දුරුතු අමාවක 2011.02.02
පරහිතකාමී ජාන ලක්‍ෂණ
වසර හාරසිය හතළිස් තුනක් (1505 – 1948 ) පැවැති යටත් විජිත
පාලනය මෙන් ම වසර විසිහයක් (1983 – 2009 ) පුරා පැවැති
බෙදුම්වාදී සන්නද්ධ අරගලයත් ශ්‍රී ලාංකික අනන්‍යතාව කෙරෙහි
විශාල අහිතකර බලපෑමක් ඇති කළ බව ඇත්ත ය. එ සේ වූව ද සිංහල
බෞද්ධ අනන්‍යතාව වැනසීමට මේ කිසිදු බලවේගයකට හැකි වූයේ නැත.
මෙය පුරසාරමක් නො ව සැබෑ තත්ත්වයයි.
අප මෙහි දී අදහස් කළ සිංහල බෞද්ධ අනන්‍යතාව කුමක් දැයි
ප්‍රථමයෙන් හඳුනා ගත යුතු ය. දෙවන රාජසිංහ රජුගේ සිරකරුවකු
වශයෙන් ක්‍රි.ව. 1660 සිට 1679 දක්වා මෙ රට සිටි රොබට් නොක්ස්
නමැති ඉංගී‍්‍රසි ජාතිකයා කළ ප්‍රකාශයක් මෙහි උපුටා දැක්වීමට
කැමැත්තෙමු.
‘සිංහලයා ඉතා විනීත ය. ආගන්තුක සත්කාරයෙහි තත්පර ය. ස්වදේශීන්
හට මෙන් ම කරුණාවෙන් විදේශිකයන් හටත් සලකන්නේ ය.’
ඇමරිකා එක්සත් ජනපදයේ ගෝලප් සංවිධානය විසින් ලෝකයේ රටවල් 130
ක් අතර සිදු කරන ලද සමීක්‍ෂණයක දී අනාවරණය වී ඇති ආකාරයට
ප්‍රජා සත්කාරක සේවාවල නියැළීම අතින් ශ්‍රී ලංකාවට අටවන ස්ථානය
හිමිවීම පිළිබඳ පුවත ද අප සලකා බැලිය යුත්තේ සිංහල බෞද්ධ
අනන්‍යතාවට අදාළ කරුණක් ලෙස ය. සමාජ සේවා ආයතනවලට මුදල්
ප්‍රදානය කිරීම, සංවිධාන කටයුතුවල දී ස්වේච්ඡාවෙන් සේවය කිරීම,
විවිධ ජාතීන්ට හා පුද්ගලයන්ට සහයෝගය දැක්වීම ආදිය පදනම් කොට
ගෙන කළ සමීක්‍ෂණයකින් මේ ප්‍රතිඵලය ලැබී තිබේ. එහි දී එක් එක්
රට ලබා ගත් ලකුණු සංඛ්‍යාව මත මෙ සේ ශ්‍රේණිගත කැර ඇත. 2009 හා
2010 යන වසර දෙකෙහි සාධක සැලැකිල්ලට ගෙන ගෝලප් සංවිධානය කළ මේ
සමීක්‍ෂණයේ දී ලකුණු සියයට හැටක් ලබාගත් ඇමෙරිකා එක්සත් ජනපදය
ප්‍රථම ස්ථානයට පත්විය. දෙවන ස්ථානය හිමි වී ඇත්තේ එම ලකුණු
ප්‍රමාණය ම ලබාගත් අයර්ලන්තයට ය. ඕස්ට්‍රේලියාව තෙවන
ස්ථානයටත්, නවසීලන්තය සිව්වන ස්ථානයටත්, එක්සත් රාජධානිය පස්වන
ස්ථානයටත්, නෙදර්ලන්තය හයවන ස්ථානයටත්, කැනඩාව හත්වන ස්ථානයටත්
ශ්‍රී ලංකාව අටවන ස්ථානයටත් පත් ව තිබේ. මෙහි දී පාකිස්තානයට
27 වන ස්ථානය හා ඉන්දියාවට 48 වන ස්ථානය ලැබී තිබීම ද
විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.
