[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නිවැරැදි අවබෝධයෙන් ජීවිතයේ ආලෝකය දකින්න

නිවැරැදි අවබෝධයෙන් ජීවිතයේ ආලෝකය දකින්න

උතුම් මිනිසත් බව ලැබූ අපි සැබැවින්ම මහත් භාග්‍යවන්තයෝ වෙමු. ඒ අන් කිසිවක් නිසා නොව බුද්ධෝත්පාද කාලයක උපත ලැබීමට තරම් වාසනාව ලැබීමයි.

මෙලෙස දුර්ලභ ව ලැබූ මිනිසත් බව සැබෑ ලෙස ම අර්ථසම්පන්න කර ගැනීමට ඉවහල් වන බොහෝ කරුණුූ අපගේ ජීවිතය තුළින් ගොඩනැඟිය යුතු වේ. යහපත් ගුණධර්ම, ආකල්ප නොමැති දිවිය දිනෙන් දින පරිහානිය කරාම ගමන් කරන බව බුද්ධ දේශනාවේ දක්වා ඇත. මෙකී සාධක ඔස්සේ විමසා බලන කල පැහැදිලි බව පිළිබඳ කිසිදු තැකීමකින් තොරව විනාශ කර ගන්නා අයුරු නූතන සමාජය තුළින් දැකිය හැකි ප්‍රධානම කරුණකි.

“කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ”

ඉහත බුද්ධ දේශනාව තුළින් දැක්වෙන කරුණුූ 04කි. එනම් මිනිසත් බව ලැබීම, මනුෂ්‍ය දිවියක් ලැබීම, සද්ධර්ම ශ්‍රවණය කිරීම, බුද්ධෝත්පාද කාලයක ඉපදීම යනුයි.

මෙම කරුණු දෙස අවධානය යොමු කිරීමේ දී මූලික වශයෙන් මිනිසත් බව ලැබූ අප සැවොම මහත් භාග්‍යවන්තයෝ වන්නේ බුදු මුවින් දේශිත දුර්ලභ කාරණා හතරක් ම ලැබීමට අප බොහෝ පින්කර ඇති නිසාවෙනි. සසර සත්ත්වයා කොතරම් මිනිසත් බව ලැබුව ද අංග සම්පූර්ණ මිනිසෙක් ලෙස ඉපදීමට බොහෝ පින් කළ යුතු ය. නොමැති නම් නොයෙක් ආබාධ, ලෙඩ රෝග ආදියෙන් යුතු ව ඉපදීම සඳහා හේතු වේ. මේ නිසා පංචේන්ද්‍රියයන්ගෙන් යුත්, අංග සම්පූර්ණ දිවියක් ලැබීම මහා කුසල කර්මයක ප්‍රතිඵලයකි. නොමැති නම් මුළු දිවිය පුරාම බොහෝ දුක් වේදනාවන්ට මුහුණ දීමට සිදුවීම අනිවාර්ය සාධකයකි.

“කිච්ඡං මච්චාන ජීවිතං”

යනුවෙන් දක්වන්නේ මිනිස් ආත්මයක් ලැබුව ද සැබෑ ගුණ ධර්මයන්ගෙන් යුත් අංග සම්පූර්ණ ලෙස ජීවත්වීම දුර්ලභ කරුණක් බවයි. ඒ බවට නූතන සමාජ පරිහානිය අපට බොහෝ සාක්ෂි සපයනු ඇත. අංගුත්තර නිකායේ තික නිපාතයේ දී මිනිස් බව ලබා දිවි ගෙවන පුද්ගලයා කොටස් තුනකට බෙදා දක්වා ඇත. එනම් ,

මනුස්ස මනුස්ස - මනුෂ්‍ය ගුණධර්ම ඇති මිනිසා

මනුස්ස දේව - දෙවියෙක් බඳු මිනිසා

මනුස්ස පේත - ප්‍රේතයෙක් බඳු මිනිසා

මනුස්ස යක්ඛ - යක්ෂයෙක් බඳු මිනිසා

ඉහත කරුණු තුළින් වැදගත් වන්නේ මුල් කරුණු දෙකයි. ගුණධර්ම රකින, යහපත් මිනිසා සියලු දෙනාට ම පි‍්‍රයවේ. එවැනි කෙනෙක් සමාජය හඳුන්වන්නේ ‘දෙවියෙක් බඳු මනුෂ්‍යයෙක්” ලෙසිනි. මේ නිසා මිනිසත් බවේ ආලෝකය පවතිනු ලබන්නේ අන් කිසිවක් නිසා නොව යහපත් ගුණධර්ම මත. මෛත්‍රිය, කරුණාව, අනතිමානී බව, අල්පේච්ඡ බව ආදි බොහෝ ගුණයත් ඒ සඳහා හේතු වන බව බුද්ධ දේශනාවේ දක්වා ඇත.

