[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෑතිනුත් පුදා හිතිනුත් පුදමු

දෑතිනුත් පුදා හිතිනුත් පුදමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඉධ භික්ඛවෙ දායකො පුබ්බෙව දානා සුමනො හොති. දදං චිත්තං පසාදෙති දත්වා අත්තමනො හොති ඉමානි දායකස්ස තිණංගානි. ඉධ භික්ඛවෙ පටිග්ගාහකා වීතරාගාවා හොන්ති. රාග විනයායවා පටිපන්නා වීතදොසොවා හොන්ති දොස විනයායවා පටිපන්නා. වීත මොහා වා හොන්ති මොහ විනයායවා පටිපන්නා ඉමානි පටිග්ගාහකානං තිණංගානි. එවං ඛො භික්ඛවෙ ඡළංගසමන්නාගතා දක්ඛිණා හොති.

සැදැහැවත් පින්වත්නි,

අද අව අටවක පෝදා ධර්ම දේශනාව වශයෙන් මා, තෝරා ගත්තේ අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ හතරවන වග්ගයේ ඡළංගදාන සූත්‍රයයි.

ඡළංග සමන්නාගත වූ දානමය කුසලය ඉතා බලසම්පන්න ය. මහා සාගරයේ ජලකඳ මෙතෙකැයි ප්‍රමාණ කළ නොහැක්කා සේ, මෙම දානයෙන් ලැබෙන පින ද ප්‍රමාණ කළ නොහැකි ය.

එක් කලෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් විහාරයේ වැඩවසන සමයේ වේළුකණ්ටක නුවර නන්දමාතා උපාසිකාව විසින් සිදුකළ දානයක ආනිසංස මෙම සූත්‍රයේ සඳහන් වෙයි. වේළුකණ්ඨකී නන්දමාතාව මහත් සැදැහැති උපාසිකාවකි. දිනක් සැරියුත් තෙරුන් සහ මුගලන් තෙරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට වේළුකණ්ඨකී නන්දමාතාව දානයක් පූජා කරයි. ඒ දානය අංග හයකින් යුක්ත නිසා ඡළංගසමන්නාගත වන්නේ ය.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහාරයේ වැඩහිඳ මිනිස් ඇස ඉක්ම වූ දිවැසින් බලන කල දෑගසව්වන් ප්‍රමුඛ මහාසංඝරත්නයට වේළුකණ්ඨකී නන්දමාතාව පූජා කරන දානමය පින්කම දක්නට ලැබුණි. ඒ අවස්ථාවේ භික්ෂූන් අමතමින්, මහණෙනි, දැන් වේළුකණ්ඨක නුවර ශ්‍රද්ධාවත් නන්දමාතාව ඡළංගසමන්නාගත දානයක් පිළිගන්වමින් සිටින්නී ය. එම දානයේ විපාක ඉතා මහත් ය. අසංඛෙය්‍ය අප්‍රමාණ ආනිසංස ලැබෙන්නේ යැයි වදාළහ. ඡළංග සමන්නාගත දානය කුමක්දැයි එහිදී පහදා වදාළහ. දන් දෙන දායකයා කරුණු තුනකින් ද, දානය භාරගන්නා ප්‍රතිග්‍රාහකයෝ කරුණු තුනකින් ද, සමන්විත වීම ඡලංගසමන්නාගත දානයයි. සැදැහැසිතින් දන්දෙන දායකයා ‘පුබ්බේව දානා හොති’ දන්දීමට පෙර සොම්නස ඇතිකර ගනියි. ‘දදං චිත්තං පසාදයේ’ දන් පිළිගන්වන අවස්ථාවේ සොම්නස් වෙති. ‘දත්වා අත්තමනො හොති’ දන් දී අවසානයේ ඒ ගැන සොම්නස ඇතිකර ගනිති. මෙම කාරණා තුන දායකයා සතු අංගත්‍රය යි. ප්‍රතිග්‍රාහකයන් සතු අංග තුනකි. වීතරාග වෙයි. එනම් රාගය නැසූ කෙනෙක් වෙයි. නො එසේ නම් රාගය නැසීම පිණිස පිළිවෙත් පුරන්නෙක් වෙයි. ද්වේෂය නැසූ කෙනෙක් වෙයි. නැතහොත් ද්වේෂය නැසීම පිණිස පිළිවෙත් පුරන්නෙක් වෙයි. මෝහය නැසූ කෙනෙක් වෙයි. නැතහොත් මෝහය නැසීම පිණිස පිළිවෙත් පුරන්නෙක් වෙයි.

දන් දෙන දායක පක්ෂය මෙන් ම, දන් පිළිගන්නා ප්‍රතිග්‍රාහක පක්ෂය තුළ උසස් සිතිවිලි ඇතිකර ගැනීම හා පහත් සිතිවිලි නැතිකර දැමීම තුළින් ලැබෙන ආනිසංස සසර පුරා ගෙනයයි. මහා සාගරයේ ජලකඳ නැළියක්, දියනැළි සියයක්, දියනැළි දහසක් , දියනැළි දහදාහක් , දියනැළි සියදහසක් යැයි ප්‍රමාණ කළ නොහැකි ය. අසංඛෙය්‍ය, අප්‍රමෙය්‍ය වූ මහා දිය කඳක් යැයි සංඛ්‍යාවට ගැනේ. එමෙන් ම, ඡලංග සමන්නාගත දානයේ ආනිසංස අසංඛෙය්‍ය, අප්‍රමෙය්‍ය, මහා පුණ්‍යස්කන්ධයකින් සමන්විත සංඛ්‍යාවට ගැනේ.

