ශ්‍රේෂ්ඨයකු බිහිකරන්නේ නිවැරැදිව පිහිටු වූ සිත යි
“න තං මාතා පිතා කයිරා
අඤ්ඤෝ වාපී ච ඤාතකා
සම්මා පණීහිතං චිත්තං -
සෙය්‍ය සො නං තතො කරේ”
මව හෝ පියා හෝ වෙනත් නෑයෝ හෝ ඔහු ශ්‍රේෂ්ඨයකු නො කරන්නේ ය. නිවැරැදි ව පිහිටු වූ
සිත ඔහු ශ්‍රේෂ්ඨයකු කරන්නේ ය.
ලෝකයේ සත්ත්වයන් අතර, මිනිසා උතුම් ම සත්වයා ය. ලොව සිටින වෙනත් සත්ත්වයන් ගැන සලකා
බලන විට මිනිසකු වීම ඉතා දුර්ලභ කරුණක් බව පැහැදිලි වේ.
“දුල්ලභංච මනුස්සත්තං” යනුවෙන් ඒ බව බුදුරදුන් ද වදාරා ඇත. මිනිසුන් වශයෙන් ඉපිද
ඇතත් සියල්ලෝ ම නියම මනුෂ්‍යයෝ නොවෙති. නියම මනුෂ්‍යයකු වන්නේ මනුෂ්‍ය ධර්මයෙන්
හෙබි පුද්ගලයා ය. බුදුදහමේ මනුෂ්‍ය ධර්ම මෙන්ම උත්තරී මනුෂ්‍ය ධර්ම ද වදාරා ඇත.
මෙහි “ධර්ම” යනු ස්වභාවයි. එනම් ඊට අයත් ගුණාංගයන්ගෙන් යුක්ත බවයි. පරිසරය හා
පරිණාමය අනුව ඒවා වෙනස්විය හැකි වෙතත් ඒ ඒ තත්ත්වයන්ට අයත් විය යුතු ගුණාංගයන්ගෙන්
යුක්තවීම එහි නියම ධර්මය යි. මනුෂ්‍ය ධර්මය, දේව ධර්මය, බ්‍රහ්ම ධර්මය, මාතා ධර්මය,
පිතා ධර්මය, පුත්‍ර ධර්මය, මිත්‍ර ධර්මය, තිරශ්චීන ධර්මය, වෘක්ෂ ධර්මය, ලතා ධර්මය
ආදී වශයෙන් මෙය යෙදෙන්නේ ය.
ලෝකයේ විද්වත්හු මනුෂ්‍ය ධර්මය පිළිබඳව නන් අයුරින් අදහස් ප්‍රකාශ කර ඇත. මානව
දයාව, මානව භක්තිය යනුවෙන් එය හඳුන්වන අතර, මිනිසා ඇසුරු කිරීමේ දී කරුණාව පදනම්
කරගෙන කටයුතු කිරීම සහ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම බවත්, ඒ පිළිබඳ
විද්‍යාව මානව විද්‍යාව බවත් ඔවුහු ප්‍රකාශ කරති. බුදුදහමට ද මෙය අනුකූල වුවත්
බුදුරජාණන් වහන්සේ විසින් “කරුණාව“ මිනිසාට පමණක් නොව තිරිසනුන් ආදී සියලු
සත්ත්වයන්ට ම දැක්විය යුතු බවත්, මුදිතා, උපේක්ඛා විහරණයෙන් ද විසිය යුතු බවත්
වදාරා ඇත. මානව දයාව නොව සත්ත්ව කරුණාව බෞද්ධ පිළිවෙතයි.
