UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - සුමන සාමණේරයන් වහන්සේ විසින් වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ නිදන් කොට අනුරාධපුර යුගයේ කරවන ලද ස්ථූපය කුමක්ද?

පිළිතුර - අනුරාධපුර පූජනීය පෙදෙස් පිහිටි ථූපාරාමය

ප්‍රශ්නය - බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ආරම්භ වී සත්මසකින් අවසන් වූ සංගායනාව කුමක්ද?

පිළිතුර - අජාසත් රජතුමා දවස රජගහනුවර සප්තපර්ණී වේහාර පර්වත පාමුල පිහිටි ගුහා ද්වාරයේහි ඉදිකරන ලද ශාලාවෙහි පවත්වන ලද පළමුවන සංගායනාව වේ. එහි මුලසුන තෘතීය මහා ශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ විසින් උසුලන ලදී.

ප්‍රශ්නය - පහත සඳහන් වන ප්‍රකාශය බුද්ධ කාලීන ශ්‍රාවක භාසිතයකි.

ඇවැත්නි! බුදුන් පිරිනිවියහයි, ශෝක නො කරව්, නොහඬව්, ඒ හැඬීම් ශෝක කිරීම්වලින් පලක් නැත. ‘සුමුත්තා මයං තෙත මහා සමණෙන’ අපි ඒ මහාශ්‍රමණයාගෙන් මිදුණේ වෙමු. මෙය කැපය, මෙය අකැපය යන නියමයන්ගෙන් අප පීඩිත වූවෝ වෙමු. ‘ඉදං වො කප්පති ඉදං වො න කප්පති’ දැන් වූ කලී අපි යමක් කැමැත්තෝ නම් එය කරම්හ. යමක් නොකැමැත්තෝ නම් එය නොකරම්හ. මෙම ප්‍රකාශ කළ තැනැත්තා කවුද?

පිළිතුර - බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සත්වන දින ශෝකයෙන් වැලපෙන පුහුදුන් භික්ෂූන් වහන්සේ අමතා ‘සුභද්‍ර’ නම් පැවිද්දෙකුගේ ප්‍රකාශයකි.

ප්‍රශ්නය - දසබලධාරි බුදුගුණ මවාපාමින් ධාතුසේන රජතුමා විසින් කරවන ලද අවුකන බුද්ධ ප්‍රතිමාව කුමක්ද?

පිළිතුර - ලක්දිව ප්‍රතිමා ශිල්පීන් නෙළු හිටි බුද්ධ ප්‍රතිමා අතරෙන් ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස සලකනු ලබන්නේ අවුකන හිටි පිළිමයයි. එම බුද්ධ ප්‍රතිමාවහන්සේ නවවන සියවසෙහි දී ඊට ආසන්න කාලයකදී නෙළන ලද්දක් වශයෙන් සැලකේ.

පිහිටි ගලෙන් මනා ලෙස මතුකොට පටු තීරයකින් පමණක් ගලට සම්බන්ධ වන අයුරින් නිර්මාණය කොට තිබේ. පිහිටි පර්වතයකට සම්බන්ධකොට මෙසේ නෙළු ප්‍රතිමා ආබද්ධ ප්‍රතිමා යනුවෙන් විද්වතුන් හඳුන්වා දී තිබේ. ඉතා විශාල ආබද්ධ ප්‍රතිමාව දක්නට ලැබෙන්නේ වැල්ලවාය අසල ‘බුදුරුව ගලෙහි ය’.

ප්‍රශ්නය - ‘සඳකඩ පහණ’ ශ්‍රී ලාංකික විශිෂ්ඨ කලා කෘතියකි. පැහැදිලි කරන්න.

පිළිතුර - ඉපැරණි බුද්ධ ප්‍රතිමා මන්දිර සහ රජමාලිගාවල ප්‍රවේශස්ථානයේ පාපිස්නක ආකාරයට ඉදිකර ඇති ශෛලමය කැටයම් පුවරුවක් මේ නමින් හැඳින්වෙයි. අර්ධ කවාකාර ගල් පුවරුව අනුරාධපුර ශිල්පීන්ගේ කලා කුසලතාවයෙහි අගය පිළිබිඹු කරන සංකේතයකි. සඳකඩ පහණ මත නෙළා ඇති අලංකාර රූ කැටයම් අතර ඇතා , අශ්වයා, ගවයා, හා සිංහයා කැටයම් කොට ඇත. සජීවි සතුන්ගේ හැඩය ගමන් විලාසය ආදී ලක්ෂණ ඉතා විශිෂ්ඨ නිර්මාණ ලෙස හැඳින්විය හැකිය.

