UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මැකුණු අතීතයක නොමැකෙන සිහිවටනයක් මිනුවන්ගොඩ පුරාණ රජ මහා විහාරය

මිනුවන්ගොඩ පුරාණ රජ මහා විහාරය ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගරය කේන්ද්‍රකොට පිහිටා ඇති පෞරාණික විහාරස්ථානයකි.


විහාර මන්දිරය

ජනප්‍රවාදයනට අනුව මෙහි ඉතිහාසය කැලණිතිස්ස රජ සමය දක්වා දිවයයි. කැලණි මහා විහාරය ඉදිකර ඉතිරි වූ ගඩොලින් මෙම මහා සෑය ගොඩනැඟූ බවට මතයක් පවතී. ඒ අනුව මෙම ස්ථානය ‘පුංචි කැලණිය’ යන නමින් හඳුන්වා ඇති බවද පැවසේ.


අලංකාර පිළිම වහන්සේ

කැලණිතිස්ස රාජ්‍ය සමයේ දී එතුමාගේ බාල සොහොයුරු වූ උත්තිය කුමරු දැනට උඩුගම්පල නමින් හැඳින්වෙන ප්‍රදේශයේ මාළිගාගොඩැල්ල විහාරය පිහිටි ස්ථානයෙහි මාළිගාවක් කරවා ප්‍රාදේශීය රජෙකු වශයෙන් පාලනය කළ බව පැවසේ. මෙම මිනුවන්ගොඩ විහාරය එම රජතුමාගේ මූලිකත්වයෙන් ඉදිකරන ලද්දක් බව පැරැණ්නන්ගේ තවත් මතයයි.

මෙසේ පැවතගෙන එන ලදුව නැවත වරක් රාජ්‍යය හා බැඳුනු සිද්ධස්ථානයක් වශයෙන් පැහැදිලිව සටහන් වන්නේ කෝට්ටේ යුගයේදී ය. එම යුගයේදී කෝට්ටේ රජකළ 8 වන වීරපරාක්‍රමබාහු රජතුමාගේ පුතෙකු වූ සකල කලා වල්ලභ කුමරු තම ප්‍රදේශය බතින් බුලතින් ස්වයංපෝෂිත කරවීමට මහත් පරිශ්‍රමයක් දරා ඇති බව කියැවේ. ඒ වෙනුවෙන් කරන ලද වාරිකර්මාන්ත කිරීමේ දී අස්වාන වැවේ බැම්ම කීප වරක්ම යම් යම් හේතු නිසා, කැඩී බිඳී ගිය බවත් එයින් බලවත් සේ සිත් තැවුලෙන් යුතුව සිටි රජතුමා එම සැඩ පහරටම පැන දිවි හානි කරගෙන ඇති බව ඓතිහාසික පුවතකි. රජු එසේ ජීවිතය විනාශ කරගත් බව දැනගත් බිසෝවරුන් ද එම සැඩ පහරටම පැන දිවි තුරන් කරගත් බවට ද රජතුමා ඇතුලු බිසෝවරුන් පැළඳ සිටි රන් රිදී ආභරණ ගසාගෙන විත් ගොඩ ගැසුනු ස්ථානය ‘මිනිරුවන්ගොඩ’ ලෙසින් නම්කර පසුව ‘මිනුවන්ගොඩ’ ලෙසින් ප්‍රචලිත වී ඇත. එම මිණිරුවන් ආභරණ තැන්පත් කර මෙම සෑය නැවත වරක් ඉදිකරන ලදැයි පැවසේ. කාල වකවානු තීරණය කළ නොහැකි පෞරාණික බෝධීන් වහන්සේත් වරින් වර අලුත් වෙමින් පවතින චෛත්‍යරාජයාණන් වහන්සේත් මෙම ස්ථානයේ දීර්ඝ ඉතිහාසය පුරා පැවැති පූජ්‍ය වස්තූන්ය. වත්මන් විහාරසංවර්ධන කටයුතුවලදී අතීතයේ සිට පැවත ආ ටැම්පිට විහාරය ඉවත් කර එම ස්ථානයෙහිම නව විහාර මන්දිරය ගොඩනැංවීමට කටයුතු සලසා ඇත. පැරැණි විහාරය තුළ නිර්මාණය කර තිබූ පැරැණිම බුද්ධ ප්‍රතිමා වහන්සේද ආරක්‍ෂා වන පරිදි නව විහාරය ඉදිකර ඇත.


