UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සුරාව පිටු දකිමු

මත් වතුර පානය හා මත්ද්‍රව්‍ය භාවිතය ලාංකික සමාජය පමණක් නොව සමස්ත ලෝකයම බිලිගන්නා රාක්‍ෂසයකුගේ තැනට පත්ව ඇති බව හැමතින්ම අසන්නට ලැබේ. මත් උවදුර නිසා ඇතිවන සමාජ පරිහානිය වලකාගනු වස් ‘මතට තිත’ වැඩ සටහන රජයෙන් ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහය ප්‍රශංසනීය ය. මෙවැනි අවස්ථාවක මත් වතුර හා මත් ද්‍රව්‍ය භාවිතය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම ඉස්මතුකොට දැක්වීම අත්‍යවශ්‍ය කරුණකි.

බෞද්ධ සමාජ ආචාර ධර්‍ම පද්ධතියේ පදනම වන්නේ පංච ශීලයයි. මදයට හා ප්‍රමාදයට හේතුවන මත් වතුර පානයෙන් වැළකීම එහි පස්වන ශික්‍ෂා පදයයි. පංච සීල ප්‍රතිපත්තිය ශිෂ්ටාචාර සම්පන්න සමාජයේ මූලික ලක්‍ෂණය වන බැවින් මිනිසා මතින් තොරවීම ශිෂ්ටත්වයේ අංග ලක්‍ෂණයක් වශයෙන් බුදු රදුන් සැලකූ බව මින් පෙනේ. රහ මෙර නිසා ‘මදය හා ප්‍රමාදය’ ඇතිවන බව එම ශික්‍ෂා පදය තුළම අන්තර්ගතව පවතී. ‘මදය’ යනු උමතුවීමයි. ප්‍රකෘති සිහියෙන් තොරව හොඳ නරක පින් පව් තෝරා බේරා ගැනීමට නොහැකිව උම්මත්තකයකු සේ ක්‍රියා කිරීමයි. ආරෝග්‍ය මදය, යෞවන මදය ආදී ස්වාභාවිකවම පුද්ගලයකු කරා පැමිණෙන උමතු ස්වභාවයන් පවා බුදු රදුන්ගේ ගැරහීමට ලක්ව තිබේ. සුරා මදය වූ කලී ස්වභාවයෙන් ඇතිවන්නක් නොව වුවමනාවෙන් ඇති කරගනු ලබන්නකි. ප්‍රකෘතියෙන් පිහිටි, හරි වැරැදි තෝරා බේරාගෙන ක්‍රියා කළ හැකි සිත, වුවමනාවෙන්ම උමතු භාවයට පත්කර ගැනීම පවු පුරවා ගැනීමට මඟ සලසන්නක් වන බව නුවණින් සිතා බලන්නකුට පැහැදිලිය.

‘ප්‍රමාදය’ යන පදය බුදු දහමේ පුළුල් අරුතකින් භාවිතා වන්නකි. කුසලය හෙවත් සසර දුකින් මිදීමේ මඟ ප්‍රමාද කරවමින් දස අකුසලයට පුද්ගලයා යොමු වන්නේ ප්‍රමාදය නිසාය. ‘ප්‍රමාදය මාරයාගේ කරුණකි’ (පමාදො මච්චුනො පදං) ආදී වශයෙන් ප්‍රමාදවීම පිළිබඳ ඉගැන්වීම් රාශියක් ධම්මපදයේ අප්පමාද වර්‍ගයේ විස්තර වෙයි. සුරා පානය ඉහත කී පරිදි සිහිය විකෘති කිරීම නිසාත් අකුසලයට පුද්ගලයා නැඹුරු කරවන නිසාත් අත්හළ යුත්තක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

එම ශික්‍ෂාපදය මත් වතුර බීමට පමණක් සීමාවන්නේ නැත. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මද්‍ය පාන වර්ග මෙන්ම කංසා, අබින් හා විවිධ නම්වලින් හැඳින්වෙන මත් කුඩු වර්‍ග ඇතුළු සියලුම දේ මීට අයත් ය.

