නිදහස් සටනේ යතිවර පිය සටහන්
ශාස්ත්‍රපති
ඕමාරේ පුඤ්ඤසිරි හිමි
වසර දෙදහස් පන්සියයකට අධික දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලාංකේය සමාජය තුළ
භික්ෂු සංස්ථාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.
සෙසු සමාජ ප්‍රපංචයන් මෙන් ම ශ්‍රී ලාංකේය භික්ෂු සමාජය ද උච්ඡාවචනය වෙමින් ඉදිරියට
ඇදී ගියේ මහා සමාජයේ ගතිකත්වයන්ට සාපේක්ෂව යි. වැඩවසම් ආර්ථික ක්‍රමයේ එක්තරා
පැතිකඩක් පැරැණි ලාංකේය භික්ෂු සංස්ථාව තුළින් ප්‍රකට වූව ද සාධනීය වශයෙන් ඉතිහාසයේ
කළ සේවාව මිල කළ නොහැකි තරම් ය.
දුටුගැමුණු රජතුමාගේ දස මහා සෙනෙවියන්ගේ එක් අයකු වූ ථේරපුත්ථාභය බෞද්ධ භික්ෂුවකි.
මොහු සිවුරු හැර යුද සේනාවට බැඳී යුද්ධයෙන් ජය ගත් පසු නැවත පැවිදි විය. ඉතිහාසයේ
පුරා භික්ෂුව රජවරුන් සහ රජවරුන් අතර, රජවරුන් සහ ජනතාව අතර, රජු හා රජපවුල් අතර
ඇති වූ දේශපාලන අර්බුද විසැ¼දීමේ මැදිහත් කරුවකු ලෙස නැති නම් තෙවැනි පාර්ශවයක් ලෙස
ක්‍රියාත්මක වී ඇත.
මහාවංශයේ සඳහන් වන ආකාරයට කාවන්තිස්ස රජතුමාගේ යුගයේ දී ගැමුණු කුමරු ඔහුගේ
සොහොයුරු තිස්ස කුමරු සමඟ ඇති වූ ගැටුම ද, සද්ධාතිස්ස රජුගේ අවෑමෙන් භික්ෂූන්
වහන්සේගේ අවශ්‍යතාව මත ලජ්ජිතිස්ස කුමරු වෙනුවට ථුල්ලත්තන කුමරු රජකමට පත් කරවීම ද,
දෙවන සේන රජුගේ කාලයේ දී රජු හා මහින්ද නම් ආධිපාදයන් අතර ගැටුමක් ඇති වූ විට සංඝයා
ඉදිරිපත් වීම ද, කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු හා පරාක්‍රමබාහු කුමරු අතර භේදයක් ඇති වූ
විට එය සංසිඳවීමට මැදිහත් වීම ද ප්‍රශංසනීය වේ.
මෙයින් පැහැදිලි වන්නේ රජ දවස රජු හා සංඝ සමාජය අතර සමීප සම්බන්ධතාවක් පැවැති බවයි.
එමෙන් ම පාලකයින් ජනතාවට පීඩා ගෙන දෙන ලෙස හැසිරෙන්නේ නම් ජනතාව එම පීඩනයෙන් මුදවා
ගැනීම භික්ෂුවගේ කාර්යයක් ලෙස සලකා ක්‍රියාත්මක වීම ද වැදගත් ය. මෙහිදි ශ්‍රී
ලාංකේය භික්ෂුව ඒ ඒ සාහිත්‍ය යුගවල දී සිංහල භාෂාවවට හා සාහිත්‍යයට කරන ලද සේවාව
අතිවිශිෂ්ට බව ද සිහිපත් කළ යුතු ය.
1815 දී උඩරට ගිවිසුම ප්‍රකාශයට පත් කළ දිනයේ වාරියපොළ සුමංගල හිමියන් විසින්
ඉංග්‍රීසි කොඩිය බිම හෙලා සිංහ කොඩිය එසවීමෙන් ප්‍රගතිශීලි භික්ෂු දේශපාලනයට
අත්පොත් තබන ලදී.
1818 ඇති වූ උඩරට මහා කැරැල්ල ආරම්භ කරනු ලැබුවේ ප්‍රභූ සමාජය විසින් තමන්ට අහිමි
වූ වරප්‍රසාද දිනා ගැනීම සඳහා ය.
