[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 රූපය දිරුවත් නොදිරන නාමය

බව සසර ගමනේ රූපය දිරුවත් නොදිරන නාමය

අපි හැම කෙනෙක් ම තමන්ගේ නම පිළිබඳ කීර්තියක්, ප්‍රසිද්ධියක් සමාජය තුළ පැතිරෙනවාට විශාල කැමැත්තක් ඇති කර ගන්නවා. මේ නිසා සමහර උදවිය ඉතා සුළු මෙහෙවරක් සිදු කරලා නම ඉහළින් ප්‍රසිද්ධ කර ගන්නවා. සමහර උදවිය මහා සංඝරත්නය සිය ගණනින් වැඩමවා මහා දානයක් දීලා ඒ සඳහා පුවත් මඟින් ද විශාල ප්‍රචාරණයක් ලබා දෙනවා.

මේ හැම අවස්ථාවක ම තමන් විශාල වශයෙන් කෙලෙස් එකතු කර ගෙන සසර ගමනටත් බාධා කර ගන්නවා. සැබැවින් ම මේ රාගාදි කෙලෙස් ගොන්නක පැටලීමේ ස්වභාවය කියන්නේ ධර්මයේ හැටියට වංචක ධර්ම ගොඩගසා ගැනීමක්. තමන්ගේ නාමය ඔප්නංවා ඉහළ තබා ගැනීමකට වඩා වැදගත් වන්නේ නිහඬ ව සිදු කරන කරුණාව, දයාව පෙරටු කර ගත් කුසල සිතිවිලි සංවර්ධනය වන කුසල කර්මයන්හි යෙදිමයි. මෙවැනි කුසල සිතිවිලි පරම්පරාවක් මුහුකුරා යාමෙන් ලබන යම් ක්‍රියාවක් වෙයි නම් ඒවා පාරමී හෙවත් සසර සිදු කරන සතතාභ්‍යාස ලෙස හඳුන්වා දෙන්නට හැකියාව පවතිනවා. යම් යම් අවස්ථාවල අපට පේනවා විවිධ පුද්ගලයන් ආයතන විශාල වශයෙන් කැපී පෙනෙන සත් භාවයෙන් ම සිදු කරන මෙහෙවරයන් නිසා මහත් ප්‍රසිද්ධියට මෙන් ම ජනප්‍රියත්වයට පත් වෙනවා. එවැන්නන් මිය ගියත් ඔවුන් ජනතාව අතර දිර්ඝ කාලයක් තුළ නමක් රඳවා තබන්නට පුළුවන්. අනගාරික ධර්මපාලතුමා, ධර්මාශෝක රජතුමා, දුටුගැමුණු රජතුමා ආදී වශයෙන් ඒ නාමයන් බොහෝ කාලයක් ජනතාව අතර පවතිනවා.

එහෙම වුණත් කාලයත් එක්ක එවැනි නාමයන් පවා ජනතාවගෙන් ගිලිහෙනවා පමණක් නොව කලකින් අමතක වී යනවා. එහෙත් සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ සමස්ත ලෝකයේ ම සනාථනික ව ම නාමය රඳවා ගෙන තිබෙන්නේ උන්වහන්සේගේ මෙහෙවර ජාති, ආගම්, ප්‍රදේශ, කුලමල භේද අභිබවා බොහෝ දුර ගිය අසාමාන්‍ය ගුණ සම්පන්න මෙහෙවර නිසයි.

දවසක් දා සැවැත්නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන සමයෙහි එක් දේවතාවෙක් මුළු ජේතවනාරාමය ම බබුළුවා ගෙන බුදරජාණන් වහන්සේ හමුවට මධ්‍යම රාත්‍රියක පැමිණෙනවා. එහෙම පැමිණිලා එකත්පසක හුන් මේ දේවතාවා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් සම්බන්ධව ම විමසා සිටිනවා.

”ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ කුමක් නම් දිරන ගතියෙන් යුක්ත වෙනවා ද? වැනසෙන නැසෙන ගතියෙන් යුක්ත වෙනවා ද?

