා සොර සිතෙන් හරිහම්බ කිරීමට පෙළඹුණහොත් බිරිඳ ද ඊට විවිධ ක්‍රම මගින් උපකාර කරනු දක්නට ලැබෙන අවස්ථා ද සමාජයේ තිබෙන බව රහසක් නොවේ.

තම ස්වාමියා අපායට ගොදුරුවන වැඩ පිළිවෙලට ඇතැම් බිරින්දෑවරු අනුබල දෙනු ලැබේ. ඉතින් එවිට එබඳු පවුල් දියුණුවක් ලබනවාදැයි සිතා බලන්න. ඉතාමත් ටික දිනයි. මොන අයුරෙන් හෝ මුදල් හරිහම්බ කළත්, හිතේ සතුටක් පවතින්නේ ම නැත. මහා දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට පෙළඹේ.

තමා හරිහම්බ කර ගනිමින් කිසිවකුටත් අපහසුවක්, කරදරයක්, පීඩාවක් නොවන ජීවිතයක් ගෙවිය යුතුයැයි” තමා තුළම බලවත් අධිෂ්ඨානයක් ඇතිකර ගත යුතුයි. දෙදෙනාම එසේ අදිටන් කර ගනිමින් අවිහිංසා සංකල්පයෙන් ක්‍රියා කළ යුතුයි. කයෙන් කෙරෙන වැරැදිවලින් ඉවත් වන්නට ඕනෑ. දෙදෙනා අතරම එබඳු නිවැරැදි අවබෝධයක් තිබේනම්, තම ස්වාමියා කවදාවත් වරදෙහි නොයෙදෙන අතර ඔහු පාපයට බියවෙයි යනුවෙන් බිරිඳ තුළ විශ්වාසය ගොඩනැගී තිබේනම් එබඳු බිරිඳක් මොනතරම් සැනසීමක් ලබනවා ද?

තම ස්වාමියා කවර ස්ථානයකට ගියත්, කෙතරම් කාලයක් ගතවුවත් තම සැමියා කෙරෙහි බියක් හට නොගන්නේ ඔහු පාපයට බිය දැක්වීම නිසා ය. එමෙන් ම, තම බිරිඳ කවර ස්ථානයකට ගිය ද ස්වකීය සැමියාට ද සැකයෙන් තොරව විශ්වාසයෙන් කටයුතු කළ හැකිනම්, පාපයට බියනම්, ධර්මානුකූල හැඟීමෙන් කටයුතු කරන්නේ නම්, දෙදෙනාට ම ධර්මාවබෝධය තිබේ නම් ඒ දෙදෙනා දහමෙන් පොරොන්දම් ගලපා ගෙන ඇත. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි පොරොන්දම් ගලපා ගත යුතු වෙමු.

ශ්‍රද්ධා සම්පන්නව, ධර්මානුකූලව දිවිගෙවන ඇතැම් දරුවන් විවාහයෙන් පසු අධර්මිෂ්ට වේ. එසේ දහමෙන් ඈත් වනුයේ පාප මිත්‍ර සේවනය හේතුවෙනි. ගුණබර, නැණවත්, මව්පියවරු නිරන්තරයෙන් කල්පනා කළ යුත්තේ මොනතරම් මුදල් පැවැතිය ද තම දරුවා පවිටු මිතුරෙකුට හෝ මිතුරියකට සම්බන්ධ නොකළ යුතු බව ය.

පාපී පුද්ගලයෙකු නම් මත්ලෝලියෙකු නම් , තවත් නොයෙකුත් විෂමාචාර නම්, සොර සිතින් කටයුතු කරන්නේ නම් එබන්ඳෙකුට තම දරුවා බාර කිරීම අපායට බාරදීමක් බඳු ය.

දහමට අනුව අපත් හැම මොහොතකම නැකැත් සහ පොරොන්දම් බැලිය යුත්තේ ඉහත දැක්වු ආකාරයට ය.

මිථ්‍යා විශ්වාස සහ බය සමඟ අපගේ ජීවිතය රැඳී පැවතීමෙන් අප ඒ තුළම තවත් සිර වී ඊට කොටු වෙයි.

ඒවා සැහැල්ලු කර ගනිමින් තමන්ගේ ශක්තිය යොදන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. තමන්ගේ සහ තම දරුවන්ගේ යහපත පතා සිල් ආරක්ෂා කරන භාවනා වඩනා තැනැත්තා ක්‍රමක්‍රමයෙන් නිවන් මගට යොමු වේ. යහපත් සංකල්ප උදාකර ගනිමින් හැම ක්‍රියාවක්ම යහපත් ආකාරයෙන් සිදු කරනු ලැබේ.

බෞද්ධයෙකු ලෙස ඍජු ප්‍රතිපදාවක් අනුගමනය කළ යුතු ය. සත්‍යයට අනුව ජීවත්වීමට තමන්ට පුළුවන් විය යුතුයි. බෞද්ධ ධර්මයට අනුව කටයුතු කර තම ජීවිතය යහපත් ආකාරයෙන් හැසිරවිය යුතුයි. තම දුර්වලතා තමා විසින්ම අවබෝධ කරගත යුතුයි. එසේ තේරුම් ගෙන ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන්න හිතේ අඩුකරගත යුතුයි. මිථ්‍යා දෘෂ්ඨිය ඉවත්කර සුවපත් ජීවිතයකට පැමිණිය යුතුයි.

දූවිලි ගොඩකට ජලය ටිකක් වැටුණා සේ, ඇවිලෙන ගතියෙන් ටික වේලාවකට හෝ ඈත් වේ. ඉරිතලා ඇති පොළොවකට මහා වැස්සක් වැටුණා සේ හිත සුවපත් වේ.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 24 වනදා බදාදා අපරභාග 06.05 ට ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 07.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජූලි 31 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]