UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවැරැදිව ප්‍රත්‍යවේක්‍ෂා කරමු

 

අද දවසේ අපි සරලව දහම් කරුණක් කියාදෙන්නට කල්පනා කළෙමු. මේ කාරණා සරලව කථා කළාට ඒවා සරලයි කියල නොසළකා හරින්න එපා. සමහර කාරණා තේරෙන නිසා සරලයි කියල සිතනව වෙන්න පුළුවන්.

මේ කාරණා සරල විදියට කථා කරන්නේ, ඒවා තෝරා බේරා ගන්ට පුළුවන් වෙන්නයි. ඊළඟ දේ තමයි, ඒ කරුණු පුරුදු කරගන්ට එහෙම නැත්නම් හුරු කර ගැනීමට පහසුවක් ඇති කරලා දෙන්නයි අපි මේවා සරලව කතා කළේ. ඒ නිසා අප සරල ආකාරයෙන් කතා කළ පමණින්, ඒ කාරණා සරලයි කියල නොසළකා හරින්ට එපා. විශේෂයෙන් ඒ කාරණා භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ධර්මය තුළ තිබෙන දෙයක් කියල අප විශ්වාස කළොත්, සරලයි කියල කෙසේවත් අප ඒවා නොසැලකිල්ලට භාජනය කරන්නෙ නෑ.

අපි පසුගිය දවස්වල ප්‍රත්‍යවේක්‍ෂා කිරීම ගැන කතා කළෙමු. ඒ වගේ තවත් සූත්‍ර දේශනාවක් අපට කතා කරන්න පුළුවන්. අංගුත්තර නිකාය හය කියන උතුම් ග්‍රන්ථයේ තියනවා ‘ඨිති සූත්‍රය’ කියල දේශනාවක්. ඒ දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, ‘පින්වත් මහණෙනි, මේ කුසල්ධර්ම වල පිරිහීම කියල එකක් තියෙනවා. දියුණුව කියල එකකුත් තියෙනවා. අප යම් ධර්මයක් පුරුදු කරනකොට, ඒකේ තියෙන්න පුළුවන් පිරිහීමේ ස්වභාවයන්. ඒ වගේ ම දියුණු වෙන ස්වභාවයනුත් තියෙනවා. ඒ වගේම එකම මට්ටමේ රැ‍ෙඳන ස්වභාවයකුත් තියෙනවා’ . මතකද කාරණා තුන? එතකොට භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, කුසල් ධර්මයන් පුරුදු කරනකොට, ඒ පුරුදු කරන කෙනා තුළ කුසල් ධර්මයන්වල පිරිහීම කියන එක භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන්නේ නෑ. ඒ වගේම තමයි ඒ කුසල ධර්මයන් තුළ යම් නොවෙනස්ව එකම මට්ටමේ තියනවා නම්, අන්න ඒකත් වර්ණනා කරන්නෙ නෑ කියලා දේශනා කරනවා.

එතකොට කුසල් ධර්මයන් තුළ වර්ධනය වීමක්, වැඩි දියුණු වීමක් තමයි භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන්නේ. දැන් අප ශ්‍රද්ධාව පුරුදු කරනවා නම්, ඒ ශ්‍රද්ධාව පිරිහෙන්න පුළුවන්. අන්න ඒක භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන්නේ නෑ. ඊළඟට එකම මට්ටමේ තියෙනවා, වෙනස් වෙන්නෙ නෑ. අන්න ඒකත් භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන්නේ නෑ. ඊළඟට ශ්‍රද්ධාව දවසින් දවස, මොහොතින් මොහොත වැඩි දියුණු වෙනවා, වර්ධනය වෙනවා. ඒ කුසලය වර්ධනය වෙනවා නම්, අන්න ඒකයි භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන්නේ.