දිරන, වැනසෙන ගතියෙන් යුක්ත වන දේ ලෝකයේ පවතිනවා නම් නො දිරන නො වැනසෙන දේ ලෝකයේ පවතිනවා ද?”

මේ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ මේ ලෝකයේ උපන් සත්වයාගේ (මනුෂ්‍යයාගේ) මේ භවයෙන් සම්මත වශයෙන් ඉවත් වන මරණයෙන් පමණක් නොව ක්ෂණයක් පාසා දිරන වෙනස් වන සත්වයා විසින් දරා සිටින මෙම රූපකාය නො නවත්වා ම දිරීම ස්වභාව කොට පවතිනවා. එහෙත් ඒ මනුෂ්‍යයා විසින් සිදු කරන ලද යම් සත් ක්‍රියාවක් වේ නම් ඒ නාමය බොහෝ කල් නො දිරා පවතිනවා.

මේ පැනයත් එක්කම බුදුරජාණන් වහන්සේගෙන් මෙම දේවතාවා විසින් එක දිගට තවත් ප්‍රශ්න කිපයක් ඉදිරිපත් කරමින් කරුණු විමසා සිටියා. ඒ කරුණු දෙස වඩාත් විමසිල්ලෙන් බලනවිට පුද්ගලයාගේ නාමය නො දිරා පැවැත්මට අවශ්‍ය වන තවත් චරිතාංග රාශියක් මේ හා සමග බැඳී පවතිනවා. එම චරිතාංග දියුණුවට පත් කර ගත් අය ආර්ය ගණයට වැටෙනවා. තවත් ආකාරයකින් පවසනවා නම් විශිෂ්ට මට්ටමේ චරිතාංග රැසක් මෙහිදී අපේ විමසුමට ලක්වන ආකාරයෙන් තමයි මෙම සූත්‍ර දේශනාවෙන් ඉදිරිපත් කෙරෙන කරුණු පෙළ ගැසී ඇත්තේ.

මෙම දේවතාවා අසන දෙවැනි ප්‍රශ්නය වන්නේ නො මඟ හෙවත් වැරැදි මඟෙහි යාම යනුවෙන් කියන්නේ කුමක් ද? රාගය නිසා සත්වයා වැරැදි මාර්ගයෙහි ගමන් කරනවා යන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. බුදුදහමේ උගන්වන ආකාරයෙන් රාගය කියලා කියන්නේ දැවීම්, තැවීම්, බිය ගැන්විම්, තැති ගැන්විම් ඇති කරන ගින්නක් කියලයි. එය පෙන්වා දෙනවා

”නත්ථි රාග සමො අග්ගි” යනුවෙන්.

අප කථා කරන සියලු ම ගිනිවලට වඩා වේගයෙන් මෙන් ම දැවිලා, පිච්චිලා, අලු බවට පත් කරන ගින්නක් තමා රාගය කියලා කියන්නේ. රූපාදි අරමුණු කෙරෙහි අපේ පංචේන්ද්‍රියන් බැඳ තබන, අලවන, ඇල්මට යි රාගය කියා ධර්මයෙහි සටහන් වන්නේ. එය සන්තානය ඇතුළතින් ම දවන ගින්නක්. මේ රාගය නමැති ගින්න පුද්ගලයාගේ චිත්ත සන්තානයෙහි රැඳී පවත්නා යහගුණ ධර්ම සියල්ලක් මෙහොතකින් දවා හරිනවා. සුණු විසුණු කරනවා. ඊළඟට දේවතාවා ඉදිරිපත් කරන ප්‍රශ්නය වූයේ ධර්මානුකුල පැවැත්මට, ලෝකයේ පවත්නා සියලු සාරධර්මවලට ඇති වන උපද්‍රවය කුමක් ද?

එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ලෝභය කියන මේ දරුණු සිතිවිල්ල නිසා බොහෝ දෙනෙක් මඟ නොමඟ නො දැන අගාධයට වැටෙන බව. එයින් අදහස් කරන්නේ මේ ලෝභය ද මුලින් කී රාගයේ ම තවත් තීව්‍ර අවස්ථාවක් ලෙසයි. මේ ලෝභය කියලා පෙන්වන්නේ තමන්ගේ වස්තුව, දේපළ පිළිබඳ හටගන්නා වූ බැ¼දීම හෙවත් ඇලීමයි. එහි දරුණු ම ප්‍රභේදය වන්නේ ලෝභ නොකළ යුතු වස්තූන් ලෙස නීතියට, සමාජ සම්මතයට පවා පටහැනි ව ඇති කර ගන්නා තද ආශාව යි. මෙයට කියන්නේ අභිධ්‍යාව හෙවත් විෂම ලෝභය කියල යි. තමන් සතු වස්තුව කෙරෙහි ඇති ආශාව ඉක්මවා ගොස් ඒ අන්සතු වස්තූන් වගේ ම පරපුරුෂයන් හා පරස්ත්‍රීන් කෙරෙහි පවා ආශාව ඇති වීමයි. මෙය දරුණු තත්වයක්. මෙම ලෝභය සැබැවින් සෑම නිවැරැදි මාර්ගයක් අවුරා පුද්ගලයා වරදට පොළඹවනවා. උන්මත්ථක බවට පවා පත් වීමට ඉඩ ඇති වෙනවා.

ඊළඟට දේවතාවාගේ පැනය වූයේ රෑ දවල් ගෙවීම යන්නෙන් අදහස් වන්නේ කුමක් ද? යන්නයි. සැබැවින් ම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා රෑදවල් ගෙවෙනවා කියලා කියන්නේ ඒ හැම විට ම අපේ ජීවත් වීමේ කාලය ගෙවි ගෙවී යනවා කියන මේ කරුණයි කියලා. එනම් ආයුෂයේ ක්ෂය වීමයි.

මෙයින් පසු බ්‍රහ්මචරියාව ආරක්ෂා කර ගැනීමට ඇති බාධාව වන්නේ කුමක් ද? යන්නයි විමසා සිටියේ. නිතර පාලනය කර ගත හැකි නො වන සිත උත්තම හැසිරීමෙන් වළක්වාලන බලවේගය වන්නේ ස්ත්‍රිය යි. එහෙමත් නැත්නම් ස්ත්‍රියට පුරුෂයාත්, පුරුෂයාට ස්ත්‍රියත් බවයි. මෙය බ්‍රහ්මචරියාව සුණු විසුණු කිරිමට හේතු වෙනවා. තවත් තේරවිල්ලක් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ ජලය නැති ව කෙසේ නම් නාන්නේ ද? යනුවෙන්.

ස්නානය කිරීමෙන් සිදු වන්නේ ශරීරය පිරිසුදු වීම යි. ශරීරය කියන්නේ රූපකායට යි. වතුර නා ගැනීමෙන් අපට රූපය පිරිසුදු කර ගැනීමට හැකියාව තිබුණත් පුද්ගලයා බාහිර රූපයෙන් පිරිසුදු වූවාට ප්‍රමාණවත් වන්නේ නැහැ. ආධ්‍යාත්මිකවත් පිරිසුදු වෙන්නට අවශ්‍ය වෙනවා. එය සිදුවීමට නම් ලාමක කෙලෙස් තැවීමෙන් ඇති වන ආධ්‍යාත්මික පාරිශුද්ධිය හෙවත් ආර්ය බ්‍රහ්මචරියාව ද අවශ්‍යයි.

මේ අනුව තපසත්, බ්‍රහ්මචරියාවත් සඵල කර ගත් පුද්ගලයා අවම වශයෙන් සෝවාන් ඵලයටවත් පත් වූ ආර්ය උත්තමයෙක් ලෙස සැලකෙනවා. අන්න ඒ මෙතෙක් පැහැදිලි කළ ගුණ ඇති උත්තමයාගේ රූපය දිරුවත් නාමය නො දිරන බවයි මේ න ජීරති සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ. 'නාමගොත්තං න ජීරති' යන්නේ අර්ථය වන්නේ එය යි.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 07 ඉරිදා පූ.භා 01.40 පුර පසළොස්වක ලබා
එදිනම අ.භා.11.37න් ගෙවේ.
07 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]