[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කම්සැප විඳීමේ සීමාව හඳුනාගන්න

කම්සැප විඳීමේ සීමාව හඳුනාගන්න

අප ජීවත් වන්නේ කාමලෝකයේ ය. දෙව්ලොවත්, මිනිස් ලොවත් කාම සුගති නම් වේ. සතර අපාය, කාම දුගතිය. කාම සුගතිවල හා කාම දුගතිවල ජීවත්වන සියල්ලෝ ම කාම වස්තුන් අනුභව කරන හෙයින් කාමභෝගීහු ය. ඒ අනුව අපි කාමභෝගීහු වෙමු.

කාමභෝගීනට බුදුදහම අනුව ජීවත් විය හැකියි. කාම වස්තුන් අනුභව කිරීමට අපට තහනමක් නැත. කාම වස්තුන් අනුභව කරමින් දහම් මඟ ගමන් කිරීමට ද බැරිකමක් නැත.

කාමය යන්නට සීමාසහිත අරුතක් දී ඇත. ‘කාමේසුමිච්ඡාචාරා’ පරපුරුෂ හා පර ස්ත්‍රී සේවනය වැරැදි බව එයින් අවධාරණය කෙරේ.

කාමයෙහි මිථ්‍යාචාරය ප්‍රතික්ෂේප කරන බුදුදහම ගිහියනට කාමයෙහි සම්‍යක් ආචාරයක් හෙවත් නිවැරැදි හැසිරීමක් ඇති බව පෙන්වා දෙයි. අඹු සැමියන් වශයෙන් පවුල් ජීවිත ආරම්භ කර දරුවන් සමඟ පී‍්‍රතියෙන් ජීවිත ගත කිරීම බුදුදහමෙන් අනුමත වන්නේ එහෙයිනි. එසේ යහපත් ජීවිත ගතකළ නකුල මාතා, නකුල පිතා වැනි අයගේ චර්යාව බුදුරජාණන් වහන්සේ විසින් ම ඇගැයීමට ලක්කරනු ලැබ ඇති බව පෙළදහම කියවන කවුරුත් දන්නා කරුණකි.

පවුල් ජීවිතය කාමභෝගී ජීවිතයකි. එවැනි ජීවිත අත හැර පැවිදිවීමට සිතෙන්නේ ටික දෙනෙකුට ය. ඒ අය උදාර අදහස් ඇති භාග්‍යවන්ත පිරිසකි. පැවිදි දිවිය ශ්‍රේෂ්ඨ වූවකි. ගිහියන්ගේ නොමඳ ගෞරවාදරයට ද, බහුමානයට ද, පූජාවනට ද පාත්‍ර වන්නේ එහෙයෙනි.

ඒ තරම් උදාර ශික්ෂාකාමී අදහස් නැති වුව ද, ගිහියනට දහම් මඟට පිවිසීමටත්, එහි ස්ථාවරත්වය ලබා ගැනීමටත්, තරමක් දුර එහි ගමන් කිරීමටත් කිසිදු බාධාවක් නැති බව ගිහි බෞද්ධයන් විසින් මැනවින් වටහාගත යුතු ය. මගඵල ලැබීමට ගිහියනට ද පුළුවන. සෝතාපන්න සකෘදාගාමී අවස්ථාවනට පත්වීමට ද පුළුවන.

ගිහි දිවියක් ගත කරන මිනිසා රසවත් ආහාරපාන ගැනීමට කැමැති ය. අලංකාර ඇඳුම් පැළඳුම්වලට කැමැති ය. ඔහුට ගේ දොර උපකරණ, යාන වාහන අවශ්‍යය. මේ සඳහා මුදල් සොයා ගත යුතු ය. ඒ නිසා රැකියාවක, ව්‍යාපාරයක, කර්මාන්තයක නිෂ්පාදන කාර්යයක යෙදීමට සිදුවේ. එය කළ හැක්කේ ශාස්ත්‍රීය හා ශිල්පීය අධ්‍යාපනයක් ලබාගතහොත් පමණි. මේ කාර්යයන්හි යෙදීමේ දී ඇතිවන වෙහෙස නිවා ගැනීම සඳහා විවේකය ද, විනෝදය ද ඔහුට අවශ්‍ය ය. නෑ හිත මිතුරන්, අසල්වැසියන් ඇසුර අවශ්‍ය ය. උත්සව, සන්දර්ශන, චාරිකා සමිති සමාගම්, ක්‍රීඩා ආදිය ද ඔහුට අවශ්‍ය ය. මේ සියල්ල කාමභෝගී ජීවිතයක ස්වභාවය වේ.

