දැයට දුර්ලභ දායාද ලබා දුන් දැලිවල කොටවෙහෙර රාජමහා විහාරය
සංස්කෘත භාෂාවෙන් ස්තූප ලෙස හඳුන්වන නිර්මාණය පාලියෙන් ථූප ලෙස ද, සිංහලයෙන් තුබ,
තුඹ ලෙස ද හඳුන්වනු ලැබේ. සිංහල දාගැබ යන වචනය සංස්කෘත ධාතු ගර්භ, පාලි ධාතු ශබ්ද
ඔස්සේ බිඳී ආවක් බව පෙනේ. ස්තූප යන්න පර්යාය වචනයක් වූ වෙහෙර යන්න පාලි විහාර
යන්නෙන් සිංහලයට පැමිණ ඇත.
|

දැලිවල කොටවෙහෙර

ස්තූප කැණීමෙන් හමුවූ දුර්ලභගණයේ
රන් කරඬුවක් |
මෙසේ විවිධ පර්යාය නාමයන්ගෙන් හඳුන්වනු ලබන ස්තූපය අශෝක රජුගේ බුදුදහම ව්‍යාප්ත
කිරීමේ ප්‍රචාරක වැඩ පිළිවෙළෙහි ප්‍රධාන අංගයක් විය. වෙහෙර විහාර විශාල සංඛ්‍යාවක්
රාජ්‍යයේ පිහිටුවා ජනතාව බෞද්ධාගමික ප්‍රබෝධයෙන් නංවාලීමට අශෝක රජු උත්සාහ කරන්නට
විය. මෙතුමාගේ මෙම ධර්ම ප්‍රචාරක කටයුතු නිසා බුදු දහම ප්‍රචලිත වත්ම ධාතු වන්දනාව
හා ස්තූපය පිළිබඳ අදහස භාරතය තුළ මෙන් ම භාරත දේශ සීමාවෙන් පිටතට ව්‍යාප්ත ව ඒ ඒ
රටවල පවත්නා ආගමික සංස්කෘතික සන්දර්භයන් ඔස්සේ වාස්තු විද්‍යාත්මක කලා නිර්මාණයක්
බවට පත්විය.
ලක්දිවට බුදුදහම පැමිණීමත් සමඟ මිහිඳු හිමියන්ගේ අනුශාසකත්වයෙන් දෙවනපෑතිස් රජුගේ
අනුග්‍රාහකත්වයෙන් ඉදිවුණූ ථූපාරාමය තත්කාලීන ව චෛත්‍යයක පැවතිය යුතු වාස්තු
විද්‍යාත්මක අංගයන්ගෙන් ඉදිවන්නට විය. සාහිත්‍ය මූලාශ්‍රගත තොරතුරු අනුව බුදුන්
වහන්සේ වැඩ විසූ සමයේ ම මහියංගණය හා ගිරිහඬු සෑය යන ස්තූපයන් ඉදිකළ බව සඳහන් වුවත්
පුරාවිද්‍යාත්මක ව ඒ පිළිබඳ පැහැදිලි නිගමනයකට පැමිණීමට තරම් කරුණු නොමැති නිසා
ථූපාරාමය මෙරට ඉදිවු පැරණිතම ස්තූපය ලෙස සැලකේ.
දැලිවල කොටවෙහෙර ද ඊට සමකාලීනව ම දේවානම්පියතිස්ස රජු විසින් ම නිර්මාණය කරන ලද
දාගැබක් ලෙස විශ්වාස කරනු ලැබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැලිවල ග්‍රාමයේ පිහිටි
දැලිවල කොටවෙහෙර දෙවනපෑතිස් රජ සමයේ දී පිහිටි කන්දක් සැස එම කන්ද ආවරණය වන ලෙස
ගඩොල් බැඳ ඉන්දියාවේ සාංචි ස්තූපයේ ආකෘතියට ඡත්‍ර නංවා නිර්මාණය කර ඇති බවට මත
තිබේ.
|