බුද්ධ මතයට අනුව මනුෂ්‍ය ධර්මය හෙවත් නියම මනුෂ්‍ය ස්වභාවය “දස කුසලයන්හි
පිහිටුවීම” බව ප්‍රකාශිත ය. එය කරුණාව පදනම් කරගෙන ම පවතියි. මිනිසාගේ පමණක් නොව
කිසිම කෙනකුගේ දිවි තොර කිරීම මනුෂ්‍ය ස්වභාවය විය යුතු නොවේ. එසේම නුදුන් දේ ගැනීම
ආදිය ද අන්‍යයන්ට කරුණාවක් තිබේ නම් කළ නොහැකි ය. ඒවා ස්වභාවයෙන් ම කළ හැක්කේ,
කරන්නේ තිරිසන් සත්ත්වයන් විසිනි. ස්වභාවික වශයෙන් එය තිරිසන් ගතියකි. මේ ආකාරයෙන්
දස අකුසලයන් ගැන සලකා බැලීමේ දී දස කුසල් වනාහි “මනුෂ්‍ය ධර්මය” බව සනාථ වන්නේ ය.
බුදුරජාණන් වහන්සේ විසින් මනුෂ්‍ය ධර්මය වශයෙන් දස කුසලයන් “දස කුසල සංඛාතා
මනුස්සානං ධම්මා” දස අකුසලයන්ගෙන් වැළකීම යැයි පැවසිණ.
සුරාපානය, කාමමිථ්‍යාචාරයට ඇතුළත් ය. මනුෂ්‍යයකු නියම මනුෂ්‍යයෙක් වන්නේ
ප්‍රතිපත්තියක් වශයෙන් මෙකී මනුෂ්‍ය ධර්මයෙන් යුක්ත වූ විටය. මනුෂ්‍යත්වය රැක
ගැනීමේ පදනම මෙය යි.
“තමන් මැරීමට අනුන්ට අයිතියක් නැත. තමන් සතු දේ ගැනීමට අනුන්ට අයිතියක් නැත.”
ආදී වශයෙන් යුක්ති සලකන විට අනුන් මැරීමට, අන්සතු දේ ගැනීම් ආදියට තමන්ට ද අයිතියක්
නැති බව නිතැතින් ම වැටහේ. මෙසේ කය, වචනය, සිත යන තුන් දොරින් තමාගෙන් අන්‍යයන්ට
සිදුවන සියලු කරදර හා විපත් යට කී දස අකුසලයන් නිසාම සිදුවන බවත්, අන්‍යයාගෙන්
තමන්ට සිදුවන බවත් වැටහේ.
එහෙයින් දස කුසල් මනුෂ්‍ය ධර්මය බව බුදුසමයේ නිගමනය කර ඇත. මෙය දිවග ලෙලදෙන අයුරින්
මනුෂ්‍යයා විසින් භාවිත කළ යුතු ය. ආරක්ෂා කළ යුතු ය. එවිට බොහෝ කරදරවලින් මිදීමට
හැකි වෙනවා පමණක් නොව ඔහු ශ්‍රේෂ්ඨයකු වන බව ද ඒකාන්ත ය.
සාමාන්‍යයෙන් මනුෂ්‍ය ධර්ම ආරක්ෂා වීමේ හේතු වශයෙන් කරුණු 03ක් බලපාන බව වදාරා ඇත.
එනම්
අත්තාධිපතෙය්‍ය වශයෙන් තමාගේ තරාතිරම, වයස, උගත්කම, කීර්තිය ආදිය සලකා ආත්ම ගෞරවය
සලකා දස අකුසලයන්ගෙන් වැළකීම
ලෝකාධිපතෙය්‍ය වශයෙන් - ලෝකයාගෙන් ලැබෙන අපවාදය සලකා පස්පව් ආදියෙන් වැළකීම
ධම්මාධිපතෙය්‍ය වශයෙන් - නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය හෝ ධර්මය පිළිබඳ විශ්වාසය නිසා
කර්මඵල ඇදහීමෙන් පව්වලින් වැළකීම සිදුවේ.
