[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගුණ අමතක කර නැණ පමණක් දී සමාජය යහපත් කරන්න අමාරුයි - ශාස්ත්‍රපති බදුල්ලේ නිඛිල හිමි

දැනුම පිපාසිත සමාජයක, දැනුම හඹා යන වටපිටාවක මානුෂීය ගුණධර්ම ගිලිහී යන බවට සමාජයෙන් ම චෝදනා නැඟෙනවා. එවැනි වාතාවරණයක, මවුපිය දූ දරු ඇතුළු මානව සබඳතා අතර හිඩැසක්, දුරස්ථ බවක් නිර්මාණය වීම වැළැක්විය නොහැකියි. මේ හිස්තැන පුරවන්නට නම් වැඩිහිටි සමාජයට විශාල වගකීමක් පැවරෙනවා. මේ ඒ පිළිබඳ හොරණ, කුඩාඋඩුව නාලන්දා විශ්වවිද්‍යා පීඨයේ පරිවේනාධිපති ශාස්ත්‍රපති බදුල්ලේ නිඛිල හිමියන් සමඟ කළ සාකච්ඡාවකි.

ස්වාමීන් වහන්ස, දැනුමට බුද්ධියට පමණක් මුල්තැන දෙන පරිසරයක මිනිසුන්ගේ සංවේදී බව ගිලිහී යනවා. ගුණධර්ම හීන වන ස්වභාවයක් නිර්මාණය වෙනවා. එය රටක අනාගතයට බලපාන්නේ කෙසේද?

කෙනකුට බුද්ධිය ලැබෙන්නේ ජීවිතයේ අත්දැකීම් මඟින්. මේ ජීවිතයේ වෙන්න පුළුවන්. සසර පුරාවට වෙන්නත් පුළුවන්. හැකියාව, දක්ෂතාව, කුසලතාව ආදී බොහෝ දේ බුද්ධියට බලපානවා. එතකොට බුද්ධිය මුවහත් කිරීමේ, මටසිලිටු කිරීමේ මෙවලමක් ලෙස දැනුම පරිහරණය කරන්නට පුළුවන්.

සාමාන්‍යයෙන් බුද්ධිමත් කෙනකු තුළ අර්බුද ගොඩනැඟෙන්න විදිහක් නෑ. ඒත් දැනුම් මට්ටමෙන් ඉහළ තැනක සිටින කෙනෙක් වුණත් අර්බුදකාරී වෙන්න පුළුවන්. දැනුම තිබුණට ආදරය, කරුණාව වැනි උසස් මානුෂීය ගුණධර්ම නොවේ නම් ඔවුන් ගන්නා තීරණ බුද්ධිමත් නෑ. ඇත්තටම අද දැනුම්වත් කියන ඇතැම් පිරිස් යම් ප්‍රශ්නයක දී මුහුණදෙන ආකාරය බැලුවාම ඔවුන්ගේ දැනුම කොතැන ද කියන එක අවට සිටින පිරිසටත් ප්‍රශ්නයක්. ඒනිසා පාසල් අවධියේ ලබන අධ්‍යාපනයේ සිට සතා සීපාවට, ගහට කොළට, ඇළට, දොළට තමන් ජීවත්වන පරිසරයට, ජීවී අජීවී සියල්ලට ආදරය කරන්න. කරුණාව දක්වන්න පුරුදු කරන්නට ඕනෑ. අපේ බුදු දහමත් එක්ක බැඳුණු අධ්‍යාපනය තුළ මේ සියලු ගුණාංග අන්තර්ගතයි. එහෙත් වත්මන් අධ්‍යාපන ක්‍රමවේදය ගුණ අමතක කොට නැණ පමණක් ලබා දෙන බවකුයි බොහෝ තන්හි පෙනෙන්නට තිබෙන්නේ. එහි ප්‍රතිඵලය ඉදිරි සමාජයට ඉතා කටුක ලෙස යි අත්දකින්නට සිදු වන්නේ.