මේ වර්ගීකරණයේ ඉහළ ස්ථාන ලැබූ සියලුම රටවල් ලොව සංවර්ධිත රටවල්
වශයෙන් පිළිගත් ඒවා ය. එ බඳු පසුබිමෙක ප්‍රජා සත්කාරක
සේවාවන්හි නියැළීම අතින් ශ්‍රී ලංකාව වැනි ඊනියා තුන්වන ලෝකයේ
රටකට අටවන ස්ථානය හිමිවීම විමතියට කරුණක් නො වේ ද? එහෙත්
ගෝලප් සංවිධානය සිදු කළ එම සමීක්‍ෂණයේ දී සලකා බලා ඇති සාධක
අප ජනතාවගේ දිනපතා ජීවිතය සමඟ බැඳී පවතින ගුණාංග බව තේරුම් ගත්
විට මේ ජයග්‍රහණය පුදුමයක් නො වනු ඇත.
මෙහි දී අපට සිහිපත් වනුයේ, සිංහලයන් සුඛනම්‍ය මනසක් ඇති
ජාතියකි. ඒ සුඛනම්‍ය මනසට හේතු වූයේ බුදුදහම යැයි හෙළයේ
මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් කළ සඳහන ය. සිංහල
ජනතාවගේ සුඛනම්‍ය මනසේ ක්‍රියාකාරීත්වය කෙබඳු දැයි තේරුම්
ගැනීමට පිණිස ‘ශ්‍රී ලංකාවේ පැවැති ආගමික හා ජනවාර්ගික සමඟිය’
නමැති ලිපියේ කොටසක් මෙහි උපුටා දක්වමු. ආචාර්ය ලෝනා දේවරාජා
මහත්මිය විසින් ලියන ලද එහි මෙ සේ සඳහන් ය.
‘මහනුවර බෞද්ධ රජවරු, තම ආගමික සිද්ධස්ථාන ගොඩනඟා ගැනීම සඳහා
මුස්ලිම්, හින්දු හා ක්‍රිස්තියානි ලබ්ධිකයන්ට ඉඩම් ලබාදුන් බව
ප්‍රසිද්ධ කරුණකි. මේ ආදර්ශය ජනතාවගේ නායකයන් වූ මහා සංඝයා
විසින් ද අනුගමනය කරන ලද්දකි. අස්ගිරි විහාරයට අයත් භික්‍ෂුහූ
විහාරයට අයිති ඉඩමක් පල්ලියක් තනා ගැනීම සඳහා මුස්ලිම්වරුන්ට
දුන්නාහ. කාටුපල්ලිය නමින් හැඳින්වෙන මේ පල්ලිය තවමත් මහනුවර
නගරයේ දක්නට ලැබෙයි. එය එම රාජධානිය තුළ පැවැති ආගමික සුහදතාව
පිළිබඳ සිහිවටනයකි.’
කුරුණෑගල රිදී විහාරය ද වැදගත් උදාහරණයකි. රිදී විහාරයට අයත්
ඉඩම්වල මුස්ලිම් ජාතිකයෝ විසූ හ. ඔවුහු ‘පැටවිලි පංගු’ හෙවත්
ප්‍රවාහන කාර්යය භාරව සිටිය හ. තම සේවය අවශ්‍ය වූ විටෙක ධාන්‍ය
හෝ වෙනත් කිසිවක් ප්‍රවාහනය කරමින් ඔවුහු විහාරයට සේවය කළ හ.
රිදී විහාරයෙහි භික්‍ෂුහු, ඔවුන්ගේ ගමේ පල්ලියක් තනා ගන්නා
ලෙසට මුස්ලිම්වරුන්ට ඉඩමක් දී තිබිණ. මුස්ලිම්වරුන් ගේ
අධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලීම සඳහා ඉස්ලාම් ආගමික පූජකවරයකුට
ද සිය නඩත්තුව සඳහා වෙනත් ඉඩම් කොටසක් දී තිබිණ. අන් අයටත්
ජීවත්වීමට ඉඩ දී තමන් ජීවත්වීම පිළිබඳ මේ සුවිශේෂ ආදර්ශය දුටු
බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවා කොමසාරිස්තුමා මෙය ආගම් පිළිබඳ
ඉතිහාසයෙහි වෙන කිසි තැනෙක නුදුටු විරූ දෙයක් යැයි ලියා තැබී
ය.”
බුදු දහමෙන් පෝෂණය වූ මේ පරහිතකාමී ජීවන රටාව තවදුරටත් ආරක්‍ෂා
කැර ගැනීම අප ගේ වගකීමකි. |