[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ අව අටවක 2019.07.25

පින්බර වස්සානයේ දී දහමට ළං වෙමු


ධම්මපදය බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය යි. නිරන්තරයෙන් අධ්‍යයනය කරනවා නම්, සිතට ධාරණය කරනවා නම්, ජීවිතය සාර්ථක කර ගන්නට එයින් ලැබෙන පිටුවහල මෙතෙකැයි මිල කළ නොහැකි ය. එහෙත් අවාසනාවකට අප බොහෝ දෙනෙක් වෙතින් මෙවන් මහඟු මිණි මඟ හැරී ඇත. මේ පින්බර වස්සාන සමයේ ආරම්භය යි. අර්ථවත් ජීවිතයකට ආරම්භයක් ලබා දෙන්නට හොඳම කාලය යි. පින් පුරන්නට, පින් වඩන්නට වෙසෙස් පුණ්‍ය කාලයක් එළඹ තිබේ. ධම්මපදයේ අවධාරණය කරන්නේ පින් කළ තැනැත්තා මෙලොව ද සතුටු ව, පරලොව ද සතුටු වන බව ය. තමන්ගේ පිරිසුදු කර්මය දකිමින් සතුටුවන බව ය. වෙසෙසින් සතුටු වන බව ය.

වැරැදි මඟ අතහැර, නිවැරැදි මාර්ගය තෝරා ගන්නට, අප සිත වෙළී පවතින අඳුරු පැල්ලම්, ලෝභ, ද්වේශ, මෝහා දී කෙළෙස් මළ සෝදා හරින්නට ධම්මපදයෙන් ලැබෙන සදූපදේශ අර්ථවත් ව ජීවිතයට ළං කර ගත හැකි නම් දෙලොව සැනසීම උදාකර ගැන්ම අපහසු නො වන්නේ ය. මේ පින්බර කාලයේ අධ්‍යාත්මික සුවය සඳහා ධම්මපදය නිරන්තරයෙන් පරිශීලනය කළ හැකි ය. බස් රථයේ, දුම්රියේ දහසකුත් රාජකාරී මැද ලැබෙන විවේකයේ, නින්දට යන මොහොතේ සුළු විරාමයක දී වුව ධම්මපදය ඇසුරු කරන්නට හැකි නම්, ඒ මහා කල්‍යාණ මිත්‍රයෙක් ව අප ජීවිතය යහපතට ම යොමු කරන්නේ ය.

මෙකල රට පුරා වෙහෙර විහාරස්ථානයන්හි අප උතුම් සංඝරත්නය වස් සමාදන් ව වැඩ සිටිති. උපතේ සිට මරණය දක්වා ම උන්වහන්සේගෙන් ලැබෙන අනුශාසනා දෙලොව දියුණුවට ය. බෞද්ධයාගේ ප්‍රධාන අනුශාසකයන් වහන්සේ වන්නේ භික්ෂූන් වහන්සේ ය. රිය සක සේ පෙරළි පෙරළී එන අටලෝ දහමින් කම්පා නො වී ජීවත් වන්නට, ජීවිතයේ අනිත්‍ය වටහා දෙමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවේශවන්නට උන්වහන්සේ මග පෙන්වති. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය රැඳී පවතින්නේ උන්වහන්සේගේ අපරිමිත වූ කැපවීම නිසාම ය. එහෙයින් උතුම් සංඝරත්නය ආරක්ෂා කර ගැන්ම ගිහි බෞද්ධයාගේ පරම වගකීම කි. මේ වස්සාන සමයේ වස් සමාදන් වී සිටින භික්ෂූන් වහන්සේට සිව්පස ප්‍රත්‍ය පහසුකම් සැලසීමට, නිරන්තරයෙන් පන්සල ඇසුරු කරමින් ආගමික වතාවත්වල නිරතවීමට කො තරම් කාර්යය බහුලතා මධ්‍යයේ වුව අප ඇප කැප විය යුතු ම ය. තෙරුවන් සරණ හැර අන් සරණක් අපට නො වන නිසා ය.

වත් පිළිවෙත් නො පුරන පුද්ගලයාගේ සිල් නො පිරේ යැයි ධර්මයේ සඳහන් ය. උදා වී තිබෙන්නේ පිළිවෙත් පුරන්නට සුදුසුම කාලය යි. වස්සාන සමයේ සෑම වෙහෙර බිමකම විවිධ ආගමික පින්කම් සංවිධානය කෙරේ. දරුවන් ද සහභාගි කර ගනිමින් එම ආගමික පින්කම්වලට සහභාගී වීමට, මළු පෙත් ඇමදීමට, ලොකු හාමුදුරුවන්ගේ, සාමණේර හිමිවරුන්ගේ අත්‍යවශ්‍යතා සොයා බලන්නට, පන්සලේ අත්‍යවශ්‍ය දෑ විමසන්නට යම් බෞද්ධයෙක් අකැමැති වෙනවා නම්, නො සලකා හරිනවා නම්, එය බෞද්ධකමට නො ගැළපේ. වැඩිහිටියන් මතු පරපුරට ඒ ආදර්ශය නො දුන්නේ නම් ශාසනයේ පැවැත් ම අනතුරුදායක ය.

අධ්‍යාත්මික සුවය කාලීන මානව සමාජයට අත්‍යවශ්‍ය ම අංගයක් බවට පත්ව තිබේ. ව්‍යාකූලත්වයෙන් මඩන ලද සමාජය තුළ සතුට, සැනසීම, වේගයෙන් මඟ හැරෙමින් තිබේ. එහෙත්, ධාර්මික ඥානය තුළින් ලැබෙන සුවය, සැනසීම අප්‍රමාණ ය. වරද එය ළඟා කරගන්නට අප අපොහොසත් වීම ය. පසළොස්වක පෝ දිනවත් බෞද්ධයා සිල් සමාදන් විය යුතු ය. කාර්ය බහුල බව පවසමින් බොහෝ බෞද්ධයෝ ඉන් මඟ හැර සිටිති. එක් අවස්ථාවක තමන් වහන්සේ හමුවීමට ආ ශාක්‍ය වංශිකයන්ගෙන් බුදුරජාණන් වහන්සේ විමසා සිටියේ උපෝසථ දිනයට සිල් සමාදන්වනවාද? යනුවෙනි. එහෙත්, ශාක්‍යයන්ගේ පිළිතුර, ජීවත්වීමට ධනය උපයනවා හැර ඊට වේලාවක් නො වන බව ය. එසේ නොවුණේ නම්, විශාල පාඩුවක්, අලාභයක් වන බව ය. එහෙත්, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළේ දවසින් දවස උපයන ධනයෙන්, වසර ගණනක දී මහා ධනවතෙක් වන්නා සේ එක් දිනක් උපෝසථ සීලය සමාදන් වූ පුද්ගලයා එක් දිනක සිල්වත් බවින් ධනවතෙකු වන බව හා එසේ වසරක් සිල් සමාදන් වූ කල හේ ශෝභාවත් සිල්වතුන් අතරට පැමිණ උතුම් නිවන් පසක් කරගන්නා බව ය.

මේ පින්බර වස්සානයේ අපි අලුතෙන් සිතමු. අලසකම් දුරලමු. උපරිම උත්සාහයෙන් යුතුව උපෝසථ දිනයන්හි සිල් සමාදන් වෙමු. දහමට ළං වෙමු. අධ්‍යාත්මික දියුණුවට පත්වෙමු. සම්බුදු සසුන රැක ගනිමු.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 24 වනදා බදාදා අපරභාග 06.05 ට ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 07.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජූලි 31 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]