දන්දෙන සැදැහැවතා ඒ පිළිබඳව මුල, මැද අග සොම්නස්වීම, වීතරාග, වීත දෝෂ, වීත මෝහ අනාශ්‍රව වූ ශීල සංවරයෙන් සමන්විත ප්‍රතිග්‍රාහකයන් දාන ක්ෂේත්‍රයට සම්බන්ධ වීම හා තමාගේ අතින් දන්දීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේ ය. රත්නත්‍රය කෙරෙහි සැදැහැතිව සිට බුද්ධිමත්ව දන්වැට පවත්වා කරන ලද පින් බලයෙන් නිදුක් නිරෝගි සුව ඇති, ස්වර්ගලෝකයට ම යන්නේ ය. දෑගසව්වන් ප්‍රමුඛ භික්ෂු සංඝයා සම්බන්ධ වූ දානශාලාව හා සැදැහැති නන්දමාතාව බෙදූ දානය බුදුරජාණන් වහන්සේ අගය කළ සේක.

දීම, පරිත්‍යාගය ලෝකයේ දුර්ලභ කාරණාවකි. තමන් සතු දේ තවත් කෙනෙකුට දීම කොටස් දෙකකට බෙදයි. එනම් පූජා බුද්ධියෙන් දීම හා අනුග්‍රහ බුද්ධියෙන් දීම වශයෙනි. පරිත්‍යාග කරන ක්‍රම දෙක තුළ දායක ප්‍රතිග්‍රාහක දෙඅංශය ගැනේ. දානයේ මහත් ඵල ලැබීමට දෙවැනි ක්‍රමය උපකාරී වෙති යැයි සිතිය නොහැකි ය. සීලාදී යහගුණ වඩන උතුමන්ට දීම පූජා බුද්ධියෙන් දීමකි. නිවනට පිළිපන් ශ්‍රාවක පිරිස ප්‍රතිග්‍රාහකයන් වන විට දායක පිරිසට මුල, මැද, අග සොම්නසින් පරිත්‍යාග කළ හැකි ය. එහෙයින් ඡලංග සමන්නාගත දානයක් දීමට ලැබීමෙන් වාසනාව උදා වේ.

සිත වහා වෙනස්වන සුළු ය. දුර ගමන් යන, තනිව හැසිරෙන, මාළුවෙක් ගොඩදැමූවිට දඟලන්නා සේ දඟලන සිත කෙලෙස්වලින් අඳුරු වී තිබීම පෘථග්ජන සිතක ලක්ෂණයයි.

ලෝභය, ද්වේෂය, මෝහය යන අකුසල් මුල් තුනකි. සියලු යහපත් කාර්යයේ දී මෙම සිතිවිලි යටපත් කර ගත යුතු ය. එය තදංග වශයෙනි. වස්තුව පිළිබඳ ආශාව වැඩිවන විට ලෝභය රජවෙයි. ප්‍රතිග්‍රාහකයන් පිළිබඳ තරහ, වෛර ඇතිවන කල ද්වේෂය වැඩිවෙයි. කිසිවක් විශ්වාස නොකර කර්මය, කර්ම ඵල අවිශ්වාස වන විට මෝහය පැනනගියි. මෙම සිතිවිලිවලට ප්‍රමුඛ ස්ථානය නොදී ආනිශංස දැන පරිත්‍යාග චේතනා ඇතිකර දන් දිය යුතු ය. ඇතැමෙක් අතින් දන්දෙති. එහෙත් හිතින් දන් නොදෙති. ඒ ගැනම සිතා පසුතැවිලි වෙති. එවිට අවස්ථා තුනම අඳුරු වී යයි. එහෙයින් දෙන තැනැත්තා තුළ සද්ධා චෛතසිකය වඩාත් වැදගත් වන්නේ ය. එය චිත්ත සම්පත්තියකි. වස්තු සම්පත්තිය දෙවැන්නයි. උසස් ආනිසංස ලැබීමට ධාර්මිකව උපයාගත් වස්තුවක් ම විය යුතු ය. එසේ නැතහොත් අපර චේතනා දුර්වල වන්නේ ය. ප්‍රතිග්‍රාහක සම්පත්තිය තුන් වැන්න ය. දාන ආනිසංස වැඩිවීමට සිල්වතුන්ගේ සම්බන්ධය මෙම සූත්‍ර ධර්මයේ දී පහදයි. එහෙයින් චිත්ත, වත්ථු, පටිග්ගාහක යන අංග තුන සම්පූර්ණ වීමත්, සිතේ මුල මැද අග සතුට ඇතිවන අයුරින් කටයුතු සංවිධානය කිරීමත් උසස් ආනිසංස ගෙන දෙන අවස්ථා ය. ඔබත් ඡලංගසමන්නාගත දානයක් දීමට උත්සාහ ගන්න. ඒ සඳහා ඔබට චිත්ත ශක්තියත්, කායික ශක්තියත් දියුණුවේවායි පතමි. සියලු දෙනාට උතුම් නිවන් සම්පත් ලැබේවා.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 24 වනදා බදාදා අපරභාග 06.05 ට ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 07.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජූලි 31 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]