[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සුභාෂෝදය දහම් පාසල් සියවසක අභිමානය

සුභාෂෝදය දහම් පාසල් සියවසක අභිමානය

සුධර්මාරාම පුරාණ විහාර පරම්පරාව ශත වර්ෂ හතරක් තරම් ඈත ඉතිහාසයකට උරුමකම් කියයි. විහාරස්ථ පුරාණ වංශකතාවේ පළමු විහාරස්ථානය ලෙස සනිටුහන් වන්නේ වාද්දුව දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානය යි.

ආරම්භක ආධිපත්‍යය උසුලා වදාළේ දෙල්දූවේ නාගිත මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ය. ඉන්පසු පිළිවෙලින් දෙල්දූවේ සෝභිත, පාතේගම ගුණරතන, පීක්කුලමේ සංඝරතන, කහතුඩුවේ පඤ්ඤාරතන, දෙල්දූවේ ඤාණරතන යන යතිවරයන් වහන්සේ මෙහි ආධිපත්‍යයට පත්වූහ.

රයිගම ඉන්ද්‍රජෝති නාහිමියන් වහන්සේ සහ පොල්වත්තේ ධම්මතිලක නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් 1925 ජුනි 27 වැනි දින සුභද්‍රෝදය තරුණ බෞද්ධ සමිතිය මගින් කටුමැටි ගෙපැලක සුභද්‍රෝදය දහම් පාසල ආරම්භ කළහ. එහි ප්‍රධානාචාර්ය ධුරය ඇල්. ඇස්. ප්‍රනාන්දු මහතා විසින් හොබවන ලදී.

වසර විසිතුනක් පමණ සුභද්‍රෝදය නමින් පවත්වා ගෙන යන ලද තරුණ බෞද්ධ සමිතිය සහ දහම් පාසල සුභාෂෝදය නමින් ව්‍යවහාරයට පත් වූයේ 1948 දී ය. 1949 ජුලි 17 දින වලානේ ශ්‍රී විජය සෞගත විද්‍යාලාධිපති පණ්ඩිත ආචාර්ය වලානේ ශ්‍රී විජයනන්ද හිමියන් ප්‍රමුඛ සිව් නමක් සුභාෂෝදය දහම් පාසලේ ප්‍රථම වාර්ෂික පරික්ෂණ කටයුතු සිදුකර ඇත.

දෙල්දූවේ ඤාණරතන අධිකරණ නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමත් සමග 1950 වර්ෂයේ දී චතුර් විහාරාධ්පති ධූරයට පත් ගොරකානේ පේමරතන නාහිමිපාණන් වහන්සේ විහාර සතරෙහි උන්න්තියට විශාල මෙහෙවරක් කළහ.

1960 වර්ෂයේ දී ඉංග්‍රිසි මාධ්‍යයෙන් දහම් අධ්‍යාපනය ලබා දීමට ඇරඹි සුභාෂෝදය ඉග්‍රීංසි මාධ්‍ය දහම් පාසල ද මෙම වසරේ වසර 65 සම්පූර්ණ කර තිබීම ද සුවිශේෂි අවස්ථාවකි. සිංහල දහම් පාසල මෙන් ම ඉංග්‍රීසි දහම් පාසල වර්තමානය වන විට ඉතා ඉහළ පිළිගැනීමකට ලක්වී 1977 වර්ෂයේ දී පරණගම සෝමාලංකාර අධිකරණ නා හිමියන් පානදුර දිබ්බැද්ද මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරය ප්‍රධාන, චතුර් විහාරස්ථානයන්හි ආධිපත්‍යයට පත්වූහ. මේ වන විට ප්‍රධානාචාර්ය ධූරය ඉසිලූ රාජකීය පණ්ඩිත කරතොට විමලරතන හිමියන් දහම් පාසලේ උන්නතිය උදෙසා කරන ලද සේවය අගය කළ යුතු ය.

1985 වර්ෂයේ දී ශාස්ත්‍රපති බලන්ගොඩ පියනන්ද නාහිමියන් දහම් පාසලේ පාලන අධ්‍යක්ෂ සහ ප්‍රධානාචාර්ය ධූරයන් හොබවමින් දහම් පාසල නඟාසිටුවීම උදෙසා කරන ලද අනුපමේය සේවාව සහ උන්වහන්සේගේ කැපවීම ද ගෞරවයෙන් සිහිපත් කළ යුතු ම ය.

1994 වර්ෂයේ දී අප ගුරුදේවෝත්තම පරණගම සෝමාලංකාර අධිකරණ නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු චතුර් විහාරාධිපති ධුරයත් දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය සහ පාලන අධ්‍යක්ෂ ධූරයත් මා වෙත පැවරිණි.

විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් සුභාෂෝදය දහම් පාසල ආ ගමන් මගෙහි සුන්දර මෙන්ම අසුන්දර තැන් ද නැති ව නොවේ. එහෙත් ඒ සියල්ලට සාර්ථක ව මුහුණ දෙමින් වසර සියයක් වැනි දිගු ගමනක් ඒමට හැකි වීම ඔබ අප හැම දෙනාගේ ම භාග්‍යයකි. බොදු දරුවන් 1200 කින් සහ 66 ක් ඉක්ම වූ ඇදුරු මඬුල්ලකින් සුසැදි අප සුභාෂෝදය දහම් පාසල කටු පඳුරු අතරින් විකසිත වූ සුදෝ සුදු රෝස මලක සුන්දරත්වයෙන් සහ පිවිතුරු බවින් යුතු ව දේශයේ ප්‍රමුඛතම තක්සලාවක් බවට පත්ව ඇත.

වර්තමාන ප්‍රධානාචාර්ය ධූරය හොබවන රාජකීය පණ්ඩිත මීගහකිවුලේ සුමේධ හිමි නියෝජ්‍ය ප්‍රධානාචාර්ය පණ්ඩිත කිරිගල්ලෑවේ සුමිත්ත හිමි දහම් පාසලේ අභිවෘද්ධියට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දෙමින් කරනු ලබන ඇප කැපවීම මෙන්ම නියෝජ්‍ය ප්‍රධානාචාර්ය පණ්ඩිත කිරිගල්ලෑවේ සුමිත්ත හිමි ඇතුළු විහාරස්ථ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ ද දහම් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා කරනු ලබන මෙහෙවර අතිමහත් ය.

අපේ සිසු පරපුර ද අපට ඇති තවත් මහඟු‍ සම්පතකි. එදා මෙදා තුර අප දහම් පාසලේ අධ්‍යාපනය ලබා දිවයිනේ විවිධ ප්‍රදේශවල විසිරී සිටින කීර්තිමත් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ ය. පරිපාලන, වෛද්‍ය, නීති, ඉංජිනේරු, කලමනාකරණ, විදුහල්පති, ගුරු ආදී විවිධ ක්‍ෂේත්‍රවල මුල් පුටුවල සිටින ආදි සිසු දරුවන් අපට ආඩම්බරයකි.

2025 වසරට එළැඹෙන අප දහම් පාසලේ ශත සංවත්සර උළෙල සහ ගෞරව උපහාර මහෝත්සවය 2025 සැප්තැම්බර් මස 28 වැනි දින ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහානායක හිමිපාණන් වහන්සේගේ මුලසුනින්, අමරපුර සිරි සද්ධම්මවංස මහ නිකායේ වැඩබලන මහා නායක අතිපුජ්‍ය රත්මලානේ සිරි සුනිත නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සම්ප්‍රාප්තියෙන් සහ ගෞරවනීය මහා සංඝයා වහන්සේගේ වැඩමවීමෙන් සහ ආරාධිත ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් සුධර්මාරාම පුරාණ විහාරස්ථ සුභද්‍රෝදය ශාලාවේ දී පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිත ය.

සුභාෂෝදය දහම් පාසලේ ශත වන සංවත්සරය සමරණ මේ මොහොතේ අමරපුර සිරි සද්ධම්මවංශ මහ නිකායේ මහා නායක අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ අනුශාසනාවෙන් විහාරස්ථානයේ සහ දහම් පාසලේ අභිවෘද්ධිය උදෙසා යුග මෙහෙවරක යෙදුන ගුරු භවතුන් සහ සෙසු පින්වතුන් වෙත ගෞරව සම්මාන පිරිනැමීමට ලැබීම පිළිබඳ අතිශයින් සතුටට පත්වන අතර මේ සදහා අනුශාසනා කළ, මහ නාහිමිපාණන් වහන්සේ, අනුනාහිමිපාණන් වහන්සේ, මහා ලේඛකාධිකාරී, සම ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට සහ සම්බන්ධ වූ දායක කාරකාදී සියලු‍ පින්වතුන්ටත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

බොදු පිළිවෙතින් පෙළ ගැසුන දැහැමි ළමා පරපුරකින් සන්නද්ධ වූ අද්වීතීය දහම් පාසලක් ලෙසින් ජය ධජ නඟන්නට, තවත් සියවස් ගණනාවක් යෙහෙන් වැජඹෙන්නට සුභාෂෝදය දහම් පාසල් මව්න්ට හැකි වේවා ! යන්න අපගේ උත්තම ප්‍රාර්ථනය යි.


සුභාෂෝදය සිය වසරක ගමන් මඟ ප්‍රශංසනීය යි

කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරළයේ පානදුර විජයභුමිය ලෙස විරුදාවලිය ලත් දිබ්බැද්ද මොරවින්න ගම් පියසෙහි පිහිටි අප අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ සම්භාවිත පූජනීය ස්ථානයක් වන ශ්‍රී සුධර්මාරාම වෙහෙර බිම ශත වර්ෂ සතරකට ආසන්න අතීතයකට උරුමකම් කියන බොදු බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ රමණීය ශෝභමාන පුජා භූමියකි.

