[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහා ප්‍රජාපතී මෙහෙණි පරපුර

මහා ප්‍රජාපතී මෙහෙණි පරපුර

දියණියට, සොහොයුරියට, මාතෘත්වයට ක්‍රිස්තු පූර්ව හයවැනි සියවස තුළ භාරතයේ කිසිදු ආකාරයකින් ආගමික, සාමාජික, දේශපාලන, අධ්‍යාපනික, හෝ ස්වාධීන වශයෙන් අයිතියක් නොතිබුණි.

එපමණක් ද නොව බ්‍රාහ්මණ සමාජය විසින් කාන්තාව අවිශ්වාස කළ යුතු, චපල, දුෂ්ට, මූසල, වංක තැනැත්තියක් ලෙස වේද සාහිතය තුළින් ඒත්තු ගන්වමින් එම මතයන් සර්වබලධාරී දේව ප්‍රකාශ බවට පත් කරන ලදී.

අත්තික්කා ගහේ මල් පිපුණා කියා යමෙක් කීවත්, සුදු කපුටන් හිටියා කීවත්, මත්ස්‍යයින්ගේ පා සටහන් ජලයේ තිබ්බා කියා කීවත් එය විශ්වාස කරන්න, නමුත් ස්ත්‍රිය නම් කිසිවිටෙක විශ්වාස නොකරන ලෙස ඉතාමත් ම අත්තනෝමතික ව සහ පදනම් විරහිත ව කාන්තාව අවිශ්වාස කිරීමට සමාජීය මිනිසුන් බලහත්කාරයෙන් යොමු කිරීමට ද ඔවුන් කටයුතු කරන්නට යෙදුණි. ' ඇයගේ මුහුණ නෙළුම් මලකි, කතා කරන කල්හි ඇයගේ මුව තුළින් ගිලිහෙන වචන සඳුන් කල්කයකි. දිව අගින් මී පැණි වැගිරෙයි. එහෙත් ඇයගේ හදවත හලා හල විෂයෙන් පිරී ඇත'.

යනුවෙන් පවසමින් ඇය සමාජය තුළ දෝෂ දර්ශනයට ලක් කරන්නට ද යෙදුණි. ඇය රාක්ෂියකි, යක්ෂණියකි යනුවෙන් ද කාන්තාව විෂයයෙහි සමාජ මතය අතිශය හීන කරන්නට එවකට බ්‍රාහ්මණ සමාජය විසින් කටයුතු කරන ලදී.

මෙවැනි යුගයක ප්‍රජාපති ගෞතමී දේවිය බුදුන් වහන්සේගෙන් පැවිද්ද සහ කාන්තා විමුක්තිය සමස්ත කාන්තාවන් වෙනුවෙන් අයදින විට බුදුන් වහන්සේ විසින් කාන්තා පැවිද්ද මදකට ප්‍රමාද කළේ සමාජය තුළ ඇයට හිමි විය යුතු ස්ථාවරත්වය හිමි කර දීමට නිසි කාලය පැමිණෙන තෙක් ය. එමෙන් ම ලද බොළඳ සුකුමාල, රූමත් ඇය ගෞරවණීය ව ආරක්ෂා කළ යුතු බැවිනි.

ගැහැනිය යනු උතුම්, ශ්‍රේෂ්ඨ කාන්තාවකි, ඇයට මවක්, බිරිඳක්, සහෝදරියක්, දියණියක්, උපාසිකාවක්, භික්ෂුණියක්, රහත් තෙරණියක් වශයෙන් සමාජයේ ගෞරවනීය තැනක් ලබා දීමට ප්‍රජාපතී ගෝතමී දේවිය විසින් අප්‍රතිහත ධෛර්යයකින් කටයුතු කරන ලදී. එය මල් ඵල ගන්වමින් සුළු මෑණියන්ගේ ආයාචනය සහ ආනන්ද තෙරුන් වහන්සේගේ ආරාධනය අනුව අෂ්ට ගරු ධර්ම සහිත උතුම් ප්‍රවෘජ්‍යාව බුද්ධත්වයෙන් වසර පහකට පසු විශාලා මහනුවර කූඨාගාර ශාලාවේ දී අප තථාගතයන් වහන්සේ විසින් ලබා දෙනු ලැබුවේ බිනර පුන් පොහෝ දිනයේ දී ය.

