UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දානය

“ සබ්බ දානං ධම්ම දානං ජිනාති “

සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් බව හඳුන්වා දෙන බෞද්ධ දර්ශනය තුළ දානය හෙවත් පරිත්‍යාගයට ලබාදී ඇත්තේ අද්විතීය ස්ථානයකි. දානය පුද්ගලයා තුළ පුරුදු පුහුණු කළ යුතු ශ්‍රේෂ්ඨ ගුණධර්මයක් බව බුදුදහමින් අවධාරණය කරයි.

මේ අතර දන්දීම විවිධ අවස්ථාවලදී විවිධ අයුරින් සිදුවේ. දන්දීමේදී විශේෂයෙන් බෞද්ධයන් අවබෝධයෙන් දන්දීම වඩාත් ආනිශංසදායකය. “ දානය” යනු තමන් සතු දෙයක් අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලයන්ගෙන් යුතුව අන්සතු කිරීම හෙවත් පරිත්‍යාග කිරිමයි. එසේ පරිත්‍යාගකරන දාන වස්තුව ධාර්මිකව සපයාගත් දෙයක් වීමද අනිවාර්යය වෙයි. අන්සතු දෙයක් පැහැර ගැනීමෙන්, සොරකම් කිරීමෙන් වංචා කිරීමෙන් මෙන්ම ප්‍රාණඝාතයෙන්, මත්ද්‍රව්‍ය හා වස විෂ වෙළෙඳාමෙන් උපයාගත් ධනයෙන් දෙන දානයක් නොවිය යුතුය.

තමන් පූජාකරනු ලබන දානය පිළිගන්නා ප්‍රතිග්‍රාහක පක්ෂයට පිළිගැනීමට සුදුසු පරිහරණයට යෝග්‍ය දෙයක්ද විය යුතුය. එමෙන්ම පිරිසුදු සිතින් යුතුව එය පිළිගැන්වීමද ඉතා වැදගත්ය.

ඇස්, ඉස්, මස්,ලේ දන්දීම අතිමහත් පින්කම්ය. නමුත් එසේ දිය යුත්තේ තමන්ගේම ඇස්, ඉස්, මස්, ලේ හැර තවත් අයෙකුගෙන් සොරාගත් ඒවා නොවිය යුතුය. සාගින්න ඉවසාගත නොහැකිව තම පැටවුන් කෑමට සූදානම් වූ දිවිදෙනකට අප බෝසතාණන් වහන්සේ පිදුවේ තම සිරුරේ මස්ය. සිවි ජාතකයෙහි දී උන්වහන්සේ පිදුවේ තමන්ගේම ඇස්ය. සිරිසඟ බෝ රජතුමා දන් දුන්නේ තමන්ගේම හිසය.

සියලුම බෞද්ධ ගුණධර්ම අතර පළමුතැන දානයට හිමිවේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලදීද පළමු ස්ථානය දානයට හිමිවේ. නමුත් සීලය සහ භාවනාව ප්‍රමුඛත්වයෙහිලා සැලකේ. සීල, භාවනා යන උසස් ගුණධර්ම ප්‍රගුණ කිරීමට දානය උපයෝගී වෙයි. දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පියවර එකිනෙකට බැඳී පවතී. පුද්ගලයා නිවනට පමුණුවාලන ගුණධර්ම දහයක් ලෙස දසපාරමිතා ධර්ම බුදුදහමෙහි විස්තර කරයි.

“ දානං , ශීලංච නෙක්ඛම්මං
පඤ්ඤා විරියෙන පඤ්චමං
ඛන්ති සච්චඅදිට්ඨානං
මෙත්තුපෙක්ඛා ඉමෙ දස”

යනුවෙන් දැක්වෙන්නේ දාන, සීල, නෛෂ්කම්‍ය, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා, යන දසපාරමි ධර්මයන්ය. මේ අනුව බෝධිසත්වයන් වහන්සේලාගේ පාරමිතා අතර අනුපිළිවෙළේ ඉහළින්ම තිබෙන පුණ්‍ය කර්මය ‘දානය’ බව පෙනේ. දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තු වලදීද දානයට හිමිකරදී ඇත්තේ ප්‍රමුඛස්ථානයයි. දස රාජ ධර්ම වලදී ද රජ කෙනෙකු තුළ තිබිය යුතු ගුණාංග දෙකක් වශයෙන් දානය හා පරිත්‍යාගය හඳුන්වා දෙයි. රජකෙනෙකු හට සමාජයට ප්‍රජාවට හිතවත්ව රට පාලනය කළ හැක්කේ මෙම ගුණධර්ම ප්‍රගුණ කිරීමෙනි.