සිඟාලෝවාද සූත්‍රයේදී සම්පත් විනාශ වන දොරටුවක් වශයෙන් පෙන්වා දෙන රහමෙර භාවිතය (සුරාමෙරය මජ්ජපමාදට්ඨානානුයොගො) නිසා ආදීනව පහක් අත් විඳීමට සිදුවන බව දක්වා තිබේ.

එනම්, ධනය විනාශවීම, අරගලවලට පැටලීම, අපකීර්තියට පත්වීම, රෝගියකු වීම හා නුවණ දුර්වලවීම යන කරුණු පහය.

මිනිසා විසින් සුරාව සොයා ගැනීම පිළිබඳව කුම්බ ජාතකයේ කතා පුවතක් විස්තර වෙයි. එම ජාතක කථාව දේශනා කරන ලද්දේ විශාඛා මහෝපාසිකාවන්ගේ යෙහෙළියන් පිරිසක් වෙතය. සුරා පානය කොට අශෝභන ලෙස බුදු රදුන් ඉදිරියේ හැසිරුණු හෙයින් එම යෙහෙළියන් පිරිස අරබයා එම ජාතක කථාව දේශනා කළහ. එම ජාතක කථාවේ අතීත කථාව අනුව කසී රට විසූ සුර නම් වැද්දෙක් මහ වනයෙහි දඩයම් පිණිස ඇවිද යද්දී ගසක් මුල විසඥව වැටී හුන් ලිහිණි කොබෙයි ආදී පක්‍ෂීන් රැසක් දුටුවේය. මළාක් මෙන් වැටී සිටි එම සතුන් මඳ වේලාවකින් සිහිය ලබා ඉගිල යනු දුටු ඔහු ඊට හේතු විමසා බලද්දී එක්තරා රුක් බිලක ඇති පැන් පානය කිරීමෙන් එසේ වන බව වටහා ගත්තේය. තෙමේ ද ඉන් ස්වල්පයක් පානය කිරීමෙන් ඔහුට ද ආස්වාද ජනක මත් ගතියක් දැනුනේය. වැඩිදුර සොයා බලද්දි සතුන් විසින් කා දමන ලද ධාන්‍ය වර්ග ගස් බිලයේ රැස්වුණු පැන්වලට වැටී පැසීමෙන් එම පානය සකස් වී ඇති බව ඔහුට අවබෝධ විය.

ඔහු සුරාව බඳුනකට පුරවාගෙන විත් බරණැස රජුට ද පිළිගැන්වීය. එම පානය සකස්වුණු ආකාරය වටහාගෙන තිබුණු බැවින් ඒවා නිෂ්පාදනය කොට රජු ඇතුළු සියලු ජනතාවට ද සුරාව හුරු කළේය. නොබෝ කලකින් සුරා ලොල් වූ රටවැසියනුත් නිසා බරණැස්පුරය මුළුමනින්ම පරිහානියට පත්විය. මෙසේම සාකේත නගරයත් සුරාවට ලොල්ව වැනසී ගියේය. අවසානයේ දී සැවැත්නුවර රජ කළ සබ්බමිත්ත නම් රජ කෙනෙක් මධුපානොත්සවයකට සූදානම්ව සිටියදී සක් දෙවු රජු පැමිණ අවවාද දී එය නවතා දැමුවේය.

සුරාවට ලොල්ව ඉතා දරුණු පාප කර්‍මවලට පෙළඹුණු අය පිළිබඳව ද ජාතක කථාවලින් අසන්නට ලැබේ. ධර්මද්වජ ජාතකයේ එන තොරතුරකට අනුව ඡත්තපාණී නම් කපුවා සුරාවෙන් මත්ව තම පුත්‍රයා මරා මාංශ අනුභව කළේය. තුණ්ඩිල ජාතකයේ එන පරිදි එක්තරා මැහැල්ලක් පුත්‍ර ප්‍රේමයෙන් හදා වඩාගත් ඌරු පැටවා මිල ගෙවා ඉල්ලා සිටි සුරා සොඬුන්ට විකිණීම තරයේ ප්‍රතික්‍ෂේප කරයි. එහෙත් සුරා සොඬහු ඇයට මත් වතුර පොවා සිහි විකල් වූ පසු ඌරු පැටවා මස් පිණිස විකිණීමට එකඟ කරවා ගනිති.