බුදුරජාණන් වහන්සේ මඟඵල ලද ගිහි මිනිසුන් පවා කාමභෝගීන් ලෙස ම අමතමින් දහම් දෙසූ අයුරු ඇතැම් සූත්‍ර දේශනයන්ගෙන් හෙළි වෙයි. කම්සැප විඳීම පිළිබඳව බුදුහාමුදුරුවෝ මෙසේ දේශනා කරති.

ගෘහපතිය කිසියම් කාමභෝගියෙක් සැහැසිකමින් තොරව, දැහැමින් ධනය සොයයි. එසේ දැහැමින් සොයාගත් ධනයෙන් තමා සුවපත් වෙයි. තමා පිනවයි. බෙදා හදාගෙන පරිභෝජනය කරයි. පින් දහම් කරයි. ඒ ධනයෙහි තණ්හාවෙන් නොඇලී, එහි මුළා නොවී එහි ම බැසගෙන නොසිට, ආදීනව දකිමින් හැර යාමේ නුවණින් යුතු ව පරිභෝජනයෙහි යෙදෙයි. මෙවැනි තැනැත්තා කරුණු සතරකින් ප්‍රශංසා ලැබිය යුත්තෙකි.

පළමුව හෙතෙම ධනය දැහැමි ව සොයා ගැනීම ගැන ප්‍රශංසා ලැබිය යුත්තෙකි. දෙවනුව ඒ දැහැමි ධනයෙන් තමා සුවපත් වීම හා පිනවීම නිසා ප්‍රශංසා ලැබිය යුත්තෙකි. තෙවනුව ඒ ධනය බෙදාහදා ගෙන පරිභෝජනය කරමින් සිටීම නිසා ප්‍රශංසා ලැබිය යුත්තෙකි. සිව්වෙනුව ධනයෙහි නොඇලී, ආදීනව දකිමින් හැරදා යෑමේ නුවණින් යුතුව පරිභෝජනය කිරීම නිසා ප්‍රශංසා ලැබිය යුත්තෙකි. මේ ආකාරයට කාමභෝගී ජීවිතයක් ගත කරන තැනැත්තා කාමභෝගීන් අතර අග්‍ර ද, ශ්‍රේෂ්ඨ ද, ප්‍රමුඛ ද, උත්තම ද, ප්‍රවර ද පුද්ගලයකු බව බුදුරජාණන් වහන්සේ ම ඇගයීමට ලක් කරති.

බුදුහාමුදුරුවෝ ප්‍රථම ධර්ම දේශනාවේ දී ම කාමසුඛල්ලිකානුයෝගය අනුගමනය නොකළ යුතු අන්තයක් ලෙස හඳුන්වා දුන් සේක. එයට හේතුව ද එහි දී ම වදාළහ. හීනෝ - කාමසුඛල්ලිකානු යෝගය හීන වූවකි. ගම්මෝ - ග්‍රාම්‍යය. එනම් පහත් ජීවන ක්‍රමයකි. පෝථුජ්ජනිකෝ පෘථග්ජනයිනට සුදුසු වූවකි. අනරියෝ - අනාර්යය. උතුම් නොවේ. අනත්ථසංහිතෝ - ඒ මඟ අයහපත් ප්‍රතිඵල උද්ගත කරන්නකි. ඒ නිසා එය අනුගමනය කිරීම නුසුදුසු ය.

කාමසුඛල්ලිකානුයෝගය යනු ඉඳුරන් පිනවීමෙහි යෙදීම ය. බලන්නට පි‍්‍රය රූප බලමින් ඇස පිනවීමෙහි ද, මිහිරි ශබ්ද අසමින් කන පිනවීමෙහි ද, සුවඳ විඳිමින් නැහැය පිනවීමෙහි ද, රස ආහාර බුදිමින් දිව පිනවීමෙහි ද, පි‍්‍රය ස්පර්ශ ලබමින් සිරුර පිනවීමෙහි ද, ඒ ඒ අත්දැකීම් සිහි කරමින් හා ඒවා ගැන කල්පනා කරමින් සිත පිනවීමෙහි ද යෙදෙමින් කාලය ගත කිරීම ඒ ජීවන චර්යාවෙහි ස්වභාවයයි.

කාමයෙහි ආස්වාදයක් ඇති බව බුදුදහම පෙන්වා දෙයි. එහෙත් ආස්වාදයක් පමණක් නොව, ආදීනවයක් ඇති බව අවධාරණය කර සිටියි. ප්‍රසන්න. මිහිරි අත්දැකීම් ලැබීම එහි ඇති ආස්වාදයයි. එහෙත් ඒවා ලැබීමේ දී අනිවාර්යයෙන් මුහුණ දෙන අහිමිරි ප්‍රතිඵල එහි ඇති ආදීනවය යි. ඒ නිසා නුවණැති මිනිසා ආස්වාදය විඳිය යුත්තේ ආදීනව ගැන ද වැටහීමක් ඇතිව ය. එසේ නැතහොත් ඔහු සීමා ඉක්මවා යෑම නිසා දුෂ්කරතාවයනට, අනිටු විපාකයනට මුහුණ පායි. මේ නිසා ආස්වාදය විඳිය යුත්තේ සීමා දැනගෙන ය. පාරිභෝගිකයාට දර්ශනයක් අවශ්‍ය වන්නේ මෙතැන දී ය.