ඉපැරණි බෝධීන් වහන්සේ

කැලණි රාජ්‍ය යුගයේ පටන් දහනවවන සියවසේ මධ්‍යභාගය දක්වා විහාරස්ථානයේ වැඩසිටි සංඝපීතෘවරුන් පිළිබඳ ජනප්‍රවාදයන්ගෙන් එන තොරතුරු හැරෙන්නට ලිඛිත සටහන් නැත. මහර මේධංකර ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයන් වූ නිල්පනාගොඩ ධම්මානන්ද වල්පල ගුණරතන මැඩෑමුල්ලේ පේමානන්ද යන හිමිවරුන් ආසන්න සිසු පරපුරක් වශයෙන් හැඳින්විය හැකි ය.

මෙහි ක්‍රියාත්මක වන ඉරු දින දහම් පාසල වන ශ්‍රී ධම්මානන්ද දහම් පාසල ඉතා පැරණි කාලයේ සිට ක්‍රියාත්මක වේ. එහි ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ලෙසින් ක්‍රියාකාරී වී සිටින ආඩිඅම්බලම සරණතිස්ස පිරිවෙන් උප ප්‍රධානාචාර්ය මිනු/ශාසනාරක්‍ෂක බල මණ්ඩල ලේඛකාධිකාරී ශාස්ත්‍රපති හැවනතැන්නේ ශීලරතන හිමිපාණන් ඇතුලු ගුරුභවතුන් සිසු දරු දැරියන් 1500 ක් වෙනුවෙන්ම කැපවී සිටීම අගය කළ යුතු වේ. මෙම විහාරස්ථානය ප්‍රදේශයේ ජනතාවගේ හිත සුව පිණිස සිදුකර ඇති වැදගත් මෙහෙයයන් අතර මිනුවන්ගොඩ, රෝහල ඉදිකිරීම සඳහා භූමියත්, නාලන්දා බාලිකා විද්‍යාලය පවතින භූමියත්, දුප්පත් ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා නීලකෙන්ද ඉඩමක් රජයට පරිත්‍යාග කිරීම මහත් සමාජ සත්ක්‍රියාවන් ය.


යුග ගනනාවක සිහිවටනයක් වූ චෛත්‍යය

වත්මන් විහාරාධිපති මකුන්දල චන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේ ගරු කළ යුතු සංඝපීතෘවරයෙකි. ඈත අතීතයේ වැඩ විසූ මහර මේධංකර නායක හිමිපාණන්, ගරා වැටුණු මහ සෑ රදුන් ප්‍රතිසංස්කරණය කර හාල්මිටවලින් තැනු පඩිපෙළක් මතින් ගොස් කොත් පැළඳූ බව කියැවේ. මෙලෙසින් ප්‍රතිසංස්කරණය කැර මහ සෑ රදුන් වසර 150ට පසු 1955 වසරේ දී මනා ලෙස ප්‍රතිසංස්කරණය කර ඇත්තේ චන්ද්‍රාලෝක හිමිපාණන්ගේ යුගයේ දී ය.

වසර දහසක සිට පැවත එන මෙවන් ශ්‍රේෂ්ඨ සිද්ධස්ථාන රැක ගනිමින් වසර දෙදහස් තුන්සියයක දීර්ඝ හා අභිමානවත් ඉතිහාසයක් ඇති මෙරට බුදු සසුනෙහි අභිවෘද්ධිය වෙනුවෙන් තම යුතුකම ඉටු කරන මහා සඟ පරපුර ගෞරවයෙන් සිහිපත් කළ යුතු වේ.

 

 


ධර්ම ශාලාව

 

 

 

 

 

 

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි 02 වන දා බදාදා පූර්වභාග 06.28ට ලබයි
3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 02 වන දා බදාදා ය.

මී ළඟ පෝය
පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]