සුරාවෙන් මත්වීමෙන් මිනිසා තිරිසනකුගේ තත්ත්වයට පත්වෙන බව සුරාපාන ජාතකයෙන් පැවසෙයි. තාපසවරු පන්සියයක් ලුණු ඇඹුල් සේවනය පිණිස හිමාල වනයේ සිට බරණැස් නුවරට පැමිණියෝය. බරණැස් රජු ඔවුන්ට රාජෝද්‍යානයෙහි නැවතීමට සලසා සංග්‍රහ කළේය. නගරයේ සුරා පානෝත්සවයක් පැවැත්වෙද්දී සකස් කළ සුරාව තවුසන්ට ද පිළිගන්වනු ලැබිණි. සුරා බී මත්වුණු තවුසෝ විවිධ විකෘති චය¸ා දක්වන්නට වූහ. සිහි එළැඹුණු පසු තමන් තවුස් දිවියට නොගැලපෙන සේ හැසුරුණු බව වටහා ගන්නා තවුසෝ පෙරළා හිමාල වනයට ගොස් තම ආචාය¸වරයාට මෙසේ ප්‍රකාශ කළහ.

අපායිම්හ අගායිම්හ – අනච්චිම්හ රුදිම්හච
විසඤ්ඤකරණිං පිත්වා - දිට්ඨානාහුවානරා’කි

(සුරාව) පානය කළෙමු. ගායනා කළෙමු. නැටුවෙමු. හැඬුවෙමු. සිහි විකල් කරන්නා වූ (මත් වතුර) පානය කොට වඳුරන් බවට පත් නොවුනා පමණි.

මත් වතුර කොතෙක් දුරට පුද්ගලයා විකෘති සිහි ඇත්තෙක් බවට පත් කරන්නේ ද යන්න එම ජාතක කථාවෙන් ස්ඵුඨ කිරීමට උත්සාහ දරා ඇත. චුල්ල නාරද ජාතකයේ බඹසර වසන්නවුනට සුරාව ඉමහත් පීඩාවක් බව පැවසෙන්නේ මෙසේය.

“තපස් කරන්නවුන්ට විස නම් කවරේද? එසඳ බෝධිසත්වයෝ කියන්නාහු ‘ පුත ලෝකයෙහි පුෂ්පාස්වාදී ආශ්‍රය සුරා යයි කියති. ඒ තෙම සිත්කළු සුව දැනෙන්නේය. මනොඥය, මධුරය, දඬුවැල් මීයෙහි රසය හා සමාන වන්නේය. එබඳු වූ සුරාව උත්තමයෝ බ්‍රහ්මචයාවට විස යයි කියති.’

දුබ්බච ජාතකයේ එන පරිදි එක්තරා විද්වතෙක් ජනතාව ඉදිරියේ කරනම් (සර්කස්) සන්දර්ශන ඉදිරිපත් කොට ජීවනෝපාය සලසා ගත්තේය. ඔහු වරක් මත් වතුර බී උල් වූ ආයුධ පෙළක් සිටුවා ඒවාට උඩින් පනිමින් සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී ඔහුගේ ශිෂ්‍යයා කරුණු කියා එය වළක්වන්නට උත්සාහ කළේය. එහෙත් ශිෂ්‍යයාට අවනත නොවූ හෙතෙම ආයුධ හතරක් උඩින් පැන පස්වන ආයුධයේ ඇනී මරුමුවට පත්විය.

රහමෙර පානය අපායගාමී අකුසලයකි. නිමි මහරජාණන් අපාය නැරඹීමට ගියවිට සුරාපානය කොට සතුන්ගේ මස් කෑවවුන් ලෝ කුඹු නිරයේ දුක් විඳින අයුරු දුටු බව නිමි ජාතකයේ පැවසෙයි.