අඳුරු යුගයක නිමාව සනිටුහන් කරමින් කාන්තා විමුක්තිය ලබා දුන් උතුම් මාසය බිනර මාසය බවට පත් විය.

මෙසේ වනිතාවගේ ශ්‍රේෂ්ඨත්වය මෙන් ම සුපේෂල ශික්ෂාකාමී බව මැනවින් විදහා පෙන්වන පූජනීයත්ව ඒකකය ප්‍රජාපතී මෙහෙණි පරපුරයි.

දඹදිවින් මෙරටට වැඩම කළ සඟමිත් තෙරණිය ඇතුලු දොළොස් තෙරණීහු මෙරට අනුලා දේවිය ඇතුලු පිරිස පැවිදි කොට කාන්තා විමුක්තිය ස්ථාපිත කරන ලද්දේ දේවානම්පියතිස්ස නිරිඳුන්ගේ අනුග්‍රාහකත්වයෙනි. ඉන් අනතුරුව අප ලක්දෙරණ තුළ දහස් ගණන් රහත් භික්ෂුණීහු ද තෙවලා දහමින් පරතෙරට පත්ව සම්බුදු සසුන තුළ විමුක්තිය උදාකර ගන්නට වූහ.

වළගම්බා රජ දවස එම රජුගේ දෙවන අභිෂේකය වන විට මෙරට භික්ෂුණීන් වහන්සේ තිස්දහස ඉක්මවා සිටි බව හා රාජ්‍ය අනුග්‍රහය ලබමින් සියල්ලන්ගේ ම ගෞරව බහුමානයට පාත්‍ර ව සිට ඇති ආකාරය මහාවංශයේ සඳහන් වේ.

භික්ෂුණී ශාසනය පිළිබඳ ව තොරතුරු මූලාශ්‍ර බොහොමයක් නොවුව ද මහාවංශය හා දීපවංශය ආදී ග්‍රන්ථ හා සෙල්ලිපි ආදිය කරණකොට අපට නිගමනය කොට ගත හැක්කේ විමුක්තිලාභී භික්ෂුණී සමාජයක් ශ්‍රී ලංකාව තුළ පැවැති බවයි.

එසේම අනුරාධපුර වැසි භික්ෂුණීන් වහන්සේ විනය සහ අභිධර්මය පරතෙරට වන් බව දීපවංශය දක්වයි. තවද භික්ෂුණීන් දහස් ගණනකට නායකත්වය දරමින් තෙවලා දහමින් පිරිපුන් උත්තරා නම් භික්ෂුණිය ද, රෝහණා නම් භික්ෂුණියක් පිළිබඳව ද දීපවංශය දක්වයි. එසේම ධර්ම විනය පමණක් නොව ශාස්ත්‍රීය මට්ටමේ වෙනත් සේවාවන් මෙන් ම සාහිත්‍ය සේවාවන් ද භික්ෂුණීන් වහන්සේ අතින් සිදු වූ බවට සාධක ඇත.

තව ද තම දේශයේ පමණක් නොව විදේශයන්හි ද ධර්ම ප්‍රචාරක කටයුතු වෙත මුල් වූ භික්ෂුණීන් වහන්සේ පිළිබඳ තොරතුරු චීන ලිපි ලේඛනවල ද දක්වයි. එමෙන් ම කුකුරුමහන්දමන, මැදිරිගිරිය වැනි සෙල්ලිපිවලින් හමුවන තොරතුරු අනුව එවකට භික්ෂුණීන් වහන්සේ වෛද්‍ය සේවාවන්හි ද නිරත වූ බවට පිළිගත හැකි සාධක හමු වේ.

මෙසේ හමුවන බොහෝ සෙල්ලිපි, ග්‍රන්ථ ආදී මූලාශ්‍රගත තොරතුරු මත හැඟවෙන කරුණක් නම් අතීත ලාංකීය භික්ෂුණී සංඝයා ආදර්ශවත්, අරුත්බර දිවි පෙවෙතක් ගත කළ බවයි. කෙසේ වුව ද කල් යත්ම කෙමෙන් භික්ෂුණී ශාසනය සම්බන්ධ මූලාශ්‍රගත තොරතුරු හමු නොවන තරමට ම පත්වන අතර, ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසේ දී ලංකවේ සංචාරය කළ චීන ජාතික පාහියන් භික්ෂුවගේ දේශාටන වාර්තාවේ හෝ මෙහෙණිවරු පිළිබඳ කිසිදු සටහනක් දක්නට නොවීමෙන් ඒ බව සනාථ වේ.