මෙම පුණ්‍යවන්ත පරිශ්‍රයේ දරුවන් කිහිප දෙනෙකුගෙන් අත්පොත් තබා ආරම්භ කළ මෙම දහම් පාසලෙන් දුවා දරුවන්ගේ සාරධර්ම හා පෞරුෂ සංවර්ධනය, සුචරිත වර්ධනය, ආගම ධර්මය ඉගැන්වීම සඳහා ම යොමු වී ඇත.

රාජ්‍ය වර්ෂ 1994 දී තත් විහාරාධිපති අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ අධිකරණ සංඝනායක දෙල්දුවේ සුමන නාහිමිපාණෝ පාලන අධ්‍යක්ෂ හා අනුශාසක පදවියට පත්විම පසුකාලින දහම් පාසලේ නවෝදයේ පෙරමඟ ශක්තිමත් කළ බව කිව යුතු ව ඇත. ආධ්‍යාත්මික හා භෞතික සංවර්ධනය මත මෙම වෙහෙරබිම ශෝභමාන පරිශ්‍රයක් බවට පත්කිරීම, ජාතික ආගමික සමාජයීය අභිවර්ධනය රට දැය සමයට හිතැති වියත් පරපුරක් බිහිකිරීම, ශිෂ්‍ය පිරිස සීඝ්‍ර ලෙස වැඩිවීම , ඊට සමගාමී ව ධර්මාචාරවරුන්ගේ සංඛ්‍යාව 66ක් දක්වා වැඩිවීම, විභාග ජයග්‍රහණ , සිසු නිපුණතා , බාහිර ක්‍රියාකාරකම් තුළින් අද මෙම දහම් පාසල ප්‍රදීපස්ථානයක් බවට පත්ව ඇත.

සුධර්මාරාම පුරාණ විහාරස්ථානය සහ සුභාෂෝදය දහම් පාසල සම්බුද්ධ ශාසනයටත්, මතු පරපුරටත් උත්කෘෂ්ට සේවාවක් ඉටු කරමින් තව සියවස් ගණනාවක් බැබළේවා’යි ! යන්න අපගේ ප්‍රාර්ථනයයි.


දරු පරපුර සුමඟට යොමු කිරීම මහානීය පින්කමක්

රාජ්‍ය වර්ෂ 1924.07.16 වන දින සුභාෂෝදය තරුණ බෞද්ධ සමිතිය පිහිටවනු අතර, එම සමිතියේ අනුග්‍රහයෙන් පොල් අතු සෙවිලි කළ ගොඩනැඟිල්ලක සුභාෂෝදය දහම් පාසල දූ දරුවන් දෙසීයකින් සමාරම්භය සිදුවිය.

දාගැබ්, පිළිම, ආවාස, ධර්මශාලා ගොඩනඟමින් විහාරස්ථානය සංවර්ධනය කිරීම මෙන් ම නිසි දහම් අධ්‍යාපනයක් ලබා දී අපේ අනාගත දරු පරපුර සුමගට යොමු කිරීමේ මහඟු කාර්යය අතීතයටත් වඩා වර්තමානයේ දී සක්‍රිය ව සිදු කළ යුතු බව අප කාටත් පැහැදිලි ව පෙනෙන්නකි.

අපගේ අනාගත පරපුර ගුණ නුවණින් පිරිපුන් පිරිසක් බවට පත් කර ගැනීමේ අභියෝගය සාර්ථක කර ගැනීමට වෙර දැරිය යුතු වෙමු. මේ සඳහා විධිමත් සහ ප්‍රායෝගික මාර්ගය නිසි දහම් අධ්‍යාපනයක් ලබා දීමයි. සුභාෂෝදය දහම් පාසලෙන් එම මෙහෙවර මතුවටත් ඉටුවනු දැකීම අපගේ පරම අභිලාශය යි.

එසේම සියවසක ගමන්මඟේ මේ හා සම්බන්ධ ව කැපවුණු සියලු පිරිස් ද, තම තමන්ගේ ධනය, ශ්‍රමය කැපකරමින් වර්තමානය තුළ සිටින පිරිස ද, අනාගතයට සම්බන්ධවන පිරිසත් මහත් කුසල කර්මයකට දායක වන බව සිහිපත් කරමි.

විහාරස්ථානයත් දහම් පාසලත් මෙම තත්වයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින චතුර් විහාරාධිපති අප අමරපුර සද්ධම්මවංස මහා නිකායේ අධිකරණ සංඝනායක දෙල්දූවේ සුමන නාහිමියන්ට සහ විහාරස්ථ මහා සංඝරත්නයට මාගේ සුභාශිංසනය ද මෙම අවස්ථාවේ පළ කරමි.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 07 ඉරිදා පූ.භා 01.40 පුර පසළොස්වක ලබා
එදිනම අ.භා.11.37න් ගෙවේ.
07 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]