[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සමාජ මාධ්‍ය යෝනිසෝ මනසිකාරයෙන් භාවිත කරන්න

සමාජ මාධ්‍ය ජාලා කර තබාගෙන යාමට නොවේ

තාක්ෂණය දියුණු වීමත් සමග අපට එකතු වූ දෙයකි සමාජ මාධ්‍යය. සමාජ මාධ්‍යය (Social Media) යනු අන්තර්ජාලය ඔස්සේ අයෙකුට තවත් අයෙකු සමඟ අන්තර් ක්‍රියාකාරී ව සන්නිවේදනය කිරීමට, තොරතුරු හුවමාරු කිරීමට, අන්තර්ගතය නිර්මාණය සහ බෙදාගැනීමට ඉඩ සලසන ඩිජිටල් වේදිකාවන් හෝ යෙදුම් (Applications) එකතුවක් වේ.

සමාජ මාධ්‍ය භාවිතයේ බොහෝ වාසි සේම අවාසි ද වෙයි.

වේලාව නාස්ති වීම බොහෝ දෙනා සමාජ මාධ්‍යයට ඇලී සිටින නිසා අධ්‍යාපනික, වෘත්තීයමය සහ පෞද්ගලික කටයුතු සඳහා යෙදිය යුතු වේලාව අපයෝජනය වේ.‍ නිජතා භංග වීම (Privacy Issues) අපගේ පුද්ගලික තොරතුරු හෝ පින්තූර හරහා හෝ අයත් නොවන පුද්ගලයන්ට අපගේ ජීවිතය පිළිබඳ විස්තර දැන ගැනීමක් ඇති වේ. එමඟින් වංචාවන්ට හසු විය හැක.

මනෝවිකාරය හා මානසික ආතතිය (Mental Health Problems)

සමාජ මාධ්‍යයෙහි ආරෝපිත “සාර්ථකත්වය”, “සුරූපතා” වැනි සංකල්ප හේතුවෙන් ඕනෑම වයසක පුද්ගලයකුට මානසික ආතතිය, ඍණාත්මක හැඟීම්, depression  වැනි ගැටලු ඇතිවිය හැක. ව්‍යාජ තොරතුරු (Fake News) සමාජ මාධ්‍ය හරහා අසත්‍ය පුවත්, කුසලතා රහිත උපදේශ, ව්‍යාජ ප්‍රචාර ව්‍යාප්ත වීම වඩාත් පහසු ය. මෙය සමාජයේ බිඳවැටීමට හේතු වේ. අධ්‍යාපනයට හානි (Negative Impact on Education) විශේෂයෙන් ම ළමයින් සහ තරුණයින් සමාජ මාධ්‍යට ඇලී සිටීම හේතුවෙන් උගත්මය කාර්යසාධනය පහළ යා හැක. නරක සමාජ සම්බන්ධතා සමාජ මාධ්‍යය තුළ (අන්තර් ජාලය හරහා තර්ජන, අපහාස) සහ අනිත් අයෙකුගේ මත පැහැදිලිත්වය හරහා ආරවුල් ව්‍යාප්ත වේ. ඇබ්බැහි වීම (Addiction) Facebook, Instagram, TikTok  වැනි platform ඇබ්බැහි වීම, පුද්ගලයකුගේ නිෂ්පාදනශීලීතාවයට, සමාජ සබඳතාවලට දැඩි ව බලපානු ඇත.

සමාජ මාධ්‍ය භාවිතයෙන් ලද හැකි වාසි ලබා ගැනීමටත්, අවාසි මඟහැරවීමටත් ගත හැකි ක්‍රියා මාර්ග රාශියක් වෙයි. කාලසීමාවක් නියම කර ගන්න.

සමාජ මාධ්‍යය භාවිතයට නියමිත වේලාවක් වෙන්කර ගන්න.මිතුරන් හා සන්නිවේදනයෙන් පසු විශේෂයෙන් අධ්‍යාපන, වැඩකටයුතුවලට මුලිකත්වය දෙන්න.

දිනකට පැයකට, දෙකකට වඩා වැඩියෙන් සමාජ මාධ්‍ය භාවිත නොකිරීම. පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න (Protect Your Privacy)  ඔබගේ පුද්ගලික තොරතුරු, වාසස්ථානය, දුරකථන අංකය වැනි දේ සමාජ මාධ්‍යයෙහි පළ නොකරන්න.

