නිවනට මූලික බීජය අකාරවතී ශ්‍රද්ධාවයි
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
ශ්‍රද්ධාව යනු මේ බුද්ධ ශාසනයේ තිබෙන අතිශයින් සුන්දර දෙයකි. වරක් ධර්මසේනාධිපති
වූ, ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ “ගුණයෙන් අග්‍ර වූ ඒ
තථාගතයන් වහන්සේ ගැන යම් පැහැදීමක් වේ ද, උපන් චිත්ත ප්‍රසාදයක් වේ ද, පහන් බවක් වේ
ද එය ම නිවන පිණිස මූලික අංගයක් වන්නේ ය” යනුවෙනි.
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ පහන් බව, ප්‍රසාදය, ඒ උතුම්
අවබෝධය අදහා ගන්නා බව ශ්‍රද්ධාව යි. නමුත් අද බොහෝ දෙනා ශ්‍රද්ධාව පටලවාගෙන තිබේ.
අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව යනුවෙන් ශ්‍රද්ධා දෙකක් තිබේ. අමූලිකා
ශ්‍රද්ධාව යනු මුලක් නැති, වහා හටගන්නා, ආවේග ස්වරූපයෙන් එන පැහැදීම යි. ඉල්පෙන
බවත්, කරුණුූ නො විමසන බවත් එහි තිබේ. එහි විපාක නැත්තේ නොවේ. නමුත් නුවණ නම් නූපදව
යි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
ධර්මයේ හැසිරෙන අදහස තුළ ස්ථිර ව පිහිටුවන්නට බැරි සිතක් නම් තියෙන්නේ, සද්ධර්මය
දන්නේ නැත්නම්, අවබෝධයක් නැතුව පහදින, ඉල්පෙන ශ්‍රද්ධාවක් නම් තිබෙන්නේ, ඔහුගේ
ප්‍රඥාව වැඩෙන්නේ නෑ.”
ඒ නිසා යමක් දුටු පමණින්, ඇසූ පමණින් ඒ මාත්‍රයෙන් ම සිතට එන ආවේගය ශ්‍රද්ධාව
විදිහට තේරුම් ගැනීම නුවණට හුරු නොවේ. අයෙක් සෑම දිනම බුද්ධ පූජාව පූජා කරයි. දිනක්
අතපසු වුණොත් බිය වේ. එහිදී පූජාව මිස භාග්‍යවතුන් වහන්සේගේ නිකෙලෙස් බව ගැන ඔහුගේ
හිතේ පහන් බවක් නැත. එය අමූලිකා ශ්‍රද්ධාව යි.
තවත් අයෙක් බෝධීන් වහන්සේ අතපත ගෑමට, එහි කොඩි එල්ලීමට, සිවුරු පෙරවීමට, පඬුරු
ගැටගැසීමට පි‍්‍රයවෙත්. එනමුදු ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙතැන වැඩ සිටියා නම් මෙය
සුදුසු දැයි අමතක වේ. ඒ ශ්‍රද්ධාව ද නුවණට උපකාර දැයි විමසනු වටී.
මහ බෝ - මහ සෑ අනේක මලින් සරසා, අනේක පූජාවන් පවත්වා, අනේක දෙයින් විසිතුරු කරන්නට
අයෙක් මනාප වෙති. ඒ පූජාවන් පිදීම මිස බුදු ගුණ සිහිකිරීමට හෝ ධර්මය සජ්ඣායනා
කිරීමට අවස්ථාවක්. කාලයක් නො එළඹෙයි. ඒ පූජාවන් පිදීමට බාධාවක් පැමිණයහොත් ඔවුහු
කිපෙති. හඬති. වැලපෙති. ශාප කරති. මේ ශ්‍රද්ධාව ද නුවණ මේරීමට උපකාර දැයි විමසනු
වටී.
පහන් සිතට විපාක ගෙන දේ. විමසීමෙන් නුවණ ගෙන දේ. ඉඩකඩ අනුව සුළු උදාහරණ කිහිපයකි
දැක්වූයේ.
විමසා ධර්මය තුළින් උපදින පැහැදීම ආකාරවතී ශ්‍රද්ධාව යි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ
නුවණින් විමසීම ගැන ප්‍රශංසා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ වීමංසක
දහම් දෙසුමේ දී මෙසේ වදාළ සේක.
“මහණෙනි, ඇසින් හොඳට බලද්දී, කනින් හොඳට අසද්දී සොයා ගන්නට පුළුවන් කෙලෙස් තිබෙනවා.
ඒ කෙලෙස් තථාගතයන් වහන්සේට තිබෙනවාද නැද්ද කියලා හොඳින් විමසන්න ඕනෑ. එලෙසම ඇසින්
හොඳට බලද්දී, කනින් හොඳට අසද්දී කලින් කලට හොයාගන්න පුළුවන් කෙලෙස් තිබෙනවා. ඒ
කෙලෙස් තථාගතයන් වහන්සේට තියෙනවාද? නැද්ද? කියා හොඳින් විමසන්න ඕනෑ.
