[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බොදු සිතුවම් කලාවේ අමරණීය නාමය සොයිලියස් මැන්දිස්

බොදු සිතුවම් කලාවේ අමරණීය නාමය සොයිලියස් මැන්දිස්

බොදු දනන්ගේ, කලාවට ආදරය කරන මිනිසුන්ගේ ආදරය, ගෞරවය දිනූ සොයිලියස් මැන්දිස් අධ්‍යාපනය ලැබුවේ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේගෙනි. උන්වහන්සේ නාත්තන්ඩියේ විද්‍යාරතන පිරිවෙනෙහි උගැන්වීමෙහි යෙදී සිටි සමයේ සොයිලිස් මැන්දිස් දරුවා උන්වහන්සේ වෙත පැමිණ ඇත.

කුඩා කල සිට ම චිත්‍ර කලාවට ඇල්මක් දැක්වූ හෙතෙම මාවිල, සුමනකුසුමාරාම පන්සලේ චිත්‍ර අඳින ආකාරය ඉතා හොඳින් බලා සිටියේ ය. එහි චිත්‍ර කර්මාන්තය මෙහෙයවන ලද මෙමෝනිස් ද සිල්වා කලාකරුවාණන් සොයිලියස් මැන්දිස් හට ගුරු හරුකම් ලබාදුන් චිත්‍ර ගුරුවරයා විය.

සොයිලියස් මැන්දිස් කලාකරුවාණන්ගේ චිත්‍ර කලා ජීවිතයේ සන්ධිස්ථානයක් සටහන් වන ගිරිඋල්ල මැද්දෙපොළ ශ්‍රී සුන්දරාරාමයේ වර්ෂ 1918 දී අඳින ලද සිතුවම් සමූහයක් ද, පසුකාලීන ව භාරතයට ගොස් බෞද්ධ චිත්‍ර සම්ප්‍රදාය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයෙන් පසු නිර්මාණය කරන ලද චිත්‍ර සමූහයක් ද දැකගත හැකි ය.

විශේෂයෙන් බුද්ධ චරිතය හා සම්බන්ධ සිදුවීම් බෝසතාණන් වහන්සේගේ සූවිසි විවරණය, අටවිසි බුදුරජාණන් වහන්සේ සහ ජාතක කතා නිරූපණය කර තිබේ. සත් සතිය, මහාමායා දේවිය දුටු සිහිනය, සිද්ධාර්ථ කුමාර දර්ශනය, වප්මඟුල, කේසච්ඡේදනය බ්‍රහ්මාරාධනාව ද සිතුවමට නඟා තිබේ.

චිත්‍ර කලාව තම ජීවිතයට බද්ධ කරගත් එතුමා උඩුබද්දාවේ ශිලා පොක්ඛරණි විහාරය, පොලොන්නරු ජයමහා විහාරය ආදී විහාරවලද චිත්‍ර කර්මාන්තය සිදුකරමින් බෞද්ධ සිතුවම් රැසක් ජාතියට දායාද කරන්නට විය.

පසුකාලීනව මල්වාන ලෙනගම්පොළ විහාරයේ ද චිත්‍ර නිර්මාණ කටයුතු එතුමන් විසින් සිදුකරන ලදි.

සොයිලියස් මෙන්දිස් මැතිතුමන් කැලණි රාජමහා විහාරයේ චිත්‍ර නිර්මාණය සඳහා දායක වූයේ 30 - 40 දශකවලදී ය. එකල විහාරයේ චිත්‍ර නිර්මාණයට විදේශීය ශිල්පීන් ගෙන ඒමට බොහෝ දෙනා කැමැත්ත පළ කළහ. ඒ අනුව ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී නන්දලාල් බෝස් මහතාට ආරාධනා කර ඇත. ලංකාවට පැමිණි එතුමා සොයිලියස් මැන්දිස් මැතිතුමාගේ චිත්‍රයක් දුටු විට මෙතරම් දක්ෂ චිත්‍ර ශිල්පියකු ලංකාවේ සිටියදී තමා ගෙන්වා ගත්තේ ඇයි දැයි විමසා ඇත. ඒ අනුව කැලණි විහාරයේ සිතුවම් කිරීමට උචිත පුද්ගලයා සොයිලියස් මැන්දිස් බව ප්‍රකාශ කරන ලදි.