එතකොට අප කැමැති විය යුත්තේ කුමකට ද? කුසල් ධර්මයන් වර්ධනයකට අප කැමැති විය යුතුයි. ඇයි අප කැමැති විය යුත්තේ? ඒ භාග්‍යවතුන් වහන්සේ යමකටද කැමැති වන්නේ, අන්න ඒකට අප කැමැති විය යුතුයි. එතකොටයි අපට සැබෑ ශ්‍රාවකත්වයක් ඇතිකර ගන්න පුළුවන්කම තිබෙන්නේ. එහෙනම් අප කැමති වෙන්න ඕන, අප තුළ යම් කුසල් ධර්මයක් පුරුදු වෙනවා නම්, ඒක වර්ධනය කර ගන්ට. අන්න ඒ බලවත් වූ කැමැත්ත අප තුළ පිහිටා තිබෙනවා නම්, අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ යමකටද කැමැති වන්නේ, අපත් කැමැතියි ඒකට. අපත් අන්න ඒ විදියට කටයුතු කරනවා නම් අප ශ්‍රාවකයන්. අන්න එසේ යම් කෙනෙකුට කටයුතු කරන්න පුළුවන් නම් එයාට ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරන්න පුළුවන්කමක් තියෙනවා. එයා දන්නවා “තමා ශ්‍රාවකයෙක් ය” කියල. ඇයි භාග්‍යවතුන් වහන්සේ කැමැති වෙනවා. ඒ නිසා අප කවුරුත් අප තුළ කුසල් ධර්මයන් වල වර්ධනයක් ඇතිකර ගන්න කැමැත්ත උපදවා ගත යුතුයි.

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ, අපට පෙන්වා දෙනවා, මේ කුසල් ධර්මයන් වල පිරිහීම කියන්නේ මොකක්ද කියල. ස්ථිරව තියෙනවා කියන්නෙ මොකක්ද? වැඩි දියුණු වෙනවා කියන්නේ මොකක්ද කියලත් කියල දෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, “යම් භික්ෂුවක් ඉන්නවා. අන්න එයා තුළ ශ්‍රද්ධාව, ශීලය, ශ්‍රැතය, ත්‍යාගය, ප්‍රඥාව, ඒ වගේම පටිභානය කියන මෙන්න මේ කුසල් යම් ප්‍රමාණයකින් තියෙනවා. යම් ප්‍රමාණයක් එයා පුරුදු කරනවා. හැබැයි ඒක, එක මට්ටමේ තියෙන්නෙ නෑ. වැඩෙන්නෙත් නෑ. අන්න ඒ ස්වභාවයට කියනවා කුසල ධර්මයන් පිරිහෙනව කියල. දැන් තේරුම් ගන්න අප මොකක්ද කළ යුත්තේ කියල.

ඒ වගේම අපට කියා දෙනවා, “යම් භික්ෂුවක් ඉන්නවා එයත් ශ්‍රද්ධාව, ශීලය, ශ්‍රැතය, ත්‍යාගය, ප්‍රඥාව, පටිභාන යන මේ කුසල් ධර්මයන් පුරුදු කරනවා. හැබැයි එයාගේ ඒ කුසලයන් පිරිහෙන්නෙත් නෑ. ඒ කුසල ධර්මයන් වැඩෙන්නෙත් නෑ. අන්න ඒ ස්වභාවයට කියනවා කුසල ධර්මයන් වල ස්ථිර බව, එකම මට්ටමක රැඳෙනවා කියල. දියුණු වෙන්නෙත් නෑ, පිරිහෙන්නෙත් නෑ. අන්න ඒකත් භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන්නෙ නෑ.

ශ්‍රද්ධාව, ශීලය, ශ්‍රැතය, ත්‍යාගය, ප්‍රඥාව, පටිභාන කියන මේ කුසල් ධර්මයන් යම් කෙනෙක් පුරුදු කරනවා. ඒවා පිරිහෙන්නේ නෑ. එක මට්ටමේ රැඳිල තියෙන්නෙත් නෑ. ඒ ස්වභාවයට කියනවා කුසල ධර්මයන්වල අභිවෘද්ධියක්, වැඩි දියුණුවීමක්, වර්ධනයක් කියල. එතකොට භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙන්නේ, අන්න ඒ ස්වභාවය ඇතිකර ගන්න කියලයි. කුසල් ධර්මවල වැඩි දියුණුවීමක්, වර්ධනයකට තමයි භාග්‍යවතුන් වහන්සේ කැමැති වෙන්නේ. එහෙනම් අපත් කැමැති වෙන්න ඕන ඒ තත්ත්වය ඇති කරගන්ට.