අධ්‍යාපනික හා වෘත්තීයමය අන්තර්ගතයන්ට අවධානය යොමු කරන්න කධභඊභඡඥ, ජ්චජඥඡධධඬ ට්පධභනඵ වැනි නතචබටධපථ භාවිතයෙන් අලුත් දැනුමක් ලබාගන්න. ඔබේ වෘත්තීය ම ය හෝ අධ්‍යාපනික ඉලක්කවලට උදව් වන අන්තර්ගතයන් පමණක් බලන්න. නරක අන්තර්ගතයන්වලට යටවීම වළක්වන්න. අසත්‍ය පුවත්, අසභ්‍ය වීඩියෝ, මනාපය තිළිණ කරන ලිපි, ව්‍යාජ ප්‍රචාරවලින් වළකින්න.

මේවා වාර්තා කිරීමත්, නිරාකරණය කිරීමත් කරුණාවෙන් කරන්න. මානසික සෞඛ්‍යය රැක ගන්නට සමාජ මාධ්‍යයෙහි දැක්වෙන ජීවිත විඳීම “සත්‍යය” නොවන බව හැමවිට ම මතක තබා ගන්න. වෙනත් අයකුගේ ජීවිතය හා ඔබේ ජීවිතය සැසඳීමෙන් වළකින්න. පොත් කියවීම, කලා, ක්‍රීඩා වැනි ක්‍රියාකාරකම්වලට යොමු වන්න. ව්‍යාපාර හා නිර්මාණාත්මක කටයුතු සඳහා භාවිත කරන්න. ඔබේ කුසලතා, නිෂ්පාදන හෝ සේවා සම්බන්ධයෙන් ලෝකයට පෙන්වන්න. මේ තත්වයන් ලබා ගැනීම සමාජ මාධ්‍ය භාවිතයේ වාසි වෙයි.

සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධ යම් ශික්ෂණයක් ගොඩනඟන ප්‍රතිපදාවක අවශ්‍යතාව වර්තමාන සමාජය තුළ ප්‍රකට කරයි.

මේ සඳහා අප බෞද්ධ ප්‍රතිපදා අනුගමනය කිරීම වැදගත් වේ. මේ සම්බන්ධ ව කදිම උපදේශයක්

අලගද්දූපම සූත්‍රය තුළ දක්නට ලැබෙයි. එහි දැක්වෙන්නේ නයකු අල්ලා ගන්නට අවශ්‍ය කෙනකු නයාගේ වල්ගයෙන් අල්ලා ගහහොත් එසේ නැති නම් නයාගේ මැදින් අල්ලා ගතහොත්, නයා ඔහුට දෂ්ට කරයි. ඒ නිසා මරණය පවා සිදු විය හැකි ය. නයාගේ හිසින් අල්ලා ගතහොත් එසේ දෂ්ට කිරීමට අවස්ථාවක් නැත.

මේ අයුරින් සමාජ මාධ්‍ය ජාලා නිවැරැදි ලෙස අල්ලා ගැනීම වැදගත් වේ. නිසි අයුරින් අල්ලා නොගත්තොත් එහි දැක්වෙන අවාසි සහගත දේ පමණක් ලැබීමෙන් පුද්ගලයා විනාශ වෙයි.

එමෙන් ම එහි තවත් එක් නිදසුනක් ඇත. ගඟකින් එතෙර වන්නට කෙනකු දැව එකතු කොට පහුරක් තනා ගනියි. ඔහු එම පහුරෙන් ගඟින් එතෙර වෙයි. අනතුරුව ඔහු පහුරත් කර තියාන යන්නේ නම් ඔහු මෝඩයකි. පහුර තියෙන්නේ එතෙර වීමට මිස කර තියාගෙන යාමට නොවේ. එසේම මාධ්‍යජාලා තිබෙන්නේ ඒවාට වහල් වීමට නොව අවශ්‍ය කටයුත්ත කරගෙන ඉන් බැහැර වීමටයි. වරද ඇත්තේ එය කර තියාගෙන යාමයි.