බුදුදහමේ ගැඹුරු ලෙස විස්තර කෙරෙන මෙම සමාජ හිතවාදී සංකල්පය ආගමකට, ජාතියකට සමාජයකට සීමා නොවූ මානව ගුණාංගයකි. තමා වෙනුවෙන් උපයා සපයා ගත් යමක් තවත් අයෙකුට දන් දීම උතුම් පරිත්‍යාගයකි. ඒ සඳහා සිත තුළ බෝසත් ගුණ තිබිය යුතුවේ. අප මහ බෝධිසත්වයන් තුළ පැවැති දාන පාරමිතාව කෙතරම් ශ්‍රේෂ්ඨදැයි ඒ පිළිබඳව කරුණු කාරණා පිරික්සීමේදී පැහැදිලි වේ. උන්වහන්සේ අනේකවිධ දාන පාරමිතා පිරූ බව සත්‍යයකි.

අංගුත්තර නිකායේ උජ්ජාය සූත්‍රයේදී බුදුරදුන්, “දානය” පිළිබඳ විස්තර කැරේ. දිනක් උජ්ජාය නම් බමුණා බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ, භාග්‍යවතුන් වහන්ස, “ ඔබවහන්සේ යාග දානයන් වර්ණනා කරන්නේ දැයි ඇසීය. ඊට බුදුරදුන් දුන් පිළිතුර වූයේ, බමුණ මම හැම යාග දානයක්ම වර්ණනා නොකරමි. යම් දානයක් සඳහා ගවයන්, බැටළුවන් , ඌරන්, කුකුලන්, ආදී විවිධාකාර ප්‍රාණීන් නසද්දී එවැනි ප්‍රාණඝාත සහ වධහිංසා සහිත යාගදාන මම වර්ණනා නොකරමි. එවැනි දානයකට බුද්ධාදී මහ රහතුන් වඩින්නේද නැත.

බමුණ යම් යාග දානයක් උදෙසා එබඳු ප්‍රාණඝාත, වධහිංසා නොකරන්නේද එම හිංසා රහිත දානය මම වර්ණනා කරමි. එවැනි අවිංහිංසා දානයට බුද්ධාදී මහරහතුන් වඩින්නාහ, යනුවෙනි.

අභය දානය දාන අතර ප්‍රධාන වෙයි. අභය දානය යන්නෙන් අදහස් කරන්නේ ජීවිත දානය ලබාදීමයි.

“සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
නහනෙය්‍ය න ඝාතයේ”

දඬුවම් විඳීන්නට සැම කෙනෙක්ම බිය වෙති. මරණයටද සෑම කෙනෙක්ම බිය වෙති. එබැවින් තමා උපමා කොටගෙන අන් සතුන්ට තැලීම් පෙළීම්, නැසීම් නොකළ යුතුය, යනුවෙන් ධම්මපදයෙහි දැක්වෙන්නේ මිනිසාගේ හෝ වේවා සත්වයෙකුගේ හෝ වේවා ජිවිතයට හානි නොපැමිණවීමයි. සෑම සත්වයෙක්ම තමාගේ ජීවිතයට ඇලුම් කරයි. ‘පණාතිපාතා වේරමණී සික්ඛාපදං’ සික්ෂාපදය පංචශීල ප්‍රතිපදාවේ පළමුව දැක්වීමෙන් බුදුරදුන් අභය දානයේ උත්තරීතරභාවය ලොවට හෙළිකළහ. මරණයට කැප වූ සත්වයින් නිදහස් කිරීම දීර්ඝායුෂ ලැබීමට හේතුවන මහා පින්කමක් වෙයි. එසේම පරපණ නැසීම පුද්ගලයාට අඩු ආයුෂ ලැබීමට හේතුවන බව දක්වයි. දන්දීමේ නාමයෙන් ඇතැම් පුද්ගලයින් සියදහස් ගණන් අසරණ තිරිසන් සතුන් ඝාතනය කරයි. මනා සිහිනුවණින් යුතුව කල්පනා කර බැලීමේදී එය සාපරාධී ක්‍රියාවක් බව පැහැදිලිව අවබෝධ වෙයි.

ඇතැම් අයෙක් තවත් කෙනෙකු පරදවා තමා කැපී පෙනීමට දාන, පින්කම් සිදුකරයි. එවක් දානමය පින්කම් තුළින් පුද්ගලයාට මේ භවය තුළ කීර්ති, ප්‍රශංසා හිමි වුවද චේතනාවේ පාරිශුද්ධ බවත් නොමැති බැවින් පරලොව සුගති ගාමී වීමක් සිදුනොවීමට ඉඩ ඇත. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් බුදුරදුන් දේශනා කළේ. ක්‍රියාවට වඩා චේතනාව පුද්ගලයාගේ සුගතිගාමීත්වය උදෙසා හේතුවන බවයි.