එහෙත් ඉහගම රතනපාල හිමි, වාරියපොළ සුමංගල හිමි වැනි භික්ෂූන් වහන්සේ එයට සම්බන්ධ
වූයේ ප්‍රගතිශීලි අර්ථයෙන් ය. 1848 ඇති වූ මාතලේ කැරැල්ල පොදු ජන අරගලයක් විය. බදු
අය කිරීමට එරෙහි ව නිර්ප්‍රභූ සාමාන්‍ය ජනතාව තුළින් පැනනැඟුණ මෙම අරගලයට
ගොංගාලේගොඩ බණ්ඩා සහ වීරපුරන් අප්පු සමඟ නායක්ත්වය දෙනු ලැබුවේ කුඩාපොල ශ්‍රී රාහුල
හිමියන් ය. බ්‍රිතාන්‍ය පාලකයන්ට එරෙහි ව සටන් කොට දිවි පිදූ භික්ෂුවක් ලෙස කුඩාපොළ
හිමියෝ ඉතිහාසගත වූහ. 1848 වසරේ අට වැනි මස 4 වැනි දින අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව
සුදු පාලකයින් විසින් ඒ හිමියන් ඝාතනය කරනු ලැබී ය. කුඩාපොළ ශ්‍රී රාහුල හිමිපාණන්
දළදා මැදුර පෙනි පෙනි “මාගේ මරණය ආරම්භයක අවසානයක් කර නොගනිල්ලා....... අවසානයක
ආරම්භයක් කර ගනිල්ලා”
යනුවෙන් අභීත ව ප්‍රකාශ කරමින් තම පූජනීය ජීවිතය පූජා කළ දිනය අනුස්මරණනීයයි.
19 වැනි සියවසේ අග භාගයේ දී සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් යන ජාතිකත්ව පදනම් කර ගෙන
සංස්කෘතික
පුනර්ජීවන ව්‍යාපාරය ආරම්භ විය. මෙහි වඩාත් බලපෑම් සහගත ව්‍යාපාරය වූයේ සිංහල බෞද්ධ
පුනර්ජීවන ව්‍යාපාරය යි. මෙම සිංහල බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය වඩාත් ප්‍රබෝධවත්
වූයේ 1873 මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් ආරම්භ කළ පානදුරා වාදය මඟිනි. පානදුරා
වාදයට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබුණි. එම ලේඛන කියැවීමෙන් පැහැදීමට පත් වූ හෙන්රි
ස්ටීල් ඕල්කට් තුමා සහ බ්ලවස්කි මහත්මිය ලංකාවට පැමිණ බෞද්ධ පාසල් ආරම්භ කිරීම,
බුදු දහම නඟාසිටුවීම වැනි ක්‍රියාවල නිරත විය. සංස්කෘතික පුනර්ජීවන ව්‍යාපාරයට
නායකත්වය දෙනු ලැබුවේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ සුමංගල හිමි, වලානේ
සිද්ධාර්ථ හිමි, වස්කඩුවේ සුභූති හිමි, එස්. මහින්ද හිමි යන යතිවරයාණන් වහන්සේ සහ
අනගාරික ධර්මපාල තුමා වැනි ගිහි බුද්ධිමතුන් ය. මෙම අය මුද්‍රණාල පිහිටු වීම හා
මුද්‍රිත මාධ්‍ය යොදා ගෙන විවිධ බෞද්ධ ප්‍රකාශන එළිදැක්වී ය. මෙම ව්‍යාපාරය මතු
පිටින් දිස් වූයේ සුචරිතවාදය හා ජාති වාදයයි. මතු පිටින් දේශපාලන මුහුණුවරක් දැරුවේ
නැතත් සැඟවුණු දේශපාලනයක් පැවතුණි.
එනම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධය යි. එය වැදගත් සටන්කාමී එකක් විය. මෙය සුදු
පාලකයින්ට තර්ජනයක් වූයේ භික්ෂූන්ගේ මැදිහත්වීම නිසා යැයි පැවසීම අතිශයෝක්තියක්
නොවේ.
නවසිය තිස් ගණන්වල දී බෞද්ධ භික්ෂූහු වාමාංශික ව්‍යාපාරයට ද ඍජුව ම සම්බන්ධ වූහ.
