එංගලන්තයේ රැව් පිළිරැව් දුන් නිර්වාණය පිළිබඳ කතාව
මේ ලෝකය එකම රටක්
ලෝකය මගේ රට
මා එහි රටවැසියෙක්
අප එකම මනුෂ්‍ය සමාජයක්
එකම පවුලක්
අප කවුරුත් ඒ සමාජයේ සාමාජිකයෝ
මගේ දර්ශනය මෙයයි
- බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය
මහානායක මාහිමිපාණන් වහන්සේ -
මම එකල විද්‍යෝදය පිරිවෙණේ උගනිමින් සිටියෙමි. අලුත්කාමර පෙළේ පැරකුම් සමාජයේ පිරිස
1952 අප්‍රේල් නිවාඩුවට දකුණු පළාතේ විහාර වන්දනාවට යාමට තීරණයක් ගෙන ගමන සූදානම්
කරගෙන උදෑසනින් ම පිටත් වූ අප දාවල් දානයට ගියේ බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙණට
ය.
අප අතර වැඩි දෙනාට අවශ්‍ය වූයේ අප කවදාවත් දැක නැති, එහෙත් වැඩි දෙනා නමින් හඳුනන
මහපඬිවරයාණ කෙනකු ලෙස සලකන අතිගරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නායක හාමුදුරුවන් වහන්සේ
දකින්නට මිස දානය වළඳන්නට නොවේ යැයි කීවද වරද නැතැයි සිතමි.
ධර්මානන්ද පිරිවෙණට ගිය අපට එහි වටපිටාවේ කිසිවක් බලන්නට වුවමනාවක් නොතිබුණේ නායක
හාමුදුරුවන් හමුව කතා කරන්නට තිබුන ආසාව නිසා ම ය. බස් එකෙන් බැස්ස බවත් ඉන් පසුව
කෙළින්ම නායක හාමුදුරුවන් වැඩ සිටින තැන වැලිගෙපොල මෛත්‍රී මූර්ති හිමියන්ගෙන් අසා
දැනගත් ඉක්මනින් ම එහි ගිය බවක් මිස මට තවමත් ධර්මානන්ද පිරිවෙණේ කිසිවක් මතක නැත.
මතක ඇත්තේ විශාල පුස්තකාලයක් තුළ නායක හාමුදුරුවන් වැඩ සිටි බව පමණකි. පුස්තකාලයේ
තිබුණ විවිධ පොත පත උන්වහන්සේ කියවූ ඒවා ය.
අපි ගන්න ගන්න පොත උන්වහන්සේ කිසිම ප්‍රමාදයක් නැතිව ‘ආ, ඕකේ තියෙන්නේ මේ කාරණය
ගැනයි. ඒ ගැන ඊට වඩා වෙනස් විදියට මේ මහත්මයා, මේ නායක තෙරුන් වහන්සේ ලියා තිබෙනවා”
ආදී වශයෙන් සෑම පොතක් ගැන ම කියවාදීමට තරම් පොහොසත් වූහ. තරුණ භික්ෂු පිරිසක් වූ අප
එතැනින් පිටව ගියේ පුදුමාකාර හැඟීමක් ඇති කරගෙන ය.
එතැන දී ඇතිවුන ශ්‍රද්ධාව, ප්‍රසාදය, ආගමාලය සහ ජාත්‍යාලය පමණක් නොව ඒ දවස්වල
පැවැති බෞද්ධ උද්‍යෝගය ද්විගුණ, ත්‍රිගුණ කොට ගෙන ය. ඒ කතා කළ මොහොතේ පටන් ම අප සෑම
දෙනාගේ ම සිත්වල ඇති වූයේ අපත් කවදා හෝ උන්වහන්සේ මෙන් උගතුන් විය යුතු ය යන හැඟීම
ය.
උන්වහන්සේ මට දෙවන වර හමුවූයේ එංගලන්තයේ ඔක්ස්පර්ඩ් නුවර පාමුවර් හි පිහිටි
ඔකන්හෝල්ට් බෞද්ධ මධ්‍යස්ථානයේ දී ය.