ථූපවංශයට අනුව මුල් කාලයේ දහනවදහසක් පමණ වූ මෙහෙණි සස්න කෙමෙන් වියැකී යන්නේ නොයෙක් කම්කටොලු හමුවේ යන්න බොහෝ සාධක මතින් පැහැදිලි වේ. වළගම්බා යුගයෙන් පසු ලාංකික භික්ෂුණී ශාසනයේ ඇති වූ පසුබෑම කෙමෙන් කෙමෙන් භික්ෂුණී ශාසනය තුරන් වී යාම දක්වා ම වර්ධනය වූයේ විදේශ ආක්‍රමණ, බහුශ්‍රැත භික්ෂුණීන් වහන්සේ විදේශගත වීම, රට අභ්‍යන්තර කැරළි කෝලාහල, බැමිණිතියා මහා සාගතය, දොළොස් දහසක් රහතන් වහන්සේ පිරිනිවීම හා පසුකාලීන ව ඇති වූ සමාජ, ආර්ථික සහ දේශපාලන හේතු ආදී විවිධ සාධක පාදක කොට ගෙන ය.

ඉන් අනතුරුව සමස්ත කාන්තා පරපුරේ විමුක්ති දායිකාව ලෙස 1905 වර්ෂයේ කැතරින් ද අල්විස් මෙනෙවිය සීලමාතාවක් ව උගතමනා බණ දහමින් සුපෝෂිත ව අනේක විධ දුක් ගැහැටයන්ට මුහුණ දෙන වනිතාවගේ දහම් මාවත සුපෝෂිත කරණු පිණිස එවකට බ්ලේක් ආණ්ඩුකාරතුමාගේ අනුග්‍රහය සහිත ව මහත් වූ ශාසනික මෙහෙවරක් සිදු කරන්නට යෙදුණි.

ශතවර්ෂාධික කාලයක් ලක්දිව විවිධ ප්‍රදේශවල සීලමාතාවන් විසින් සිදුකරන ලද සේවාවන් අගයනු වස් අතිපූජනීය උගත් වියත් බහුශ්‍රැත සංඝ පීතෘන් වහන්සේලා සහ ගිහි ප්‍රභූවරුන් එක්ව 1996 සහ 1998 වසරවල ඉන්දියාවේ දී මෙම සීලමාතාවන්ට ශාසනික සාමාජිකත්වය ලබා දීම පිණිස භික්ෂුණී උපසම්පදාව අරඹන ලදී.

දහසක් බාධක කම්කටොළු අතරින් නමුත් තමන් උගත් දැනුමෙන් ලෝකය දහමින් පෝෂණය කරනා මෙහෙණි පරපුරේ අනාගතය සුපැහැදිලි මාවතක ගමන් කරවන්නට විධිමත් මෙහෙණි පිරිවෙන් අධ්‍යාපනයක් දායාද කිරීමට රාජානුග්‍රහය සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශය සහ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව කටයුතු කෙරෙන ආකාරය අතිශයින් ම යෝග්‍යය සහ ප්‍රශංසනීය ය.

මෙම අධ්‍යාපන ආයතන තුළින් අතීත මෙහෙණි සසුනේ ස්වර්ණමය යුගය වූ අනුරපුර යුගයේ වැඩ සිටි මෙහෙණින් වහන්සේලා මෙන් ආධ්‍යාත්මික වශයෙන් ද, තෙවලා දහමින් සුපෝෂිත මෙහෙණි පරපුරක් යළි ප්‍රතිෂ්ඨාපනය වීමට එමඟින් මංපෙත් විවර වී ඇත.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 07 ඉරිදා පූ.භා 01.40 පුර පසළොස්වක ලබා
එදිනම අ.භා.11.37න් ගෙවේ.
07 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]