ඇලීම් ගැටීම් නොමැති සිත සුන්දර ය අකම්පිත ය
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රීමූර්ති මහ නා හිමි
සන්තින්ද්‍රියෝ නම් ශාන්ත වූ ඉඳුරන් ඇති බව ය. දැමුණු ඉඳුරන් ඇති බව ය. එසේත් නැති
නම් ඉඳුරන් සංවර ව ආරක්ෂා කරගෙන ඇතැයි යන අර්ථය දෙන්නේ ය.
අපගේ ඇසට, කනට, නාසයට, දිවට හා ශරීරයට හමුවන අරමුණු වෙත ලෝභයෙන්, ද්වේශයෙන්,
මෝහයෙන් ඇලෙනවා නම්, ගැටෙනවා නම් ඒ හා ම ඒ ඉඳුරන්ගේ නොසන්සුන් වීම ඇරඹේ. දමනය වීමක්
නොවේ. එහෙයින් ඒ අරමුණු අවබෝධයෙන් හඳුනාගත යුතු ය.
ඒ තුළ, ඒ අරමුණුවල නොඇලෙනවා නම්, නොගැටෙනවා නම් සියලු ඉඳුරන්ගේ සන්සුන් බව ඇතිවේ. ඒ
ශාන්ත බව, සංවර බව භික්ෂූන් වහන්සේට පමණක් නියම වූවක් නොවේ. ගිහි ජීවිතයේ ශික්ෂණය
පිණිස ද, හික්මීම පිණිස ද හේතු වේ. එය යහපත් ජීවිතයක අඩිතාලම යි.
මිනිසා යනු ඉන්ද්‍රිය සයක එකතුවකි. අප ජීවත්වීම ලෙස හඳුන්වන්නේ එම ඉන්ද්‍රියයන්ගේ
ක්‍රියාකාරීත්වයට යි. යම් හෙයකින් මේ ඉන්ද්‍රිය අක්‍රිය වූයේ නම් ඒ මොහොතේ සිට මේ
ජීවිතයේ පැවැත්මක් නොවේ.
ඉපදෙමින්, මිය යමින් චක්‍රයක් සේ දිවෙන මේ සසර ගමනේ කෙළවරක් නොදැකිය හැකි වන්නේ
වැරැදි ආකාරයට, දූෂ්‍ය වන ආකාරයට, කිලිටි වන ආකාරයට මේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක කිරීම
නිසා ය. ඒ සසර ගමනේ දී සතර අපායේ ද, මිනිස් ලොවෙහි ද, දිව්‍ය ලෝකයේ ද ආදි ලෙස
සැරිසරන්නට සිදුවනු ඇත.
මෙම බව අතරින් යම් හෙයකින් සතර අපායට වැටුණේ නම් විඳින්නට වන දුක් අපමණ ය. මිනිස්
බවයක් ලැබුවේ වුව ද දුකෙහි නම් අඩුවක් නැත. මේ සසර ම බිය උපදවන සුළු ය. ඒ දුක උරුම
කරවන සුළු ය. ඒ දුක් ගොඩෙන් නිදහස් වන්නට නම් අපගේ ඇස රැකගත යුතු ය. එසේත් නැති නම්
සංවර කර ගත යුතු ය. අනෙකුත් ඉන්ද්‍රිය වන කන, නාසය, දිව, ශරීරය, මනස රැක ගත යුතු ය.
මේ ඉන්ද්‍රිය සංවරයට නම් අවබෝධය හා සතිය අත්‍යවශ්‍ය ය. ඒ තුළ ගොඩනඟා ගත් ප්‍රඥාවෙන්
මේ ඉන්ද්‍රිය මෙහෙය විය යුතු අතර, ප්‍රශ්න ගැටලු උද්ගත වන්නේ ඉන්ද්‍රියයන්හි හා ඒ
හා ගැටෙන අරමුණුවල වහලකු වීමට යන්නේ නම් ය.
මේ අවබෝධය තුළ ඇලීම් හා ගැටීම් ඇතිවන ආකාරය නිවැරැදි ව වටහා ගැනීම වැදගත් වේ. එය
සාමාන්‍ය ජීවිතයේ අප එදිනෙදා මුහුණ දෙන සිදුවීම් දෙස බැලීමෙන් ම කළ හැකි ය. උදාහරණ
ලෙස ඇසට පි‍්‍රය රූපයක් දකින විට අපි ඒ දෙස ආශාවෙන් බලා සිටිමු. එයින් ද නොනවතිමු.
එහි ආස්වාදයක් ලබමු. එතැනින් ද නොනවතිමු. ඒ ආස්වාදය තුළ එය තමන්ට ළං කර ගන්නට
උත්සාහ කරමු. අරමුණෙහි ඇලීම කියන්නේ මේ ස්වභාවයට යි.
මෙහි විරුද්ධ පස පිළිබඳ අවධානය යොමු කරමු. ඇසට පි‍්‍රය උපදවන ලද දෙය ළං කර ගැනීමේ
උත්සාහය අසාර්ථක වූයේ නම් දුකට පත්වෙමු. බලාපොරොත්තු කඩ වූ ස්වභාවයට පැමිණෙමු. එය
සිතට අසහනයකි. ඒ තුළ ඇතැම් විට අන්‍යයන් හා අඬදබර ඇති වේ. මේ සියලු කරදර ‘ඇස’ නම්
වූ ඉන්ද්‍රිය අනවබෝධයෙන් ක්‍රියාත්මක කිරීම ය.