ප්‍රශ්නය - මහින්දාගමනයෙන් පසු මෙරට බිහිවූ මුල්ම බෞද්ධ අධ්‍යාපන ආයතනය කුමක් ද?

පිළිතුර - අනුරාධපුර , මහාවිහාරය

ප්‍රශ්නය - රජගහනුවර බිම්සර මහරජුගේ අග මෙහෙසිය වූ ‘ඛේමා’ බුදුරජාණන් වහන්සේ වෙතින් මහා නිදාන සූත්‍රය අසා මගඵල ලබා රජුගෙන් අවසරගෙන මෙහෙණි සස්නෙහි පැවිදි වූවාය. මෙහෙණි සස්නෙහි ඇය ලැබූ තනතුර හා බුදුරදුන් වෙත පැමිණි සුවිශේෂ ශ්‍රාවිකාවකි. පැහැදිලි කරන්න.

පිළිතුර - රූප මදයෙන් මත් වූ ඛේමා අගමෙහෙසිය බිම්සර මහරජුගේ උපක්‍රමයකින් දිනක් වේළුවන විහාරයට ගොස් බුදුරදුන් හමුවීම සඳහා කැමත්තක් දැක්වූවාය. බුදුරජාණන් වහන්සේ ඛේමාවන් එනු දැක තමන් වහන්සේට පවන් සලන රූමත් කාන්තාවක් මැවූහ. එවිට ඛේමා බුදුරදුන් වෙත පැමිණ මැවු රූපය දෙස බලා සිටියදීම ඒ රූ සිරිත් යුතු තැනැත්තිය මැදි වයස ඉක්මවා මහළු වියට පැමිණ ක්‍රමයෙන් දිරාපත්ව පවන් සැලු විජිනිපත අතහැර පොළොව මත ඇද වැටුණු සැටි ඛේමා දුටුවාය. එයින් රූප මදය නැතිවූ බව බුදුරජාණන් වහන්සේ දැන දහම් දෙසීමෙන් මගඵල ලබා මෙහෙණි සස්නෙහි පැවිදිව මහා ප්‍රඥා භික්ෂුණීන් අතරෙන් අග්තැන් පත් වූවාය.

ප්‍රශ්නය - උපාදානයන් මුළුමනින්ම නසාලනුයේ ‘අනුපාදාය නිබ්බුත’ නම් වේ. මෙහි සඳහන් උපාදාන යන්න පැහැදිලි කරන්න.

පිළිතුර -දැඩිව ගැනීම අල්ලාගැනීම ‘උපාදාන නම් වේ. රූප ශබ්දාදි අරමුණු දැඩිව ගැනීම් වශයෙන් එහි රසවිඳීම කළ බලවත් වූ තෘෂ්ණාව අරමුණෙහි නාමයෙන්ම උපාදානයන්ද හඳුන්වනු ලැබේ. එබඳු උපාදාන සතරක් ධර්මයෙහි සඳහන් වෙයි.

1. කාමුපාදානය
2. දිට්ඨුපාදානය
3. සීලබ්බතුපාදානය
4. අත්තවාදාපාදාන
මේ උපාදානයන් සහමුලින් නසාලූයේ ‘අනුපාදානය නිබ්බුත’ නම් වේ.

ප්‍රශ්නය - ධම්මපද ග්‍රන්ථයෙහි බ්‍රාහ්මණ වර්ගයෙහි පළමු ගාථාවෙහි දෙවන පදය මෙසේ සඳහන් වෙයි.

‘සංඛාරානං ඛයං කූත්වා
අකතඤ්ඤා අසි බ්‍රාහ්මණ

බ්‍රාහ්මණය සංස්කාරයන්ගේ විනාශය දැන අකෘතඥයෙක් වන්න.

මෙම පාඨය ධර්මානුකූල විවරණයකින් දහම් ගැටලු කිහිපයක් අනාවරණය කර ගත හැකිය. පැහැදිලි කරන්න.

