මනුලොව සුන්දර ගති ඇති සුගතියකි
බුද්ධශාසන අමාත්‍යාංශයේ
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
කේ.කේ. සුගතපාල
බුදු දහමට අනුව කාම - රූප අරූප තුන් භූමියෙහි ම ලෝක 31කි. සතර අපාය, මනුෂ්‍ය ලෝකය,
සදිව්‍යය ලෝක, රූපාවචර බඹ තල සොළොස හා අරූපාවචර සිවු බඹතල ඒ එක්තිස් ලෝතල වෙත්. යම්
සත්ත්වයකු මෙයින් එක ලොවක උපත ලබන්නේ භවංග සිතෙහි සසර පුරා රැස් කරගෙන ඇති කෝටි
ප්‍රකෝටි කර්ම රාශියෙන් බලවත් ව එක් කර්මයක් චුති චිත්තයෙන් ප්‍රතිසන්ධි චිත්තයට
අරමුණු වීමෙනි.
ඒ අනුව උපත ලබන සත්ත්වයා ඒ කර්මයට අනුගත සුඛ හෝ දුක්ඛ විපාක විඳින්නේ ය. මේ අනුව
එක් තිස් ලොව කොහි උපන්නත් විඳින්නේ අවිජ්ජා සහගත තණ්හාවෙන් යුත් කර්මයක විපාකයෝ ය.
මනුලොව උපත ගතහොත් ඔවුන් මෙලොවට එනවිට මවු කුසයේ දී දායාදය වන්නේ පුරාණ බලවත්
කර්මයයි. ඒ පුරාණ කර්මය හේතුකොට කම්මයෝනියට හිමිකම් ලබයි. ඒ කර්මයට මව, පියා හා
පවුලේ ඥාතීන් හමුවීම කම්මබන්ධු නම්. ඒ පුරාණ කර්මයට උපභෝග පරිභෝග වස්තු අඩුවීම,
වැඩිවීම කම්ම දායජ්ජ නම්. පිහිට වෙයි අර්ථයෙන් කම්මපටි සරණා නම් (මං.නි.
චුල්ලකම්මවිභංග සූත්‍ර අටුවා)
මේ පුරාණ කර්මය ම තමා ඉහත දැක්වූ ත්‍රිවිධ භවයෙන් එක් භවයක වර්තමාන ඉපදීම තෝරා දී
ඇත්තේ. (උපාදාන පච්චයා භවො) මෙය ‘භවකර්ම’ නමින් ද හඳුන්වයි. මේ ලෝභ, ද්වේෂ, මෝහ
සහගත පුරාණ කර්මයට තමා ඒ උපදින භවයේ ජාතිය (උපදින තැන) තෝරා දෙන්නේ (භව පච්චයා
ජාති) මෙය “උප්පත්ති කර්මය” ලෙස ශ්‍රී මුඛ බුද්ධ දේශනාවේ දක්වයි. (උදා - සතර
අපායෙන් එකක්, දිව්‍යලෝක හයෙන්, බ්‍රහ්මලෝක 20න් එකක් හෝ මනුෂ්‍ය ලෝකය වශයෙනි)
පින්වත, මේ 31 ක වූ ලෝකයේ කොතැනක ඉපදුණත්, පහළ වුවත් ජාතිපි දුක්ඛා (ආයු ගෙවීම හා
මරණ දුක) ඇත. ජරා (දිරීම - මේරීම) දුක ඇත. කැමැති දේ නොලැබීමේ දුක ඇත. (“යම්පිච්ඡං
න ලභති තම්පි දුක්ඛං” (ස.නි. 5(2) පිට 270 දම්සක් පැවැතුම් සූත්‍රය) ඒ කොහි උපන්නත්
තණ්හා, මාන, දිට්ඨි, අවිජ්ජා ඇති හෙයිනි. රූප - අරූප, දිව්‍ය තල සුගති ලෙස නම් කළත්
ඉහත කෙලෙස් ධම්මතා හතර සමුච්ඡේද වශයෙන් ප්‍රහීන නොකළ හෙයින් ඒ ලෝකවල ද චුත වීමේ මරණ
දුක ඇත. පුනර්භවය ඇත (ජාති දුක ඇත)
පින්වත්නි, මේ ලෝක ධාතුව තුළ මෙතෙක් පහළ ව ඇති සියලු බුදු උතුමන් ඉපිද ඇත්තේ, අපිදු
මේ උපත ලබා තිබෙන මනුලොව ම ය. එනිසා මෙය අපේ බෞද්ධ පොත්පත්වල මඟුල් සක්වළ ලෙස ද,
අනික් ලෝක පිටසක්වළ හෝ පරසක්වළ ලෙසින් ද නම් කර ඇත. මේ ස්වභාවිකත්වය සිදුවීමට හේතු
වූ සාධක ත්‍රිපිටකාගත බුද්ධ භාෂිතයේ ම සංගෘහිත සූත්‍ර දේශනා ඇත. (බුද්ධවංශ හා චරියා
පිටක පාලි)
මනුෂ්‍ය පියකුට දාව, මව් කුසයක පුරා දස මසක් කල් ගෙවා මෙලොවට බිහිවූ අප මහ බෝසතාණන්
වහන්සේ පන්තිස් වියේ දී සම්මා සම්බුදු බවට පත් වූ පසු දෙව් ලොව, බඹලොව විසූ
උප්පත්ති දේව වූ දෙව් - බඹුන්ගෙන් පවා වැඳුම් ලැබුවේ විශුද්ධි දේවත්වයට පත්වූ
හෙයිනි. එනිසා ඔබේත් මගේත් ශාස්තෘ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ‘දේවාති දේව‘,
‘බ්‍රහ්මාති බ්‍රහ්ම’, ලෙසින් ද අතිමහත් පූජනීය තත්ත්වයට පත්වූ සේක්හ.