ළමයින්ගේ දැනුමත් එක්ක සංවේදී දරුවන් බවට පත් කරන ක්‍රමවේදයක දැඩි අවශ්‍යතාවක් අප හමුවේ තිබෙනවා. පාසල වගේම පවුලත් ඒ වගකීමට වගවිය යුතුයි. එහෙම නොවුණොත් අම්මට තාත්තට සලකන, වැඩිහිටියන්ට ගරු කරන, තමන් ගැන වගේම අනුන් ගැනත් හිතන, අනුන්ගේ දුක හඳුනන, ඉවසීම ඇති, සංවේදී ළමයෙක් නිර්මාණය වෙන්නේ නෑ. ඒ තුළ මානව සබඳතා අතර හිඩැස තවත් වර්ධනය වනවා මිස, සමාජ ගැටලු උද්ගත වනවා මිස මිනිසත් ගුණ අගයන, සරලව ම කියනවා නම් මනුස්සකම තිබෙන මිනිසෙක් බලාපොරොත්තු විය නොහැකියි.

ඒ මානුෂීය වටිනාකම් රැක ගැනීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ තුළ ළමා හා තරුණ පරපුර පිළිබඳ ව වැඩිහිටියන්ගේ ආකල්පය කෙබඳු විය යුතු ද?

පවුල් ප්‍රශ්න, සමාජ ප්‍රශ්න බොහොමයක් නිර්මාණය වන්නේ ඔවුනොවුන් තේරුම් ගැනීමේ ඇති දුර්වලතාව නිසයි. ඒ, ඒ වයස් කණ්ඩායම් සිතන පතන ආකාරය තේරුම් නොගැනීම නිසයි.

විශේෂයෙන් තාරුණ්‍යය කියන්නේ ජීවිතයේ අපූර්වතම කාලයයි. ලංකාවේ නම් වයස අවුරුදු දහ අටත්, විසි නවයත් අතර කාලය තමයි තරුණ කාලය හැටියට පිළිගන්නේ.

ගැටයා, ගැටවරයා, තරුණයා, තරුණිය, යෞවනයා, යෞවනිය ආදී වශයෙන් තාරුණ්‍යයට පර්යාය පද රාශියක් තිබෙනවා. මේ වචනවලින් අර්ථවත් වන්නේ ම ජවසම්පන්න බවයි. නව්‍ය බව හා කාර්යශූර බවයි. ඕනෑම ආයතනයක පැවැත්මට, දියුණුවට, නැඟීමට මේ තරුණ ජවය බලපානවා.

ඒ වගේම තාරුණ්‍යය කලබලකාරියි. නොරිස්සුම් ස්වභාවයෙන් යුතුයි. මේ සියල්ල සමබර කරගෙනයි තරුණයා කියන කෙනා අප තේරුම් ගත යුතු වන්නේ.

මෙහිදී ළමා පරපුරට ලස්සන තාරුණ්‍යයක් ළඟා කර දෙන්නේ කොහොමද, තාරුණ්‍යය සතුටින් පවත්වා ගන්නටත්, සම්පතක් ලෙස ආරක්ෂා කරගන්නටත් අපි කොහොමද කටයුතු කරන්නේ කියන ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු සොයා ගැනීම ඉතා ම වැදගත්, සමාජමය වශයෙන් වගේ ම ධර්මානුකූලව මේ දේවල් කල්පනා කරන්නට ඕනෑ.

ස්වාමීන් වහන්ස, තමන්ගේ දරුවන් තමන් සිටින තැනින් අඩියක් හෝ ඉදිරියට ගෙන යන්නට බොහෝ මවුපියන් අපමණ වෙහෙසක් දරනවා. ඒත් සමහර දරුවන් නොමඟ යනවා. සමාජයට කරදරකාරී වනවා. එසේ වන්නේ ඇයි?

කිසිදු හැඩයක් නැති මැටි පිඩකින් විවිධ ප්‍රයෝජන ගතහැකි උපකරණ, විසිතුරු නිමැවුම් කරන්නට පුළුවන්, තමන් කැමැති ලෙස මටසිලිටු හැඩයක් දෙන්නට පුළුවන් එය වියළීමට පෙරයි. අපේ දරුවොත් ඒ වගේ. විවිධ ඇබ්බැහිවීම් නිසා, අයහපත් ගතිගුණ නිසා ළමා කාලය වියළී යන්නට පෙර ඔවුන් රැක ගත යුතුයි. තමන්ට වැඩදායක වන ලෙස, සමාජයට අර්ථයක් වන ලෙස ඔවුන් හසුරුවා ගත යුතුයි. මනා ආදර්ශය, රැකවරණය, සොයා බැලීම, මෙහෙයවීම තුළ වියළෙන්නට පෙර, ඉරිතැළී යන්නට පෙර ඔවුන්ගේ ජීවිතය ම ක්ෂේම භූමියක් කරන්නට මවුපියන්, වැඩිහිටියන් ළමා පරපුරට සවියක් විය යුතුයි.

