බිනර පුර
පසළොස්වක පෝ දා 2025-09-07
ශ්‍රී සද්ධර්මයෙහි අප්‍රමාදී
වෙමු
කාන්තා පරපුරට ප්‍රඥාවේ මාර්ගය පෙන්වා දී
විමුක්ති සුවය උදාකර ගැනීමේ මහානීය උරුමය ලබා දුන්නේ අදවන්
පින්බර බිනර පුර පසළොස්වක පෝ දිනක දී ය. මෙහෙණින් වහන්සේ නමක
ලෙස නිවන් මඟ පහසු කර ගැනීමේ මාර්ගයට පිවිසෙන්නට සෑම කාන්තාවකට
ම නොහැකි වුව ද ගිහි ජීවිතය තුළ ධර්මානු ධර්ම පටිපන්න ව,
තමන්ගේ ජීවිතය ආලෝකවත් කර ගන්නට අප්‍රමාදී වීම සඳහා ලක්වැසි,
ලෝ වැසි බොදු කුල කතට මේ උතුම් පෝ දින පණිවුඩය සිහිකැඳවීමකි.
සිඟිත්තියකගේ සිට සොයුරියක, දියණියක, මවක,
මිත්තනියක ආදී විවිධ අවස්ථාවන් නියෝජනය කරමින් ජීවිතයට ජීවය
දෙන කාන්තාව සමාජය ගමන් කරන දිශානතිය පැහැදිලි ව පෙන්වන අපූර්ව
කැඩපතක් බඳු ය. ඇයගේ චරිතවත් බව සේ ම දුශ්චරිත බව ද සමාජයේ
පැවැත්මට කරන බලපෑම සුළුපටු නැත. එය කාන්තාවක ලෙස සිතට ධාරණය
කර ගත යුතු ම කරුණෙකි.
සියුමැලි බව උපතින් උරුම ඇයට විෂම සමාජයේ දී
මුහුණ දෙන්නට සිදුවන අවමන්, අපමණ කරදර, බාධක ජය ගන්නට නම්
සුවිශේෂී රැකවරණයක් තිබිය යුතු ම ය. ඒ පූර්ණ ආරක්ෂාව ස්ථිරව ම
ලබා දිය හැකි පුද්ගලයෙක් හෝ තැනක් හෝ නොවේ. ඒ සුරක්ෂිත බව ලද
හැකි එකම මඟක් වේ. ඒ ධර්ම මාර්ගය යි. ධර්මයේ හැසිරීම යි.
යහපත් චරිතයක් ගොඩනඟා ගත හැකි ගුණ ධර්ම
ශ්‍රී සද්ධර්මය තුළ බොහෝ කොට අන්තර්ගත ය. ජීවිතය ගැන නිසි
අවබෝධයක් ඇති කුලකත ඒ ගුණධර්ම තම ජීවිතයට ගළපා ගන්නට අප්‍රමාදී
ය. මවකගේ කායික මානසික සුවතාව නිවෙසේ ජීවත්වන දරුවන්ට සෘජුව ම
බලපායි.
රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් මනස රෝගී කරයි.
ඇය ඊර්ෂ්‍යා සහගත නම්, දැඩි තණ්හාවෙන් කටයුතු කරන්නී නම්,
තරහව, ක්‍රෝධය ප්‍රගුණ කරන්නී නම්, රාගි සිතිවිලිවලින් අන්ධ වී
නම්, අඥාන නම් ඇයට නිරෝගී මනසක් හිමි නොවේ. ඇයගේ දෛනික කටයුතු
මෙහෙයවෙන්නේ ඒ සිතිවිලි අනුව නම් ඇය කෙසේ ධර්මයෙන් රැකවරණය
ලබන්න ද? ඇයගේ දූ දරුවන්ට උරුම වන්නේ ද එම ආදර්ශය ම ය.
තමන්ගේ චරිතවත් බව ආරක්ෂා කර ගන්නට ඉතා
අපූර්ව උපදේශ රැසක් මෙත්ත සූත්‍රයේ අන්තර්ගත ය. යම් හෙයකින්
තමන් මේ දක්වා ඒ ධර්ම කරුණු ජීවිතයට සමීප කර ගන්නට ප්‍රමාදද
වූවා නම් මේ උතුම් පෝ දිනය ඊට ඇරඹුමක් කර ගත හැකි ය. වරදින්
මිදුණු පුද්ගලයා පුර පස සඳ සේ බබළන බව ය බුදුරජාණන් වහන්සේ
දේශනා කොට වදාළේ.
අද කාන්තාව බොහෝ කාර්යබහුල ය. විශේෂයෙන්
මවකගේ චරිතයට එය අනිසි බලපෑමකි. දරුවන් යහමඟ යෙදවීමට, ඔවුන්
පිළිබඳ නිති විමසිලිමත්වීමට ඇයට වෙන් කළ හැකි කාලය අවම වීම
ගැටලු රැසක ඇරඹුම ය. යම් හෙයකින් දරුවා නොමඟ ගියේ නම් එය සමාජ
ප්‍රශ්න දක්වා දුරදිග යා හැකි ය. අප්පකිච්ච ගුණය ඇවැසි
එහෙයිනි. එනම් වැඩි වැඩ නැති බව ය. ප්‍රමාණය ඉක්මවා කරන වැඩ
කායික, මානසික දුර්වල බව ඇති කරන්නට සමත් ය. එම තත්වය වගකීම්
යුතුකම් අසාර්ථක තැනට පත් කරයි. එතැන දී පවුල සුරක්ෂිත වන්නේ
නැත.
මේ ආකාරයට ජීවිතය ඔප්නංවා ගත හැකි සදුප දේශ
ශ්‍රී සද්ධර්මයෙහි අපමණ අන්තර්ගත ය. අප්‍රමාදී ව ඒ සදහම්
ජීවිතයට ගළපා දෙලොව යහපත සලසා ගැනීම නුවණැති කාන්තාවගේ ස්වභාවය
වන්නේ ය. |