හමුවූ ධාතු කරඬුවක ඇලී ඇති ආසියාවේ පැරැණිම සේද රෙදිකඩ |
කාලයාගේ ඇවෑමෙන් ස්තූපයේ උපරිභාගය විනාශ වීම නිසා එය පසුකාලීන ව කොටවෙහෙර ලෙස
හඳුන්වා ඇත. නමුත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරන්නේ මෙම ස්තූපය
ක්‍රි.පූ. 1වැනි සියවසේ දී ඉදිකරන ලද්දක් බවයි. එතුමා ඒ සඳහා සාක්ෂි ලෙස ස්තූප
පාදමෙන් හමුවූ බ්‍රාහ්මීය අක්ෂර සහිත ගඩොල් හා එම ගඩොල්වල ප්‍රමාණ සැසඳීමෙන් ඒවා
දුටුගැමුණු රාජසමයේ ස්තූප නිර්මාණය සඳහා භාවිත ගඩොල්වලට සමාන බව පෙන්වා දෙයි. නමුත්
මහාවංශය සඳහන් කරනුයේ මෙම ස්තූපය දේවානම්පියතිස්ස රාජ සමයේ දී කරන ලද බවයි.
මෙම ස්තූපයේ කැණීම මඟින් හමු වූ පුරාවස්තු අතර අපූර්වතම රන් කරඬුවක් වේ. අනුරාධපුර
රුවන්වැලි සෑයෙන් හා මිහින්තලයේ මිහිඳු සෑයෙන් හමු වූ ධාතු කරඬුවලට වඩා අගයෙන් හා
කලාත්මක බවෙන් මෙම කරඬුව විශේෂ තැනක් ගනී. විද්වතුන් පවසන්නේ දැලිවල කොටවෙහෙරෙන්
හමුවූ රන් කරඬුව භාරතයේ සාංචි ස්තූපයේ ආකෘතියට බෙහෙවින් සමාන බවයි. මෙම කැණීම්
මඟින් ධාතු කරඬු 173ක් හමුවී ඇති අතර, එය මෙරට ස්තූපයකින් හමුවූ දෙවන වැඩිම ධාතු
කරඬු සංඛ්‍යාව වේ. වැඩිම ධාතු කරඬු සංඛ්‍යාවක් හමුවී ඇත්තේ නීලගිරි ස්තූපයෙනි.
දැලිවල කැණීම් කටයුතු සිදුකළ ආචාර්ය ඩබ්.එච්. විජේපාල මහතාගේ අදහස වන්නේ චෛත්‍යයේ
ඉහළ සතරැස් හෝ රවුම දැවයෙන් නිමාකර ලී යෂ්ටියක් යොදා ඒ මත ඡත්‍රය සවිකරන්නට ඇතැයි
යන්නයි.
මෙම ස්තූපයේ කරන ලද කැණීම් මඟින් හමුවූ පුරාවස්තු අතර ඇති ධාතු කරඬුවක් ඔතන ලද පබළු
ඇල්ලූ සේද රෙදිකඩ ද සුවිශේෂ වේ. පුරාවිද්‍යාඥයින්ගේ අදහසට අනුව ආසියාවෙන් මෙතෙක්
හමුවූ පැරැණිම සේද රෙදිකඩ වන්නේ මෙයයි. මෙය මෙරට පුරාවිද්‍යා ඉතිහාසයේ සුවිශේෂි
සොයාගැනීමක් වන අතර, සාමාන්‍යයෙන් රෙදිකඩක් පුරාවිද්‍යා සන්දර්භවල රඳා නොපැවතීම එයට
හේතුව වේ. එම සේද රෙදිකඩ ඔතන ලද කරඬුවට ම ඇලී තිබී ඇති අතර, රෙදිකඩ ආරක්ෂාකාරී වී
ඇත්තේ ද එම නිසාවෙනි.
ඔස්ට්‍රේලියානු ජාතික, විශ්වවිද්‍යාලයේ සේවය කරන පෞරාණික රෙදිපිළි පිළිබඳ ව
විශේෂඥවරියක වූ මහාචාර්ය ජූඩීන් කැමරන් මහත්මිය විසින් මෙම රෙදිකඩ පිළිබඳ ව පරීක්ෂණ
සිදුකරන ලද අතර, මෙම රෙදිකඩ කවර ප්‍රදේශයක නිපදවූවක් ද යන්න පිළිබඳ ව සාධක නොමැති
වුව ද සේද මාවත ඔස්සේ මෙරටට ගෙනෙන ලද්දක් බව අනුමාන කළ හැකි බව පෙනේ.
“නම් පොතේ” ද සඳහන් පැරැණි විහාරයක් වන මෙහි මහනුවර සමයේ දී ඉදිකරන ලද ටැම්පිට
විහාරයක් තිබී ඇති අතර, අතීතයේ සිට පැවැත එන බෝධි වෘක්ෂයක් අද පවා දැකගත හැකි ය. ඊට
අමතරව චෛත්‍ය මළුවේ දක්නට ලැබෙන විහාරය මෑත කාලීන සංවර්ධනයේ ප්‍රතිඵලයකි. ලාංකිකයන්
අතර ප්‍රචලිත නොමැති වුව ද දැලිවල කොටවෙහෙර යනු ලක්දිව නාමය ලෝකය තුළ ඉහළට ඔසවා
තැබූ පුරාවිද්‍යාත්මක සාධක ලබා දුන් අපූර්වතම ස්තූපයක් බව මෙහිදී සිහිපත් කිරීම
වටී.
- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
කේ. උදේනි අරුණසිරි
|