ඕකන්හෝල්ට්හි වස් වසා සිටි කාලය තුළ නොකඩවා එක්ව සිටිමින් කළ ධර්ම සාකච්ඡාවල දී අපට
උන්වහන්සේ තුළ පැවැති ස්මරණඥානය, සාරාණීය කතාවෙහි බුහුටි බව සහ සාමීචී පටිපදාවෙහි
පරිචිතියත්, කුඩා දරුවකුගේ වැනි නිර්මල, නිරහංකාර ගතියත්, පාණ්ඩිත්‍යයෙහි දී
පඬිවරුන් පණහක, හැටකගේ පාණ්ඩිත්‍යයට සම කළ හැකි විශාරදත්වයක් පමණක් නොව අතිශයින් ම
අහිංසක විහිළු තහළුවලින් ද යුක්ත සමානාත්මතාවාදිත්වයත්, මැනැවින් අවබෝධ කර ගත හැකි
විය.
අඩුපාඩුවක් නැති ව හිනාවිය හැකි තරමේ කතාන්තර, භාවනා කරන්නට ගිය පුද්ගලයන් පිළිබඳ
අත්දැකීම් සහ ඔවුන් පිළිබඳ විවිධ තොරතුරු, තමන් වහන්සේ භාවනා කොට ලත් අත්දැකීම් සහ
හිමාලයට භාවනා සඳහා වැඩම කිරීමේ විස්තර ආදි නොයෙකුත් දේ ගැන අසමින් කාලය ගතකළ අපට
පුදුම දැනුම් සම්භාරයක් ඇති කරගත හැකි වූ අතර මේ කාලය ගතවූයේ දවසකින් දෙකකින් මෙනි.
ඒ වර්ෂයේ අගෝස්තු මාසයේ දි පවත්වනු ලැබූ, ක්‍රිස්මස් හම්ප්‍රිස් විනිශ්චයකාර තුමන්
විසින් මෙහෙයවනු ලබන බුඩිස්ට් සමර් ස්කූල් නමැති බෞද්ධ අධ්‍යයන වැඩමුළුවේ සතියක
වැඩසටහන වෙනදා මෙන්ම හොඩෙස්ඩන්හි ප්‍රධාන පල්ලියේ දි විශාල අන්තර්ජාතික පිරිසක්
සහභාගි වූවකි. එයට සහභාගි වූ ප්‍රධාන ආරාධිත කථිකයා වූයේ අතිගරු ආනන්ද මෛත්‍රෙය
මාහිමියෝ ය. කථාවට මාතෘකාව වශයෙන් ලැබුණේ නිර්වාණය කෙබඳු වූවක් ද යන්න ය.
අමෙරිකාවෙන්, යුරෝපයෙන් සහ ආසියාවෙන් ද, නවසීලන්තය වැනි වෙනත් රටවලින් ද උගත්
බෞද්ධ, අබෞද්ධ ධර්මධරයන් මෙන් ම මහා පඬිවරයන් ද වූ එම රැස්වීම එදා රෑ අවසන් කර ගත
හැකි වූයේ පැය පහක, හයක කාලයකිනි.
එම ධර්ම දේශනයේ ප්‍රතිරාවය ලන්ඩනයේත්, එංගලන්තයේත්, යුරෝපයේත්, උගත් බෞද්ධයන් අතර
පැතිර ගියේ උන්වහන්සේ පිළිබඳ ව පුදුම ගෞරවාදරයක් ඇතිකරවමිනි. ලන්ඩනයේ පාළිපොත්
සමාගමේ සභාපතිනී, ආචාර්ය අයි. බී. හෝනර් මැතිණිය ඒ පුවත අසා කතාව මුද්‍රණය කරවන්නට
සහ උන්වහන්සේ බැහැදකින්නට අවශ්‍ය බව වහා ම පළ කළා ය.
අපි ඕකන්හෝල්ට් මන්දිරයට ආපසු පැමිණ මෙතෙක් උන්වහන්සේගෙන් නො අසා සිටි ප්‍රශ්නයක්
ඇසීමු. උන්වහන්සේ උගත්තේ කවර පිරිවෙණක දැයි දැන ගැනීම සඳහා ය. තමන් වහන්සේ කවදාවත්
පිරිවෙණක නූගත් බවත්, ඉගෙනගත් සියල්ල ඉගෙන ගත්තේ පන්සලේ දී තමන් වහන්සේගේ ගුරුවර
සීලානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් බවත්, ධර්මයත් පාළි එහෙම ඉගෙන ගෙන ඉංග්ලිෂ්
වැඩිදියුණු කර ගත්තේ ඕල්කොට් විද්‍යායතනයේ දී බවත් පිළිතුරු ලබා ගතිමු.