උඩකැන්දවල සරණංකර හිමි, වල්පොළ රාහුල හිමි, කලල්ඇල්ලේ ආනන්දසාගර හිමි, කොටහේනේ
පඤ්ඤාකිත්ති හිමි, නරාවිල ධම්මරතන හිමි යන හිමිවරු එවකට පැවති වමේ ව්‍යාපාරයට ආධාර
කරමින් රැස්වීම්වල කතා කිරීමට පවා ඉදිරිපත් වූහ.
20 වැනි සියවසේ මුල් වකවානුවේ විද්‍යාලංකාර පිරිවෙන ප්‍රගතිශීලි භික්ෂූන්ගේ
තෝතැන්නක් විය. මෙම ආයතනයේ පිහිටුවා ගත් ලංකා එක්සත් භික්ෂු බල මණ්ඩලය ඉතා ප්‍රබල
සංවිධානයක් විය. යක්කඩුවේ පඤ්ඤාරාම හිමි එහි ලේකම් වශයෙන් පත් වූ අතර, මෙම සංවිධානය
“කාලය” නමින් සඟරාවක් ආරම්භ කළේ ය. කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියෝ එහි කර්තෘ ධූරයට පත්
වූහ. වල්පොළ රාහුල හිමි විසින් රචිත භික්ෂුවගේ උරුමය
කෘතිය 'කාලය' සඟරාවේ පළ වූ ලිපිවල එකතුවකි. මෙම භික්ෂූහු නිදහස් අධ්‍යාපන
වැඩපිළිවෙළට සම්පූර්ණ සහය දුන් අතර, ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ඉල්ලා සිටියහ.
මහායාන පරමාදර්ශයන්ගෙන් හා මාක්ස්වාදී දර්ශනයෙන් පෝෂණය වී සිටි වල්පොළ රාහුල හිමියෝ
එතෙක් සංඝ සමාජයේ නොවිසඳුණු ගැටලුවක් භික්ෂුවගේ උරුමය නැමැති කෘතිය තුළින් විස¼දීමට
සමත් වූහ. භික්ෂුවගේ ක්ෂණික නිශ්ටාව නිර්වාණය නොවන බවත්, එය අනාගතයට කල් දැමු
නිශ්ටාවක් බවට පත්ව ඇති බවත් පෙන්වා දෙනු ලැබී ය. බලය, දේපළ පාලනය කිරීම, ගිහි
සමාජය හා සම්බන්ධතා පැවත්වීම යනාදී ලෞකික තත්ත්වයන් තුළ නිර්වාණ ඉලක්කය පස්සට දමා
ඇති අතර, ඍජු සම්බන්ධතාවක් පවතී. එය ලාංකේය සංඝ සමාජය තුළ දක්නට ලැබෙන ප්‍රායෝගික
යථාර්ථයකි. මෙම පරිවර්තනය න්‍යායික ව විග්‍රහ කිරීමට රාහුල හිමියන් ගත් උත්සාහය
සාර්ථක එකක් විය.
එමෙන් ම ශ්‍රී ලාංකේය ජාතියේ නිදහස උදෙසා ජීවිතයෙන් වන්දි ගෙවා වටිනා ආදර්ශයන් අප
වෙත ඉතිරි කළ පූජනීය කුඩාපොළ ශ්‍රී රාහුල හිමිපාණන් දැයෙන් සමු ගෙන වසර 177ක්
සපිරෙන, යටත් විජිත ආක්‍රමණයේ මතවාදි සතුරු බල මුලු උදෙසා වාග් සංග්‍රාමයන් දියත්
කළ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමිපාණන් පානදුරා වාදය පවත්වා වසර 152ක් සපිරෙන
ඓතිහාසික අගෝස්තු 26 වැනි දින ජාතික භික්ෂු දිනයේ අප හැමෝගෙම ප්‍රාර්ථනාව විය යුතු
වන්නේ නිදහස් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සිතූ පැතූ ලේ දහඩිය කඳුලු කැප කළ සැමගේ
අපේක්ෂාව මුදුන්පත් කර දීමට පටු ජාති භේද, ආගම් භේද, පළාත් භේදවලින් තොරව
සුපිරිසුදු සුවපත් සමාජයක් නිර්මාණය කර ගැනීමට හැකි වේවා'යි යන්නයි. |