එතකොට කොහොමද අප කුසල් ධර්මවල දියුණුවීම ඇති කර ගන්නේ? යම් කුසල් ධර්මයන් අප පුරුදු කරනවා නම් ඒවා වැඩි දියුණු වන ආකාරයටයි අප කැමැති වෙන්න ඕන. අප තුළ එම කුසල් දහම් එකම මට්ටමේ තිබිල වැඩකුත් නෑ. පිරිහිලා වැඩකුත් නෑ. මොකද ඒක අපට සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් කුසල් ධර්මයන් වර්ධනය වෙන්නේ කොහොමද කියල පෙන්වා දෙනු ලබනවා. අපට කියා දෙනවා, “පින්වත් මහණෙනි, අන් අයගේ සිත දකින ස්වභාවය, අන් අයගේ සිත දකින්න පුරුදු වෙන යම් විදියක් තියනවා නම්, අන්න ඒක යමෙකුට බැරිනම් තමන්ගේ සිත දකින්න පුරුදු වෙන්න” කියල කියනවා. අප එතනින් එහාට පහුගිය සති කීපයේ ඉගෙන ගත්තා මතකද? අන් අයගේ සිත දකින ක්‍රමවේදය යම් කෙනෙක් දන්නෙ නැත්නම් තමන්ගේ සිත දකින විදිය පුරුදු වෙන්න කියල කියනවා. ඒ කුසලය ඇති කර ගන්න, ඒ හැකියාව උපදවා ගන්න කියල කියනවා.

පසුගිය සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ කියල දුන්න උදාහරණය මතකද? යම් තරුණයෙක් හෝ තරුණියක් කණ්ණාඩියකින් (ඒ කාලෙ නම් වතුර භාජනයකින් මුහුණ බලා තියෙනවා) මුහුණ බලනවා. මුහුණ බලන කොට එයාට පේනවා මුහුණේ දූවිලි වගේ මොනව හරි දෙයක් තැවරිල තියනවා. අපවිත්‍ර වෙලා තියෙනවා දකිනව. එතකොට එයා මොකටද කැමැති වෙන්නෙ? ඉක්මනින් ම ඒ මුහුණ පිරිසුදු කරගන්න එයා කැමැතියි. එයා කල්පනා කරනවා, “ඉක්මනින්ම මේ මුහුණ පිරිසුදු කර ගත්තොත් ඒක මට මහා ලාභයක්” එයා ඒ සඳහා බලවත් කැමැත්තක් උපදවා ගන්නවා, වීරිය කරනවා.

භාග්‍යවතුන් වහන්සේ විසින් අපට පෙන්වා දෙනු ලබනවා, අන්න ඒ වගේ යම් භික්ෂුවක් තමන්ගේ සිතේ තිබෙන ඒ ස්වභාවය තමා ම ප්‍රත්‍යවේක්‍ෂා කරලා බලන්න කියල. ප්‍රත්‍යවේක්‍ෂා කරල බලන කොට තමන්ටම තේරෙනවා නම්, “මගේ සිතේ මේ මේ ආකාරයේ අකුසල ස්වභාවයන් තියෙනවා” කියල. අපට කියා දෙනවා ආන්න ඒ අකුසලයන් දුරුකර ගැනීම පිණිස බලවත් වූ කැමැත්ත උපදවා ගන්න. එසේ බලවත් වූ කැමැත්ත උපදවාගෙන, වෑයම් කරලා, වීරිය කරල, සිහිය නුවණ උපදවාගෙන ඒ අකුසල ධර්මයන් දුරු කර ගැනීමට කටයුතු කරන්න කියල අපට කියා දෙනවා.

භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා තමන් ගැන තමන් ම හොයල බලන්න කියල. “බොහෝ කලක් මගේ සිත බලවත් වූ ආශාවෙන් වැහිලද තියෙන්නෙ?” එහෙම නැත්නම් බහුල වශයෙන් මා ආශාවන්ගෙන් පිරිල ගිහිල්ල තියෙනවා?’ දැඩි ආශාවෙන් පිරිලද මා වාසය කරන්නෙ?, එහෙම නැද්ද?” කියල හොයල බලන්න කියල කියනවා. එහෙම නැත්නම් “වැඩි වශයෙන් දැඩි තරහෙන් මගේ සිත යට වෙලාද තියෙන්නෙ. එහෙම නැත්නම් වැඩි වශයෙන් මගේ සිත තරහෙන් යටවෙලා නැද්ද?” කියල හොයල බලන්න කියල කියනවා. නැත්නම් “වැඩි කාලයක් ථිනමිද්ධයෙන් මගේ සිත යට වෙලාද පවතින්නේ?” ථිනමිද්ධයෙන් මගේ සිත යට වෙලා නෙවෙයිද වැඩි කාලයක් තියෙන්නේ?” මෙන්න මේ විදියට තමා තමාගෙ සිත ගැන හොයල බලන්න ඕන. ඊළඟට අලසකමින්, කුසීතකමින් මගේ සිත යට වෙලා වැඩි කාලයක් තියෙනව ද? වැඩි කාලයක් මගේ සිත අලස කමින් කුසීතකමින් යට වෙලා නැද්ද? කියල හොයල බලන්න කියනවා.

ඊළඟට කේන්තිය එන ගතිය, කෝප වෙන ගතිය, ඉක්මනින් කිපෙන ස්වභාවයෙන් මගේ හිත යට වෙලා තියෙනවද වැඩි කාලයක්? වැඩි කාලයක් මගේ සිත ඒ කිපෙන ස්වභාවයෙන් යටවෙලා නැද්ද? කියල හොයල බලන්න කියල කියනව. ඊළඟට ධර්මය කෙරෙහි, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, සැක කරන ස්වභාවය, විචිකිච්ඡාවෙන් මගෙ සිත බහුල වශයෙන් බොහෝ කලක් යට වෙලා තියෙනවාද ? මගේ සිත විචිකිච්ඡාවෙන් බොහෝ කලක් යට වෙලා නැද්ද? අන්න එහෙම හොයල බලන්න කියල කියනවා. ඊළඟට මේ කයේ දුබල ස්වභාවය, ඇඟ රිදෙන ගතිය, මැලිකම, ඉඳගෙන ඉන්න අපහසු ස්වභාවයන්, එහෙම නැත්නම් බණ භාවනා හුරු කරගන්න බැරි විදියට අපහසුකම් වලින් මේ ශරීරය පෙළෙනවද? ඒ අපහසුකම් වලින් පෙළෙන ස්වභාවය බහුල වශයෙන් තියෙනව ද? එහෙම නැත්නම් ඒ ශාරීරික අපහසුකම් බහුල වශයෙන් නැද්ද? ආදී වශයෙන් අපට හොයල බලන්න කියල කියනවා. තමාගේ ස්වභාවය තමාම හොඳට සිහි නුවණින් කල්පනා කරල බලන්න කියල කියනව. අන්න ඒකට කියනවා ප්‍රත්‍යවේක්‍ෂා කරනව කියල. තමාගේ ජීවිතය දියුණු කරගැනීම පිණිස මේ උතුම් ධර්මය පුරුදු කර ගැනීමේ හැකියාව සියලු දෙනාටම උදා වේවා!

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි 02 වන දා බදාදා පූර්වභාග 06.28ට ලබයි
3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 02 වන දා බදාදා ය.

මී ළඟ පෝය
පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]