මුලින් දැක්වූ පරිදි පුරාණ කර්මය මේ තිස් එක් ලොවින් එකක ඉපදීමට හේතුව වූ අතර, ඉපිද
ලබන විපාක නම් වූ සැප දුක් සියල්ල සමුදය ධම්ම නම් වූ හේතුව නිසා ලැබූ ඵල ධර්මයෝ ය.
මෙහි සැපය යන පදය සටහන් ව ඇති මුත් ඒ සැප අල්ප තාවකාලික සැප වෙත්.
ඉහත දැක්වූ සියලු කරුණු සටහන් තැබුවේ මෙතැන් සිට ලියැවෙන බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත
සූත්‍රයක අපගේ ශාස්තෘ ලෝකනාථ සම්මා සම්බුදු රජාණන් වහන්සේ උප්පත්ති කර්මයෙන්
හිමිකම් ලබන විපාකයන් වෙනස් කළ හැකි එකම ලෝකය මේ මිනිස් ලොව බව පෙන්වාදීම ට ය.
සිවු අපායෙහි- සදෙව්ලොව, විසි ආකාර බඹතලයන්හි උපත ලද කිසිම සත්ත්වයකු හට හෝ තෘෂ්ණා
සහගත ‘අවිජ්ජාව සමුච්ඡේද ලෙසින් ප්‍රහීන කිරීමට අවස්ථාව, ඉඩක්, කාලයක්, පසුබිමක්
සකස් නොවේ. එයට හේතුව ලැබී ඇති විපාකයට ලොල් වීම ය. ඇලීම ය. මුළාවීම ය.
එහෙත් මනුලොව උපන් සත්ත්වයා සත්ත්වයන් අතර උසස් මනසක් ඇති සත්ත්වයකු හෙයින්
‘මනුෂ්‍ය’ නමින් හැඳින්වේ. නරකය - පේ‍්‍රත වැනි ලෝකවල උපන්නහු ඒවායේ ඇති බලවත් දුක
නිසා එයින් පෙළෙමින් ම ආයු ගෙවී යති. දෙව්ලොව උපන්නාහු අධික රාගයෙහි ඇලී ආයු ගෙවා
දමති. බ්‍රහ්ම තලයන්හි කාම රාගය නැතත් අධි මානසිකත්වයෙන් ලැබූ දිට්ඨිරාගය (භවාසව
දිට්ඨාසව) රැවටී ආයුක්ෂය කෙරේ. තිරිසන් ලොව අණ්ඩජ -ජලාබුජ - සංසේදජ ආදී කොයි
තත්ත්වයෙන් උපන්නත් නැඟී සිටින තෙක් මවගේ උපකාර ලැබේ. පසුව තම ජීවිතය ආයු ඇති තෙක්
රැක ගැනීමට වෙහෙසීම පමණි.
මිනිස් ලොව ඒ ලෝක 30ට ම වඩා වෙනස් ය. මනුලොව සුගතිය ලෙස දක්වා ඇත්තේ විශේෂ කාරණා
කිහිපයක් සාධක කොට පමණි. ඒවා අතර බුද්ධෝත්පාද කාලයක් තිබීම, ආයු කාලය අඩුවීම,
දියුණූු මනසකට හිමිකම් ලැබීම්, ජාති, ව්‍යාධි මරණ ආදී දුක්ඛ ධම්මතා සමීපයේ තිබීම හා
නිතර දැකීම, බුදුවරයකුගේ තථාකාරී - යථාවාදී සද්ධර්මයක් හමුවීම යනාදී විශේෂත්ව
කීපයකි. මනුලොව සුන්දර ගති ඇති සුගතියක් වන්නේ මේ විශේෂ ධම්මතා කීපය මුණගැසුණු
පිරිසට පමණි.