මිනිසත් බව ලබා පේ‍්‍රතයන්, යක්ෂයන් ලෙස ජීවත් වන පුද්ගලයන් බුදු දහමේ හඳුන්වන්නේ දිනෙන් දින පිරිහීමට පත්වන අය ලෙස ය. එබඳු චරිත වත්මන් සමාජය තුළින් බොහෝ සෙයින් අපහට හමුවන අතර, ඔවුන් නිරතුරුව ම ක්‍රියා කරනු ලබන්නේ මිනිසත් බවට නිගරු වන අයුරිනි.

ඒ නිසා ම අද වන විට අපරාධ, මනුෂ්‍ය ඝාතන ආදී සාපරාධී ක්‍රියාවන් සමාජය පුරා ඔඩු දුවා ඇති බව පුන පුනා කිව යුතු නොවේ. එපමණක් නොව මත් උවදුර, සොරකම ආදි දුරාචාරයන්ට යොමුවීම තුළ මුළු මහත් සමාජ පද්ධතියට ම මරු පහරක් එල්ල වී ඇත. මේ තුළ පුද්ගල පරිහානිය කොතරම් දුරට සිදුවී ඇත්තේ ද යන්න කරුණූු කාරණා සාධක දැක්වීම අවශ්‍ය නොවන්නකි. ගුණධර්ම නොහඳුනන, අඳුර වෙත ම ගමන් කරන, පිරිසක් ද නිර්මාණය වන බව දැකිය හැකි ය. ඔවුන් බුදුන් වහන්සේ හඳුන්වා ඇත්තේ මනුෂ්‍ය ආත්මයක් ලැබුව ද යක්ෂයන්, පේ‍්‍රතයන් මෙන් දිවිගෙවා පරිහානියට පත්ව සසර බොහෝ දුක් විඳින බවයි.

බුදු සමය තුළින් ඉගැන්වෙන බොහෝ කරුණුූ මඟින් අපට පෙන්වා දෙන්නේ යහපත් දිවි පෙවෙතක් ගත කරන අයුරුයි. ඒ සඳහා ඉවහල් වන දහමක් බුදුරදුන් විසින් ලෝකයාට දේශනා කොට ඇත්තේ මහත් කරුණාවෙනි. බුද්ධෝත්පාද කාල සමයක මිනිසුන් ලෙස උපත ලබා මෙලෙස පරිහානිය කරා ගමන් කිරීම කෙසේවත් අනුමත කළ හැකි කරුණක් නොවේ.

“ජෝති ජෝති පරායනේ” යන බුද්ධ දේශනාවට අනුව මිනිසා නිරතුරුව ම ආලෝකයෙන් ආලෝකය කරා ගමන් කළ යුතු බව දක්වා ඇත.

නූතනයෙහි සමාජය ගමන් කරනු ලබන්නේ අනවබෝධයෙන් යුතුව ය. එහි අවසානය බොහෝ පීඩා සහිත වූවකි. නැවත ආපසු හැරී බැලිය යුතු කාලයක් නොමැත. ලැබූ මිනිසත් භවයේ නිසි අවබෝධයෙන් ම කටයුතු කළ යුතු වේ. නොමැති නම් කවදා හෝ අපහට ආපසු හැරී බලන විට අවසානයෙහි බොහෝ දුක් වේදනා හා පසුතැවීමට හේතු වනු ඇත. මේ නිසා අප මීට වඩා බුද්ධිමත් ව ලැබූ මිනිසත් භාවය ආලෝකයට පත් කර ගැනීමටත්, සසර දුක් නිවීමටත් හැම විටම මනා අධිෂ්ඨානයෙන් මෙන් ම අවබෝධයෙන් ම ක්‍රියා කළ යුතු වේ.

වප් පුර අටවක

සැප්තැම්බර් 29 සඳුදා අ.භා 04.30 පුර අටවක ලබා 30 අඟහරුවාදා අ.භා 06.03න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]