1919 දී පැවැති ඉංග්ලිෂ් පන්තියෙහි ගරුතර පොල්වත්තේ බුද්ධදත්ත මහානායක හිමිපාණන් ද
එම පන්තියේ ම එකට උගත් බවත්, ඒ කාලයේ දී ම කොළඹ ගුවන්විදුලි සේවයෙන් එම සේවයේ
පළමුවෙන් ම ඉංග්ලිෂ් භාෂාවෙන් කරන ලද ධර්ම දේශනය පවත්වන ලද්දේ ද තමන් වහන්සේ විසින්
බවත් දැනගන්ට ලැබීමු.
මේ කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ අධිපති ව සිටියේ පී. ද. එස්. කුලරත්න මහත්මයා ය. ඒ
මහතාගේ ඉල්ලීම අනුව එහි ශිෂ්‍යයන්ට පාලි සංස්කෘත සහ බුද්ධ ධර්මය උගැන්වීම සඳහා මේ
දෙනම පත්කර ගන්නා ලදහ.
1923දී නාලන්දා විද්‍යාලය අරඹන විට තාවකාලික වශයෙන් එහි සේවයට වැඩම කළ උන්වහන්සේ
විසින් එම විද්‍යාලය නාලන්දා නමින් නම් කරන ලද අතර, එහි ආදර්ශ පාඨය වූ අපදාන සොභිනී
පඤ්ඤා (ප්‍රඥාව චරිතය හොබවයි) යන්න ද භාවිතයට යෙදවූහ.
මේ කාලය තුළ ආනන්ද මෛත්‍රෙය මාහිමියන් වහන්සේ රට පුරා බණ දහම් දෙසීමෙහි ද උත්සුක
වූහ. බෝධිසත්ත්ව සමාගම ආනන්ද විද්‍යාලයේ ආරම්භ වූයේ ද මේ කාලයේ ය.
මා ලන්ඩන් හි සහ ඔක්ස්පර්ඩ්හි කළ සේවය නවත්වා මෙහි නිව්යෝර්ක් නගරයේ සේවයට පැමිණි
පසුව ග්‍රෙගරි ක්‍රෙමර් මහතාගේ ආරාධනය අනුව උන්වහන්සේ අමෙරිකාවට ද පමුණුවා ගැනීමේ
අවස්ථාව සැලසිණි. බුද්ධ ධර්මය කොම්පියුටර්ගත කරවීමට ඒ මහතා මෙහිදී කොම්පියුටර්
යන්ත්‍රයක් උන්වහන්සේට පරිත්‍යාග කළේ ය. එය ක්‍රියා කරවන හැටි උන්වහන්සේට උගැන්වූයේ
ද ඒ මහතා ම ය. එවකට අනූහතර හෝ අනූපස් වැනි වියෙහි සිටි මහා නායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේට එය ඉගෙන ගැනීමට පැයක් එක හමාරක් පමණ ගතවන්නට ඇතැයි සිතමි. ක්‍රෙමර් මහතා
පවා එයින් පුදුම විය.
ළමයකුට ධර්මය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු සපයන කල්හිත්, වැඩිහිටියකුට එවැන්නක්
විස්තර කරන කල්හිත්, ප්‍රතිවාදියකුට එවැන්නක් විස්තර කරන කල්හිත්, උන්වහන්සේ තුළ
දක්නට ඇත්තේ එකම ආකාරයක පරිත්‍යාගශීලි කරුණාවෙන් සහ මෛෙත්‍රියෙන් පිරීගිය සිතකි.
උන්වහන්සේට කවර වේලාවක හෝ අවදි ව සිටින්නට ද, කවර වේලාවක හෝ නිදාගන්නට ද අපහසු කමක්
නැත. උන්වහන්සේ සැතපෙනුයේ මධ්‍යම රාත්‍රිය ඉකුත් වූ පසුව ය. දිනක් අපි මේ ගැන
ඇසීමු.
“මේ අය සිතන්නේ මම නිතර ම පොත් ලියනවා කියලයි. මම කරන්නේ අලුත් යමක් දැන ගැනීමට
උත්සාහ කරන එකයි. ඒක පොත් ලියන්නට කරන වෑයමක් නොවෙයි. කියවනකොට යම් යම් දෙය
ලියවෙනවා. ඒකට මම පොත් ලියනවායයි කියනවා...” යැයි සිනාසෙමින් උන්වහන්සේ වරක් තම
ගෝලයන් දෙස බලා සඳහන් කළහ.