වෙසක්, පොසොන් කාලය ගත් විට බෞද්ධයා තරම් දන්දෙන ජාතියක් ගැන සිතීමද අසීරුය. එවැනි කාලවල අප රටේ කොතරම් දන්සැල් ප්‍රමාණයක් පවතිනවාද? සැබවින්ම අප එය අගය කළ යුත්තකි. වෙසක් පොසොන් උත්සව කාලවලදී කුසගින්නේ පෙළෙන සත්වයෙකු නොමැති තරම්ය.

චේතනා අනුව අනුකම්පා බුද්ධියෙන් දෙන දාන සහ පූජා බුද්ධියෙන් දෙන දාන වශයෙන් දානය කොටස් දෙකකට බෙදේ. දුගී මගී යාචකාදීන්ටත් තිරිසන් සතුන්ටත් දන්දෙන්නේ අනුකම්පා සිතිනි. මව්පියන්ටත්, ගුණවත් සිල්වත් මහාසංඝරත්නයට දන්දෙන්නේ පූජා සිතිනි. පූජා සිතින් පිරිනමන දානයෙහි ආනිසංස මහත්ඵලය මහානිශංස ය.

බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පිළිගැන්වූ දන මහත්ඵල මහානිසංස ගෙන දෙන බව බෞද්ධයෝ දනිති.

මහාසංඝරත්නය උදෙසා දන්පිරිනැමීමෙන් මහත්ඵල උරුමකරගත් විශාඛා සිටුදේවිය, අනේපිඬුසිටුතුමා, මල්ලිකාදේවිය, කෝසල රජතුමා, බිම්බිසාර රජතුමා යනාදී ධනධාන්‍යයෙන් ආඪ්‍ය වූ පිරිස් ගැන බුදුදහමෙහි නොඅඩුව සඳහන් වෙයි.

තම තමන්ට හැකි අයුරින් නැති බැරිපුද්ගලයින් උදෙසා පිරිනමන දානයන්ද සුළුකොට නොසැලකේ. වස්ත්‍ර , ඉඳුම් හිටුම්, යනාදිය අසරණ පුද්ගලයින් වෙනුවෙන් දන් දීමෙන් පුද්ගලයාගේ මෙලොව, පරලොව, දෙලොවම දියුණුවෙයි.

දන්දෙන පුද්ගලයින් පිළිබඳ අගය කළ ශ්‍රේෂ්ඨ උත්තමයෙකි බුදුරජාණන් වහන්සේ. නැති බැරි අයෙකුට ඇඳුමක් දන් දුන් අයෙකුට මේ ජීවිතය පුරා ඇඳුමින්, පැළඳුමින් අඩුවක් නොවේ. කුසගින්නෙන් පෙළෙන අසරණයෙකුට කෑම වේලක් පිරිනැමූ අයෙකුට කවදාවත් තමන්ගෙ කෑමවේල නොවරදින්නකි.

සෑම පුද්ගලයෙකුටම දන්දීමේ චේතනාව පහළ නොවේ. දන්දීම නමැති උතුම් පාරමිතාව පහළවන්නෙත් බෝසත් ගුණවඩන තැනැත්තන් තුළය.

සියලු දාන අතර ධර්ම දානය උතුම් බව බුදුරදුන් දේශනා කළහ. කෙනෙකුට දහම් දෙසීම, දහම්පත පොත බෙදාදීම, එය ධර්ම දානයයි. වැරැදි වැඩ, පව් වැඩ වළින් යමෙක් ඉවත්කරගන්නවා නම් පුද්ගලයින් තුළ අධ්‍යාත්මික ගුණධර්ම වගාකරගැනීමට අනුබල දෙනවා නම් මිථ්‍යාවෙන් වෙළී සිටින්නන් ඉන් මුදාගෙන සත්‍ය දහම අවබෝධ කරදෙන්නේ නම් ධර්මය තුළින් දියුණුවක් පුද්ගලයින් තුළ ඇතිවේ. එය ධර්ම දානයක් ද වේ.

රටක්, ජාතියක් මානව හිතවාදීව දියුණුවක් කරා ගමන් කිරීම උදෙසා පරිත්‍යාගශීලිත්වය ප්‍රගුණ කළ යුතුය. “ දානය” උතුම් ක්‍රියාදාමයක් වන්නේ පුද්ගල අධ්‍යාත්මය කුසල මූලයන්ගෙන් පෝෂණය වන නිසයි. කුමන ආකාරයේ දානමය කටයුත්තක් වුවද එය පිරිනමන පුද්ගලයින් පිරිසුදු චේතනා සිත්හි රඳවා ගනිමින්, අත්හැරීම පුරුදු පුහුණු කිරීම දෙලොවෙහිම සාර්ථකත්වය සඳහා ඉවහල් වේ.

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි 02 වන දා බදාදා පූර්වභාග 06.28ට ලබයි
3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 02 වන දා බදාදා ය.

මී ළඟ පෝය
පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]