ඇසින් හොඳට බලද්දී කනින් හොඳට අසද්දී දැනගන්න පුළුවන් ඉතා හොඳ දේ තිබෙනවා. ඒ
පිරිසුදු දේ තථාගතයන් වහන්සේ තුළ තිබෙනවාද නැද්ද කියා හොඳින් විමසන්න ඕනෑ. තවත්
විමසන්න ඕනෑ, මේ කුසල් දහම් ඇතුව ඉන්නේ බොහෝ කාලයක සිටද? නැතිනම් මෑතක සිටද කියලා.
තවත් විමසන්න ඕන තථාගතයන් වහන්සේ ගොඩාක් ප්‍රසිද්ධයි. කීර්තිමත්. නමුත් ඒ තුළින්
උන්වහන්සේ තුළ යම්කිසි පිරිහීමක් දක්නට ලැබෙනවා ද? ඒ වගේම තථාගතයන් වහන්සේ බිය රහිත
භාවයට පත්ව, කාමයෙන් වැළකී සිටින කෙනෙක් ද? බියට පත්වී කාමයෙන් වැළකී සිටින කෙනෙක්
ද? රාගය ක්ෂය වීම නිසා වීතරාගී බව තුළින් කාමයෙන් වැළකී සිටින කෙනෙක් ද? මේ ආකාරයට
විමසද්දී තථාගතයන් වහන්සේගේ පිරිසුදු බව ම යි, නිකෙලෙස් බව මයි පෙනෙන්න ගන්නේ. ඔය
කරුණුූ තථාගතයන් වහන්සේගෙන් විමසා සිටියත් පිරිසුදු නිකෙලෙස් බව මයි දැනගන්න
ලැබෙන්නේ.
මහණෙනි, මේ ආකාරයට කතාබස් කරන ශාස්තෘන් වහන්සේ නමක් ළඟට ශ්‍රාවකයෙක් බණ අසන්නට එන
එක සුදුසු යි. එවිට ශාස්තෘන් වහන්සේ තව තවත් උසස් අයුරින් රසවත් ආකාරයට දහම්
දෙසනවා. පින් පව් ගැන මතුකොට පෙන්වා දෙනවා.
මහණෙනි, ශාස්තෘන් වහන්සේ භික්ෂුවට ඒ ආකාරයට උසස් අයුරින් රසවත් ආකාරයට පින්, පව්
ගැන විස්තර කරමින් දහම් දෙසන කොට ඒ භික්ෂුවත් ඒ ධර්ම කරුණු විමසමින් අවබෝධ කර
ගන්නවා. ඒ ධර්මය තුළ ඇති ඇතැම් කරුණු ඔහුට අවබෝධ වෙනවා. ශාස්තෘන් වහන්සේ ගැන
පැහැදීම ඇතිවෙනවා. ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ යි. භාග්‍යවතුන් වහන්සේ
විසින් මනාකොට දේශනා කළ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත යි. ශ්‍රාවක සඟරුවන ද
සුපටිපන්නයි’ කියලා.
මහණෙනි, යම්කිසි කෙනකුට මේ ආකාරයට විස්තර කළ අදහස්වලින් තථාගතයන් වහන්සේ කෙරෙහි
ශ්‍රද්ධාවක් පිහිටියා නම්, ඒ ශ්‍රද්ධාව මුල්බැසගෙන පිහිටියා නම් මහණෙනි, අන්න ඒ
ශ්‍රද්ධාවට කියන්නේ ආකාරවතී ශ්‍රද්ධාව කියලා. ඒ ශ්‍රද්ධාව අවබෝධය මුල්කර ගත්තු දැඩි
එකක්. මේ ලෝකයේ ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ දෙවියකුට හෝ මාරයකුට හෝ බ්‍රහ්මයකුට
හෝ කිසිවකුට හෝ ඔහුව ඒ ශ්‍රද්ධාවෙන් බැහැර කරන්න බැහැ”.
එසේ නම් ආකාරවතී ශ්‍රද්ධාව යනු කරුණු විමසමින් ධර්මය තුළින් ඇතිවන පැහැදීම යි. ඒ
පැහැදීම ඇති වන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ යි. භාග්‍යවතුන් වහන්සේ
විසින් මනාකොට දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත යි. ශ්‍රාවක සඟරුවන
සුපටිපන්නයි’ යන කරුණ මුල්කරගෙන යි. ඒ තුළින් ම යි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන
අදහාගැනීම සිදුවන්නේ. ඒ ශ්‍රද්ධාවට ම යි සත්පුරුෂයෝ ප්‍රශංසා කරන්නේ. ඒ ශ්‍රද්ධාව ම
යි නුවණ මෝරවන්නේ. ඒ ශ්‍රද්ධාව ම යි නිවන් මඟට මුල්වන්නේ. ඒ ශ්‍රද්ධාව ම යි
ධම්මචේතියක් වන්නේ.