“අවශ්‍යතාවයක් දැනුනොත් මට දිනකින්, දෙකකින් වුණත් පොතක් ලියා නිම කරන්න
පුළුවන්...” කියා පවසන උන්වහන්සේ එසේ ලියන්නට පටන්ගත් විට නින්ද, ආහාරපාන ගැන
කවුරුවත් මතක් කරන තුරු නොදන්නා සේ ලියති. සමහරවිට කියවති.
විදේශ ධර්ම ප්‍රචාරයෙහි යෙදී සිටින භික්ෂූන් වහන්සේගේ දුෂ්කරතාවන් ගැන අත්දැකීමෙන්
ලත් අවබෝධයක් උන්වහන්සේට ඇත්තේ වෙනත් එවැනි මහලු වයසේ සිටින කිසිම මහතෙර නමකට නැති
ආකාරයෙනි. කලක් ම දඹදිව ධර්ම ප්‍රචාරක භික්ෂූන් වහන්සේ ගැන පමණක් දැන සිටි
උන්වහන්සේ එංගලන්තයට පැමිණි කල්හි වඩාත් පුළුල් අත්දැකීම් ඇති කර ගත්හ. “ඔබ
වහන්සේලා කරන්නේ බෝධිසත්ත්වවරුන් විසින් පමණක් කරන වැඩක්, ධර්මය නොදන්නා අය සිත්
සතන්වලින් බොහොම දුප්පත්. එවැන්නවුන් දුක්වලින් මුදවන්ට ක්‍රියා කරන්නේ
බෝධිසත්ත්වවරුන් පමණයි.
ඒ නිසා කිසි දවසක ධර්මය කියා දීමට අධෛර්යය වන්න එපා....” යයි ඔක්ස්පර්ඩ්හි සිට
ලංකාවට වැඩම කරන විට සිරිධම්ම හාමුදුරුවන්ටත්, මටත් උන්වහන්සේ අනුශාසනා කළහ. එම
අදහස මා උන්වහන්සේ තුළ හරියට ම ක්‍රියාත්මක වන හැටි දුටුවේ පසු කාලයක වරින්වර කරන
ධර්ම සාකච්ඡාවන්ට දෙන පිළිතුරු ඇසීමෙනි.
තරුණ කාලයේ වෙනත් අය මෙන් ම විප්ලවවාදි යයි කියන ගනයේ ලිපි ලේඛන මෙන් ම ධර්ම ලිපි ද
උන්වහන්සේගෙන් ලියවුණේ ආනන්ද විද්‍යාලයේ දි ලැබුණු විවේකයත්, ආධුනිකයන්ගේ පෙළඹවීමත්
නිසා බව ද වරක් අපට මහානායක හාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කළහ. ජීවිතයේ තදින්ම දැනුන
වෙන්වීමේ වේදනාව, ආනන්ද විද්‍යාලය හැරයාම බවත් ගම්පළාතට විය යුතු සේවය තමන්
වහන්සේගෙන් ලබා දීම ද වැදගත් දෙයක් වන බවත්, නගරයේ සිටීමට වඩා පිටිසර විවේකයේ සිටීම
අගය කරන බවත්, වරක් අප සමඟ උන්වහන්සේ සඳහන් කළහ.
ගණනින් මතක නැති තරමේ විශාල පැවිදි ශිෂ්‍ය පිරිසක් උන්වහන්සේ ඇති කළ බව ද පවසන්නේ
මහත් අභිරුචියකින් මෙන් ම සිනාවෙන් ද යුක්තව ය. ඒ බොහෝ දෙනා අතර ඇතැමුන් පැවිදි
භූමියේ නැතත් ඇති භික්ඛු බෝධි වැනි විදේශීය ශිෂයන්ගෙන් සිදුවන මහත් සේවය
උන්වහන්සේගේ බලවත් සතුටයි.
විදේශවලත්, ස්වදේශයේත් ධර්ම ප්‍රචාරක වැඩවල යෙදෙන, ලියන කියන ශිෂ්‍යයන් වෙනුවෙන්
උන්වහන්සේ දක්වන්නේ බලවත් සතුටකි. බෝධිසත්ත්ව ගුණෝපේත ගරුතර අපේ ආනන්ද මෛත්‍රෙය මහා
නායක මාහිමියන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බුදුබව අත් වේවා’යි පතමු.
නිව්යොර්ක් බෞද්ධ විහාරාධිපති ව වැඩසිටි පණ්ඩිත
කුරුණෑගොඩ පියතිස්ස
මා හිමිපාණන් විසින් ලියන ලද ලිපියකිනි |