‘කන’ නම් වූ ඉන්ද්‍රිය පිළිබඳ සිතා බලන්න. අපි කන් දෙකෙන් දවසකට මොන තරම් නම්
අකුසල් රැස් කර ගන්නවා ද? සමීපතම උදාහරණයක් දෙස බලමු. අසල්වැසියෙක් විශාල නිවෙසක්
ගොඩනඟන අවස්ථාවක අහල පහළ අය ඒ ගැන මොන තරම් අදහස් ඉදිරිපත් කරනවා ද? ඊර්ෂ්‍යා
සිතිවිලිවලින් දැවෙමින් අන් අය සමඟ ඒ සිතිවිලි බෙදාගන්න දරන උත්සාහය මොන තරම්ද?
‘මේ තරම් ලොකු ගෙවල් මොනවටද? යහපත් රැකියාවක් කරලා නම් මෙහෙම ගෙවල් හදන්න බෑ.” යි
විවිධ දේ කියයි. මෙලෙස නොදැනුවත් ව ම සිදු කර ගන්නේ පව් රැස් කර ගැනීම ය. අනවශ්‍ය
බරකින් සිත පෙළීම ය. එය ම රෝගාබාධයන්ට ද මඟක් වන්නේ ය.
අප උත්සාහ කළ යුත්තේ මෙලෙස ඇලීම් ගැටීම් ඇති නොවන සේ සිත සංවර කර ගන්නට ය. අනුන්ගේ
දේ තමන්ට ප්‍රශ්නයක් කර ගත යුතු නැත. අප පුරුදු විය යුතු ඒ දෙස අවංක හදවතින්
සතුටින් බැලීමට ය. පුණ්‍යවන්ත ජීවිතයක ස්වභාවය ද එයයි. මෙසේ සතුටින් බලන මොහොතක්
පාසා ම තමන්ගේ සිත පින් උල්පතක් වන බව අමතක නොකළ යුතු ය.
අපි ජීවත්වන පරිසරය දෙස විමසුම් ඇසින් බලනවා නම් ජීවිතය හසුරුවා ගන්නා ආකාරය පිළිබඳ
බොහෝ පාඩම් උගත හැකි ය. කපුටා දෙස බලන්න. උදෑසන ම අවදිවන මේ පක්ෂියා කරන්නේ ම කසළ
ගොඩවල් අවුස්සමින් කුස පුරවා ගන්නට වෑයම් කිරීම ය. සමහර මිනිසුන්ගේ ස්වභාවය ද
මෙවැනි ය. ඔවුන් කරන්නේ ද අනුන් කරන කියන දේ විමසමින්, අනුන්ගේ කුණු අවුස්සා තමන්ගේ
සිත පුරවා ගැනීම ය. එය අසංවරකමකි. සිත අපිරිසුදු කර ගැනීමකි. ඒ සඳහා වෙන් කරන කාලය
ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට, යහපත් කතාවක් අසන්නට වෙන් කරනවා නම් එය ජීවිතයට පින්
රැස් කර ගැනීමකි.
නාසය ගඳ සුවඳෙහි ඇලීම් ඇති කරයි. ගැටීම් ද ඇති කරයි. රසය පසුපස ම යනවා නම් රසයෙහි ම
ඇලෙනවා නම් ඒ පුද්ගලයා දිව නම් වූ ඉන්ද්‍රිය මෙහෙයවන්නේ අසංවරව ය. තමන්ට යහපතක්
නොවන, අනුන්ට ද අයහපත් කිසිම වචනයක් මුවින් පිට නොවන තැනට තමන් වග බලාගත යුතු ය.
නෑදෑ හිතමිතුරන්, අසල්වැසියන් භේද කරවන බොරුව, වංචාව, රැවටීම, දුරින් දුරු කළ යුතු
ය.
කරුණාව, දයාව, මෛත්‍රිය, පෙරදැරි කරගත් සිතිවිලිවලින් පිරිපුන් වන්න. ඒ සඳහා වීර්යය
කරන්න. එහිදී ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී නපුරු සිතිවිලි ඔබ වෙතින් මඟ හැරී යනු
ඇත. කෙලෙස් ධර්මවලට වහල් නොවිය යුතු ය. ලෝකය සමඟ ගනු දෙනු කළ යුතු සුවඳවත්
හදවතකිනි.
කරණීය මෙත්ත සූත්‍රය බොහෝ බෞද්ධයින් උදේ, හවස කටපාඩමින් සජ්ඣායනය කරති. එය යහපත්
පුරුද්දකි. එහෙත් සජ්ඣායනය කළ පමණින් ඉන් යහපත් පල ලැබිය නොහැකි ය. එම සූත්‍රය
සජ්ඣායනය කිරීමේ අරමුණ විය යුතු වන්නේ ඒ ගුණධර්ම ප්‍රගුණ කරන බවට, ජීවිතයට සමීප කර
ගන්නා බවට තමන් තුළ ස්ථිර අදිටනක් ඇති කර ගැනීම ය. |