ධම්මචේතිය සූත්‍රය ඔබ කියවා ඇති. කොසොල් රජු අසූවැනි වියෙහි පසුවෙද්දී සිදුවු
සිද්ධියක් එහි සඳහන් වන්නේ. නිහඬ, භාවනාවට සුදුසු තැනක් දකින රජුට භාග්‍යවතුන්
වහන්සේ සිහිපත් විය. භාග්‍යවතුන් වහන්සේ සොයාගිය කොසොල් රජතුමා, භාග්‍යවතුන්
වහන්සේගේ උතුම් සිරිපා මත වැඳ වැටී තමාගේ බලවත් ප්‍රසාදය වචනවලින් ප්‍රකාශ කළේ ය. ඒ
විස්තරය භාග්‍යවතුන් වහන්සේ වදාළේ ධම්මචෛත්‍යයන් ලෙසයි. මක් නිසාද යත්, රජුගේ
පැහැදීම ආකාරවතී ශ්‍රද්ධාව ම ප්‍රකට කරවන නිසා. ඒ උතුම් දේශනාවේ දී කොසොල් රජතුමා
තමන් තුළ ශාස්තෘන් වහන්සේ කෙරෙහි පැහැදීම තීව්‍ර කළ සිද්ධි කිහිපයක් ප්‍රකාශ කරයි.
ඒ සෑම සිද්ධියක දී ම රජුගේ සිතේ ‘ධම්මචේතිය’ ම නිර්මාණය විය. කුමන ධම්මචේතියක් ද
යත්. එය කරුණු රහිත ව ඇතිවූ පැහැදීමක් නොව, ධර්මය අනුව ගිය පැහැදීමක් ය. කරුණු සහිත
ය. නුවණින් යුක්ත ය. ඇසින් දැක, කනින් අසා, විමසා බලා ඇතිවූ පැහැදීමක් ය. එනිසා ඒ
පැහැදීම මුල් සහිත ය. ආකාරවතී ශ්‍රද්ධාව තේරුම් ගන්නට ධම්මචේතිය දහම් පරියාය කදිම
නිදසුනක් වන්නේ ඒ නිසා ය.
ඔබත් ධම්මචේතිය සූත්‍රය කියවා බලන්න. අහන දකින හැම දෙයක් ම සිතින් විමසා එක්
කේන්ද්‍රයකට සිත සකස් වෙනවා නම්, ඒ හැඟීම ම මතුවෙනවා නම්, ඒ තමයි ධර්මයට අනුව විමසන
කෙනාට එන පැහැදීම. “ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ යි. භාග්‍යවතුන් වහන්සේ
මැනවින් දේශනා කළ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත යි. ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි” කියන
බලවත් පැහැදීම යි.
ඒ තුළින් ම යි ධම්මචේතිය ගොඩනැඟෙන්නේ. ඒ ආකාරවතී පැහැදීම ඔහුව නිවන කරා ගෙන යනවා.
ඔබ කල්පනා කරන්න මේ උතුම් ධර්මය අසද්දී, දහම් පොත්පත් කියවද්දී, ධර්ම සාකච්ඡා
කරද්දී, පින්කම් කරද්දී ඔබේ සිතේත් මෙවැනි අදහස් පහළ වෙනවා ද කියා. එනම් “ඒ
භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය විස්මයජනකයි. ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ සම්මා
සම්බුද්ධ යි. මේ ධර්මය නිරවුල් පිවිතුරු දෙයක්, ඒ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත යි. මේ
දහම පුරුදු කළ සංඝරත්නයේ නිකෙලෙස් ප්‍රතිපදාව පිරිසුදුයි. ඒකාන්තයෙන් ම සඟරුවන
සුපටිපන්නයි” යනාදී වශයෙන් ත්‍රිවිධ රත්නයේ ම ගුණ, ආනුභාවය, පවිත්‍ර බව සිතට
නැඟෙනවා ද කියා විමසන්න.
ධර්මය තුළින් බලද්දී ඒ ආකාරයට ම ත්‍රිවිධ රත්නය ගැන ප්‍රසාදය ඉපදෙනවා නම් එය
ආකාරවතී ශ්‍රද්ධාව යි. එය නිවනට යොමු කරනවා. එය පවිත්‍ර දෙයක්. ධම්ම චේතියක්. එවැනි
ප්‍රසාදයක් හටගැනීම පවා මහා භාග්‍යයක්.
එනිසා එ තැනින් මෙහා යමකින් සිත පිනා ගිය පමණින් මටත් නො සෙල්වෙන ශ්‍රද්ධාව පිහිටා
තිබෙනවා යැයි රැවටෙන්නට එපා. යම් දවසක ඉහත සඳහන් පරියායෙන් පැහැදීම ඇතිවෙයි ද,
එතෙක් උත්සාහ කළ යුතු ම ය. නුවණින් විමසිය යුතු ම ය. පහන් සිතින් මේරිය යුතු ම ය.
වතාවත් කළ යුතු ම ය. නුවණ පෙරදැරිව පින්කම් කළ යුතු ය. නො රැවටිය යුතු ය. නිහතමානී
විය යුතු ම ය. ආකාරවතී ශ්‍රද්ධාව උපදින්නේ ධර්මයට අනුව විමසීමෙන් බව පෙරදැරි කරගත
යුතු ම ය. |