මේවායින් එකක් හෝ දෙකක් හෝ තුනම හෝ ගරු කර ගෙන දස අකුසල්වලින් වළකින්නෝ සිටිති.
එයින් මනුෂ්‍ය ධර්මය රැකේ.
කවරකු වුව ද යමක් කියන්නේත්, යමක් කරන්නේත් සිතෙන් සිතලා ය. නිවැරැදිව සිතා යමක්
කතා කළා නම්, නිවැරැදිව සිතා යම් ක්‍රියාවක් කළා නම් එහි ප්‍රතිඵලය දුක්ඛාන්තයක් හෝ
ඛේදවාචකයක් හෝ නොවන්නේ ය. යමක් කළ කී පසු එය වැරැදි ලෙස පෙනී ගියහොත් නැවත එය
ප්‍රතිසංස්කරණය කරගත යුතු ය. එතෙක් එය වැරැදි ය. වැරැදි ලෙස සිදුවූ හෝ සිදුකළ
දෙයින් අත්පත් වන්නේ කරදරය. දුක් ය. එහෙයින් නිවැරැදි ලෙස කිරීම “සම්මා” යනුවෙන් ද,
වැරැදි ලෙස කිරීම ‘මිච්ඡා’ යනුවෙන් ද බුදුරජාණන් වහන්සේ ව්‍යවහාර කළහ.
‘සම්මත්ත නියාමය, ‘මිච්ඡත්ත නියාමය’ යනුවෙන් ද දක්වන ලද මේ වෙනස සම්මාදිට්ඨි,
මිච්ඡා දිට්ඨි ආදී වචනවලින් ද ප්‍රකාශිත ය. මංගල සූත්‍රයේ “අත්තසම්මා පණීධි”
යනුවෙන් ද පූර්වෝක්ත ගාථාවෙහි “සම්මා පණීහිතං චිත්තං” යනුවෙන් ද වදාළේ සිත මනාකොට
හෙවත් නිවැරැදි ව පිහිටුවීම මංගල කාරණයක් බව හා ශ්‍රේෂ්ඨයකු කරන කාරණයක් බවයි.
කාලීන උදාහරණයකින් මෙය පැහැදිලි කළ හැකි ය. එනම් “ඔරලෝසුවක වේලාව තබන විට නියම
වේලාව 12නම් විනාඩි කිහිපයක් අඩුව හෝ වැඩිව හෝ එහි වේලාව තැබුවහොත් එතැන් පටන් නැවත
නිවැරැදි ලෙස වේලාව සාදන තුරුම එහි වෙලාව වැරැදිය. සති ගණන්, අවුරුදු ගණන් නැවත
නැවත වයින් කරනු ලබමින් එහි වරද නොසාදා වැඩ කළත් එහි වෙලාව වැරැදි ය. ඒ අනුව කරන ලද
වැඩ කටයුතු ද බොහෝ සෙයින් වරදින්නේ ය. යම් විටෙක වැරැදි බව පෙනී ගොස් නිවැරැදි ලෙස
වේලාව සකස් කොට ගත් පසු දිගටම වේලාව නිවැරැදි වන්නේ ය. එමෙන්ම මනාකොට හෙවත්
නිවැරැදි ලෙස සිත පිහිටුවීම සියලු සැපතට හේතු වන බව බුදුරජාණන් වහන්සේ දෙසූහ.
මේ අනුව කෙනකු් ශ්‍රේෂ්ඨයකු කිරීම මවුපිය, නෑදෑ හිතමිතුරන් විසින් සිදුකරන්නක් නොව
නිවැරැදි ව තැබූ සිත විසින් කරන්නක් බවත්, එසේ කෙනෙකු පාපියකු කරන්නේ අන්‍යයන්
විසින් නොව වරදවා තැබූ සිත විසින් බව ද බුද්ධාවවාදය වශයෙන් සැලකිය යුත්තේ ය.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපිලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
- හේමමාලා රන්දුනු |