පිළිතුර - සංඛාර නම් පංචස්කන්ධ යයිද එහි විනාශය (නැතිවීම) විදර්ශනා ඤාණයෙන් (අනිත්‍ය, දුඞඛ, අනාත්ම ලෙස) දැන ‘අකෘත’ නම් වූ නිවන අරමුණු කිරීම් විසින් දැකීම් හේතුවෙන් (දැනීම් හේතුවෙන්) අකෘතඥ නම් වන්නේ ය. නිවන සංස්කාර හේතුවෙන් හටගත්තක් නොවේ. (අකතං අභූතං අසංකතං-අජාතං - අමතං) ආදී වශයෙන් කර්තෘකාරකයෙන් නැත. එහෙයින්ම අකෘතය, ප්‍රත්‍යයන්ගේ් බලයෙන් ප්‍රත්‍යයන්ගේ එක්වීමෙන් හටගත් ලොව ඇති තාක් සජීවාජීව, වස්තූහු සියල්ල සංස්කාර නම් වෙයි. සංස්කාරයන්ගේ විනාශය වනතුරුම සත්වයා භවයෙන් භවය උපත ලබමින් ගමන් කරන්නේ ය. සංස්කාර අකෘතඥ යන වදන්හි ධර්මානුකූ®ල විවරණයන් නිවැරදිව වටහා ගැනීම ධර්මාවබෝධයයි.

ප්‍රශ්නය - බුදුදහමෙහි ‘සුඛ’ පාලි වචනයෙන් සැප යන්න අවධාරණය කෙරේ. ‘ලෝකෝත්තර පරමසුවය ‘නිබ්බාණං පරමං සුඛං’ නිවනයි එහෙත් සාමාන්‍ය ලෞකික දිවි පෙවෙතට අනුව ‘සුඛ’ යන්න විචිත්‍ර වූ විවිධ වූ සටහන් දේශනා පාලියෙහි ඇතුලත්ව ඇත. එබඳු අවස්ථා කිහිපයක් සටහන් කරන්න.

පිළිතුර - බුදුදහම පරම සැපත නිවන්සැප බව අවධාරණය කරතත් එතෙක් සාමාන්‍ය ජීවිතයෙහිදී හමුවන සැප ප්‍රතික්ෂේප කර නොමැත. එබඳු ‘සුඛ’ හෙවත් සැප දොළොසක් මෙසේ දේශනාවන්ට ඇතුලත්ව ඇත.

1. අත්ථම්හි ජාතම්හි සුඛා සහායා - කටයුත්තක් ඇතිකළ යහළුවන් සහාය සැපතකි.
2. තුට්ඨී සුඛායා ඉතරීතරෙන - තම සන්තකයෙන් සතුටක් ලබයි
3. පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි - මරණය ළං වූ විට කළ පින් සැප පිණිස වේ
4. සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං - සියලු දුක් නැසීම සැප පිණිස වේ
5. සුඛා මත්තෙය්‍යතා ලොකෙ - මවට සැලකීම උතුම් සැපයකි
6. අථො පෙත්තෙය්‍යතා සුඛා - පියාට සැලකීම උතුම් සැපයකි
7. සුඛා සාමඤ්ඤාතා ලොකෙ - මහණුන්ට මනාසේ පිළිපැදීම සැපයකි
8. අථො බ්‍රහ්මඤ්ඤතා සුඛා - රහතන් වහන්සේලා කෙරෙහි මනා සේ පිළිපැදීම උතුම් සැපයකි.
9. සුඛං යාව ජරා සීලං - මහලුව මරණය තෙක් සිල්වත් බව සැපකි.
10. සුඛා සද්ධා පතිට්ඨිතා - ශ්‍රද්ධාවෙහි පිහිටීම සැපයකි
11. සුඛො පඤ්ඤාය පටිලාහො - නැණවත් බව සැපයකි
12. පාපානං අකරණං සුඛං - පාපයෙන් වෙන්වීම සැපයකි.

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි 02 වන දා බදාදා පූර්වභාග 06.28ට ලබයි
3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 02 වන දා බදාදා ය.

මී ළඟ පෝය
පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]