සමාජ මාධ්‍ය යනු කාම වස්තුවකි. සියලු ඉඳුරන් පිනවන සියලු අරමුණු එහි දක්නට ලැබේ. කාම වස්තු දෙස බුදු දහම බලන්නට පොළඹවන්නේ යම් සංකල්පනා කිහිපයකට අනුවයි. එය බිය ජනකයි.ශූන්‍යයි. පිලිකුල් සහගතයි. නිත්‍ය නොවේ අනිත්‍යයි. දුකයි. අනාත්මයි.

සමාජ මාධ්‍ය පිළිබඳව ද මේ අයුරින් දැකීම සුදුසු ය. එසේ දකින විට ඒ පිළිබඳ ව දැඩි බැඳීම් ඇති නොවේ. එසේම බුදු දහම යම් දෙයක නරක අතහැරීම සදහා භාවිත කරන තව ක්‍රමවේදයක් වෙයි. ආස්සාද (එහි පවතින ආස්වාදය දැකීම,) ආදීනව (එයින් ලැබෙන ප්‍රතිවිපාකය දැකීම) නිස්සරණ (එය අත හැරීම) සමාජ මාධ්‍යයෙහි අනිසි ප්‍රතිවිපාක බැහැර කොට නිසිඵල ලබා ගැන්මට මෙම ක්‍රමවේදය වැදගත් වෙයි.

යෝනිසෝ මනසිකාරයෙන් නැතහොත් එළඹි සිහියෙන් කටයුතු කිරීම ද වැදගත් වේ. සතර සතිපට්ඨානයෙන් යුතු ව දවස ගත කරයි නම් සමාජ මාධ්‍ය භාවිත කිරීමේ දී මා කරන දේ අර්ථවත් ද? දැනුමක් ලබා දෙනවා ද?, මේ තුළින් මගේ සිත තුළ නරක කෙලෙස් උපදිනවා ද? , මෙය ධර්මානුධර්ම ප්‍රතිපදාවට ගැළපෙනවා ද , ආදි ලෙස තමන් තුළින් ම ප්‍රශ්න කර ඊට නිවැරැදි විසඳුම් ලබා ගත් කල සමාජ මාධ්‍ය අර්ථාන්විත ව භාවිත කළ හැකි ය.

අනෙක් ක්‍රමවේදයක් ලෙස මධ්‍යම ප්‍රතිපදාව හඳුන්වා දිය හැකි ය. අන්තයට ගිය කල සියල්ල තුළින් ලැබෙන ප්‍රතිවිපාකය හානි කර වේ. සමාජ මාධ්‍යය භාවිතයේ දී මධ්‍යස්ථ වීම වැදගත් වේ. එමෙන් ම මධ්‍යම ප්‍රතිපදාව තුළ දැක්වෙන අංග අට භාවිත කරන්නේ නම් එම ක්‍රම වේදය ද මෙහිලා වැදගත් වේ. සංවරය ඉතා වැදගත් ය. මෙහි දී සීල ගුණ පිරීම වැදගත් ය. සීල, සමාධි, ප්‍රඥා යන ශික්ෂණය ගොඩනඟා ගැනීම බුදු දහමෙහි මූලික පරමාර්ථය වෙයි. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම සිදු කළ යුතුයි.

දේව ධර්මය ලෙස සැලකෙන ලජ්ජා, භය දෙක තමා තුළ ගොඩනඟා ගැනීම ද මේ සඳහා සුදුසු ක්‍රමවේදයක් වෙයි. යම් දෙයක් වපුරයි ද. ඒ අයුරින් ඵල ලබයි. යහපත් දේ කළොත් යහපත් ප්‍රතිඵල ලබයි. අයහපත් දේ කළොත් ලැබෙන ප්‍රතිඵලය ද අයහපත් වේ. මේ කර්ම සංකල්පය තම සිත තුළ තිබීම ද සමාජ මාධ්‍යය භාවිතයෙහි දි වැදගත් වේ.

මේ අයුරින් බුදු දහමෙහි දැක්වෙන මූලික සංකල්පයන්ට අනුව සමාජ මාධ්‍ය භාවිත කරයි නම්, එයින් සිදුවන අවාසි බැහැර කොට වාසි ලබා ගත හැකි ය. එහෙයින් සමාජ මාධ්‍යය භාවිතා කරන විට ධර්මානුධර්ම ප්‍රතිපදාව සිත දරා භාවිත කරමු.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 07 ඉරිදා පූ.භා 01.40 පුර පසළොස්වක ලබා
එදිනම අ.භා.11.37න් ගෙවේ.
07 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]