එලෙස මවුපියන්ගේ කාර්යභාරය නිසියාකාර ව සිදු වුණා නම් කවදාවත් ඒ මවුපියන්ගේ දරුවෝ තමන්ගේ ජීවිතය අනාථ කර ගන්නේ නෑ. පිරිහීමට පත්කර ගන්නේ නෑ.

ප්‍රධානම දේ තමයි දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම හා ඒ පිළිබඳ පසු විපරම. ඒ තුළයි හෙට දවසේ ඔවුන්ගේ ජීවනෝපාය තීරණය වන්නේ. රටට ලෝකයට කරදරයක් නොවී, අනුන්ට අත නොපා ජීවත් වන්නට පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගන්නට හැකි විය යුතුයි. එය මානසික තෘප්තියට බලපාන මූලිකම සාධකයක්.

අද බොහෝ දෙනෙක් ජීවත් වීමට මහා සටනක නිරත වනවා. උදේ සිට රෑ වන තුරු ඇතැම් අය රැකියාවක නිරත වෙනවා. මේ කාර්යබහුල බව තුළම තමන්ගේ දරුවන්, නිවෙස මඟහැරෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න වේවා, පවුල් ප්‍රශ්න වේවා මේ කිසිවක් නිසා දරුවන්ට තමන්ගේ අවධානයෙන් ගිලිහෙන්නට දීම හොඳ දෙයක් නොවෙයි. ළමයා කරන කියන දේ, ඇසුරු කරන අය, ගැන මවුපියන්ට හොඳ අවබෝධයක් තිබෙන්නට ඕනෑ. නරකට යොමු වුණොත් පවුලට විතරක් නෙමෙයි ගමට, රටට, මුළු මහත් සමාජයට ම ඒ දරුවාගේ බලපෑම කරදරකාරී වන්න පුළුවන්.

මේ නිසා දරුවන්ට සමීප වීම ඉතාම වැදගත්. පුංචි දරුවන් පමණක් නොවෙයි, තරුණ දරුවන් ද අත්නොහැරිය යුතුයි. ඔවුනොවුන්ගේ ප්‍රශ්න, ගැටලු, දුක, සතුට බලාපොරොත්තු, ඕනෑ එපාකම්, අදහස් උදහස් බෙදා හදා ගන්න තැනට මවුපිය දූ දරු සම්බන්ධතාව සමීප විය යුතුයි. දෙපිරිස ම ඔවුනොවුන්ට කලණ මිතුරන් විය යුතුයි.

අපේ බුදුරජාණන් වහන්සේ මවුපියන් දරුවන්ටත්, දරුවන් මවුපියන්ටත් කටයුතු කළ යුතු ආකාරය ඉතා අපූර්ව ලෙස දේශනා කොට තිබෙනවා. ඒ දහම් මඟ යමින් ජීවිතය ගොඩනඟා ගන්නට හැකි නම් පවුල තුළ සැමදාමත් සතුට ආරක්ෂා කර ගන්නට පුළුවන්. තමන්ගේ ජීවිතය වටිනාකම්වලින් පුරවා ගන්නට පුළුවන්.

ගැටලුව ධර්මය ගැන අවබෝධය තිබුණත්, ජීවිතයට ප්‍රායෝගික කර ගන්නට උත්සාහ නොගැනීමයි. විශේෂයෙන් පාසල, දහම් පාසල, පවුල කියන මේ අංශ තුන විධිමත් ක්‍රමවේදයක් තුළ ළමයා හසුරුවා ගන්නට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක්.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 07 ඉරිදා පූ.භා 01.40 පුර පසළොස්වක ලබා
එදිනම අ.භා.11.37න් ගෙවේ.
07 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]