මත් වතුර පානය ඉපැරණි ශ්‍රී ලාංකිකයන් විසින් ද ග්‍රාම්‍ය අශිෂ්ට කාරණයක් සේ සලකනු ලැබූ බව පෙනේ. දුටු ගැමුණු මහ රජුගේ ප්‍රධාන සෙනෙවියකු වූ ගෝඨයිම්බර යෝධයා තම බිරියට ඇලුම්කොට කවටකම් කළ මහාසේන නම් යක්‍ෂයා සමඟ ද්වන්ධ යුද්ධයක් කොට ජය ගෙන රජු සමඟ ඒ බව පැවසීමට සුරාවෙන් මත්ව පිරිවර සහිතව ගිය නමුත් රජ වාසලට ඔහුට ඇතුළුවීමට ඉඩ නොදෙන ලදී. කලකිරීමට පත් ගෝඨයිම්බර එතැනින් නික්ම ගොස් අරණ්‍යවාසී භික්‍ෂු සංඝයා වෙත පැවිදි වී රහත් විය.

පෘතුගීසින්ගෙන් ලංකාව මුදා ගැනීම සඳහා කන්ද උඩරට රාජධානියේ රජකම් කළ සිංහල රජෙකුට ලන්දේසි තානාපතිවරයකු සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව උදාවිය. රජු ඒ සඳහා නියම කර ගත් ස්ථානයට ගියවිට ලන්දේසි තානාපතිවරයා ද පැමිණියේය. එහෙත් ඔහු සිටියේ සුරා පානය කොට බමන මතිනි. කලකිරීමට පත් රජු “ මේ බල්ලා බැඳ දමව්” කියා ආපසු හැරුණේය. දිවයිනේ ඉතිහාසය වෙනස් කිරීමට හේතුවිය හැකිව තිබුණු අවස්ථාවක් සුරාව නිසා වැලකී ගියේ එලෙසය.

බෞද්ධ කර්‍ම විපාක ඉගැන්වීම්වලට අනුව මත් වතුර බොන පුද්ගලයාට වඩා ඒවා නීතියට අනුව හෝ නීති විරෝධීව නිෂ්පාදනය කරන හා අලෙවි කරන අය දරුණු දුර්විපාක ලබති. මත් වතුර පානය කරන්නා තමන්ට පෞද්ගලික අයහපතක් කරගන්නා නමුත් නිෂ්පාදකයෝ හා අලෙවි කරන්නෝ විශාල සමාජ ව්‍යසනයක් කරති. මතට ඇබ්බැහි වී සමාජගතවන අයවලුන් සිදුකරන අපරාධවලට නිෂ්පාදකයෝ හා අලෙවි කරන්නෝ වක්‍ර වශයෙන් දායක වෙති.

එබැවින් මෙලෝ වශයෙන් ඔවුන්ගේ අතමිට සරුව සෞභාග්‍ය සම්පන්න භාවයක් පෙනෙන නමුත් පරලොව දී නිරා දුක් විඳීමට හා මිනිසත් බවක් ලැබූව ද විවිධ දුක් පීඩා කරදර කම්කටොළුවලට මුහුණ දීමට සිදුවේ. දිනපතා අසන්නට ලැබෙන බොහෝ ඛේදවාචකයන් පිටුපස මත්පැන් තිබෙන බව ප්‍රකට කරුණකි.

මඟුල්, මරණ, පින්කම්, උපන් දින, සාද, මිතුරු හවුල් ආදී අතැම් සමාජ ඒක රාශිවීමක්ම මත් වතුරෙන් දූෂණය වී තිබීම කනගාටුදායක ය. මිනිස් සිරුරට අවශ්‍ය සාධකයක් නොවන බවට වෛද්‍ය විද්‍යාත්මකව ද සනාථ වී ඇති, බෞද්ධ චින්තනය විසින් මහා විපත් ඇති කරවන්නා වූ පුරුද්දක් සේ සැලකෙන මත් වතුරින් තොරවීමට කල්පනා කිරීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම වගකීම විය යුතුය.

 

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි 02 වන දා බදාදා පූර්වභාග 06.28ට ලබයි
3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 02 වන දා බදාදා ය.

මී ළඟ පෝය
පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]