අනෙක්හු හට කාම රාගය, භව රාගය හා තෘෂ්ණාවෙන් පිරි දුගතියකි. එවන් සම්පත් සමඟින්
සුගතියක ඉපදී සිටින අපි ශාන්තපද සංඛ්‍යාත නිවනක් වේ ද එය අවබෝධ කොට උපන් කර්මයෙන්
මෙලොව විඳින විපාක සියල්ල අහෝසි කර ගත හැකි අනුශාසනා ත්‍රිපිටක දහමේ ඇත. මේ දක්ෂකම
අනෙක් කිසිම ලොවක දී කළ නොහැකි ය. එමෙන්ම අනෙක් කිසිම ශාස්තෘ දහමක නැත.
‘කරණීය මෙත්ත සූත්‍රයේ’ පළමු ගාථාවේ එන සක්කො, යන පදය අර්ථ ගැන්වීමේ දී ‘සමර්ථයා’
ලෙසින් ගැනේ. ඒ කුමකටද? සංසාර චක්‍රයෙන් ම මිදීමට සමත් වීමයි. (නිවන් අවබෝධය යි) ඒ
අනතුරුව දක්වා ඇත්තේ ඒ සමත්කම ලබා ගැනීමට උපකාරක දහම් පද කීපයකි.
‘උජූ ච :– ඒ සඳහා තම සිත - කය දෙක ඍජු කර ගන්න
සූජූ ච :– මනාව ඍජු වන්න
සුවචො:– සුවදායක යහපත් වචන ඇත්තකු වන්න
ඵස්ස මුදු :– මෘදු භාවයෙන් වාසය කරන්න
අනතිමානි :– මාන්නය නැත්තකු වීමට, වඩාත් ඍජු වන්න යනාදී වශයෙන් සූත්‍ර දේශනාවේ ඇත.
මෙවන් ගුණ - නැණ - බල ඇති ශ්‍රැතවත් ශ්‍රාවකයකු හට ගළපා ගත හැකි දේශනයකි. “ඵලුපජීවි
පුග්ගල සූත්‍රය” ( අං.නි. 2 පිට 260) මහණෙනි, මෙලොව පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමාන
වෙත්.
උපන් කර්ම ඵලයෙන් නොව උට්ඨාන වීර්ය ඵලයෙන් ජීවත්වන පුද්ගලයා ය
උට්ඨාන වීර්ය ඵලයෙන් නොව උපන් කර්ම ඵලයෙන් ජීවත්වන පුද්ගලයා ය
උට්ඨාන වීර්ය ඵලයෙන් ද, උපන් කර්ම ඵලයෙන් ද ජීවත්වන පුද්ගලයා ය
උට්ඨාන වීර්ය ඵලයෙනුත්, කර්ම ඵලයෙනුත් යන දෙකෙන් ම තොර ව ජීවත්වන පුද්ගලයා ය කියා
ය.
මෙයින් පළමු පුද්ගලයා උපතින් ලැබූ කර්ම විපාකයන්ට අවනත නොවී නැඟී සිටි වීර්යයෙන් ම
දවස ගෙවා කිසියම් ප්‍රවෘත්ති විපාක මාත්‍රයක් ම ලබමින් ජීවිතය ජය ගනී. මොහු තමා අපේ
ධර්ම මාතෘකාවට අදාළ පුද්ගලයා වනුයේ.
උදාහරණයක්,
‘අසුභානුපස්සිං විහරන්තං -
ඉන්ද්‍රියෙසු සුසංවුතං
භොජනම්හි ච මත්තඤ්ඤුං -
සද්ධං ආරද්ධවිරියං
තං වෙ නප්පසහති මාරො -
වාතො සෙලංව පබ්බතා”
(ධම්ම පද ගාථා 08)
සිත හා කය අශුභයන් අනුව බලමින්, සය ඉඳුරන් මනා සංවරය ඇති, භෝජනයෙහි පමණ දන්නා වූ,
ශ්‍රද්ධා ඇති, ආරද්ධ වීර්ය ඇති මෙබඳු පුද්ගලයා ( උපතින් ආ) කෙලෙස් මාරයන්
මැඬලන්නෙකි. ඒක ඝන ගල් පර්වතය දැඩි සුළඟින් කුදු නොසෙල්විය හැකි සේ ය.
අනෙක් පුද්ගලයන් අතර දෙවැන්න, උට්ඨාන වීර්යයෙන් තොරව උපන් පුණ්‍ය ඵලයෙන් ජීවත්
වන්නන් ලෙස චාතුර්මහාරාජිකයෙහි දෙවියන් ආදී කොට ද, තෙවැන්නා රාජ රාජ මහාමාත්‍යාදීහු
ලෙසින් ද, සිවුවැන්නා නිරයගත සත්ත්වයෝ ලෙස ද අටුවාව උපමා දක්වමින් සඳහන් කර ඇත. |