මෙරට අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන සායම් සකස් කරගෙන, මහත් පරිශ්‍රමයක් දරා අප්‍රතිහත ධෛර්යයෙන් යුතු ව මෙම කර්තව්‍යය අරඹන ලදී. මීට පෙර විජයවර්ධන පවුලේ අනුග්‍රහය මත ඉන්දියාවට ගොස් අජන්තා, ඇල්ලෝරා සහ භාග් ලෙන් සිතුවම් නිරීක්ෂණය කර ලබාගත් අභාෂයෙන් ද යුතු විය.

කැලණි විහාරයේ නව විහාරගෙය තුළ නිර්මාණය කරන ලද චිත්‍ර අතර බුද්ධ චරිතයේ සුවිශේෂී සිදුවීම්, තථාගතයන් වහන්සේගේ ප්‍රථම, දෙවන සහ තෙවනවර ලංකාගමනය පිළිබඳ සිතුවම්, ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිද්ධීන් චිත්‍රයට නඟා ඇත. එම චිත්‍ර ‘මහියංගණය’, ‘නාගදීප’ ‘කල්‍යාණ’ වශයෙන් ඇතුළු විහාරගෙයි වටයට දක්වා තිබේ. දිවාගුහං වශයෙන් දක්වන ලද චිත්‍රය ද මනස්කාන්ත, සිතේ ශ්‍රද්ධාවක් ජනිත වන අන්දමට නිමවා තිබේ.

දන්ත කුමරු හේමමාලා කුමරිය සමඟ කළිඟු රට සිට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩමවන චිත්‍රය වර්තමානයේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රයකි. මෙම චිත්‍රය බොහෝ විහාරස්ථානවල, නිවෙස්වල ප්‍රතිනිර්මාණය කර ඇති අන්දම දක්නට හැකි ය. එමෙන්ම සංඝමිත්තා මෙහෙණින් වහන්සේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම කරවීමේ සිතුවම ද සුවිශේෂ වෙයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් වැලිවිට අසරණ සරණ සරණංකර සඟරජ හිමිපාණන් වහන්සේට සඟරජ පදවි පිරිනැමීම ද කැලණි විහාර සිතුවම් අතර දක්නට ලැබේ.

මාදම්පේ සේනානායකාරාමය, කොළඹ නිදහස් මන්දිරය යනාදී ස්ථානවල ද එතුමන් විවිධ චිත්‍ර, මූර්ති නිර්මාණය කරන ලදී.

පසුකාලීන ව අඳ, ගොළු, බිහිරි දරුවන් සඳහා සිව්රාජ අඳ, ගොළු, බිහිරි පාසල නමින් පාසලක් ඇතිකිරීමට ද එතුමා සමත් විය.

ජීවිත කාලයක් පුරා බොදු චිත්‍ර කලාවට කරන ලද අනුපමේය සේවය අගයන වස් වර්ෂ 1970දි එතුමන් හට ‘කලාගුරු’ යන ගෞරව නාමය පුද කරන ලදි.

කැලණි චිත්‍ර පිටපත් සංරක්ෂණය කිරීමටද උනන්දු වූ එතුමා එවක සංස්කෘතිය අමාත්‍යවරයාගේ සහාය මත එම චිත්‍ර පිටපත් ලේඛනාගාරයට භාරදෙන ලදි.

වර්ෂ 1975 දී එතුමන් රෝගාතුර වී එම වර්ෂයේ සැප්තැම්බර් මස 1 වන දින අභාවප්‍රාප්ත වන විට වයස අවු. 80 පසුවිය. මේ සටහන එතුමන්ගේ 50 වැනි ගුණානුස්මරණය නිමිති කරගෙන එවන් ශ්‍රේෂ්ඨ කලාකරුවකු සතු විශිෂ්ටත්වය ආවර්ජනය කිරීම සඳහාය.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 07 ඉරිදා පූ.භා 01.40 පුර පසළොස්වක ලබා
එදිනම අ.භා.11.37න් ගෙවේ.
07 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]