ආදායම් තත්ත්වය කුමක් වුව ද ණය වී හෝ ආහාරපාන ගැනීමට, ඇඳුම් පැලඳුම්වලින් සැරසීමට, කෙතරම් නම් බලකිරීමක් තිබේද? ඒ සඳහා සපයන ණය පහසුකම්වල කෙළවරක් නැත. හය හතර නොදන්නා දරුවන් මෙන් වැඩිහිටියෝ ද ණය වී උත්සව පවත්වති. වාරික ගෙවීම සඳහා නොයෙකුත් උපක්‍රම කරති. හොර, බොරු වංචා, අල්ලස් ගැනීම්, කොමිස් ගැනීම්වලින් නොනැවතී හිංසා පීඩනයන්ට හා ඝාතනයට පවා පෙළඹෙති.

ව්‍යාපාරිකයාගේ අරමුණ ලාභ ඉපයීම ය. හැකිතාක් ලාභ වැඩි කර ගැනීම ය. ඒ සඳහා ඔහු පාරිභෝගිකයාගේ හැම දුර්වලකමක් ම සියුම් ලෙස ප්‍රයෝජනයට ගනියි. ඒ කාර්යය කිරීමට භාර දී ඇත්තේ ප්‍රචාරණයට යි. ඉතා දියුණු තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින්, මිනිසාගේ පහත් හැඟීම් මතුකොට ගෙන එයින් උපරිම ලෙස ලාභ ලබන මං සොයනු ලැබේ. මිනිසා මුළාවට පත්වීම මෙහිදී සිදුවෙයි. ඔහුට ආහාර ගැනීමේ අරමුණ අමතක වෙයි. ඇඳුම් ඇඳීමේ අරමුණ අමතක වෙයි. නිවාස තැනීමේ ද, යානවාහන පරිහරණයේ ද, වෙනත් කටයුතුවල නිරත වීමේ ද අරමුණු අමතක වෙයි. එතැනදී අනුන් කරන දෙය බලා එය අනුකරණයට පෙළඹෙන්නේ ය.

ආදායම කුමක් වුව ද එය කළ යුතු ම දෙයක් ලෙස ඔහුට හැඟෙයි. අනුකරණයෙන් නොනැවතී අන් අය හා තරගයට පිවිසෙයි. ප්‍රතිඵල කුමක් වුවත් තරග කරයි. ප්‍රචාරයේ මහිමයෙන් තෘෂ්ණාව වැඩෙයි. හොඳින් හෝ නරකින් හෝ තෘෂ්ණාව සපුරා ගැනීමට වෙහෙසෙයි.

පිනවීම යනු අවශ්‍යතා ඉටු වූ පසු මානසිකව ලබන ආස්වාදය යි. එවැනි ආස්වාදයක් ධාර්මික ව ලැබීමට කාමභෝගියකුට කිසිම බාධාවක් නැත. එය සීමාවක් තුළ සිදුවිය යුතු ය. කවර ආකාරයෙන් හෝ තමන් කරදරයට පත් වන්නේ නම් එය සීමාව ඉක්මවා යෑම නිසා සිදුවන්නකි. මෙය ආශාවන් සපුරා ගැනීමට යෑමේ අනිෂ්ඨ ප්‍රතිඵලය යි. අවශ්‍යතා හා වුවමනා සම්පූර්ණ කර ගැනීමෙන් සුවය ද, ආස්වාදය ද ලබා ගත හැකි වුව ද ආශා පසුපස යෑමෙන් කරදරයට පත්වීම විනා සුවපහසුවක් කිසිසේත් ලබා ගත හැකි නොවේ. බෙහෙතෙහි මාත්‍රාව නොදැන ගතහොත් සිදුවන විනාශය අමුතුවෙන් කිවයුතු නොවේ. මාත්‍රාව දැන ක්‍රියා කරන්නා කාමභෝගී ජීවිතයක් තුළ ම සාර්ථකත්වයට පත්වී දහම් මඟට පිවිසෙන බව ද, මාත්‍රාව නොදැන හෝ නොසලකා ක්‍රියා කරන්නා කාම සුඛල්ලිකානුයෝගී අන්තයට ඇදී ගොස් බෞද්ධකම පමණක් නොව මනුෂ්‍යත්වය කෙලෙසා ගන්නා බව ද මැනවින් වටහාගෙන තම තමන්ගේ ජීවන රටාව ගොඩනඟා ගැනීම අප සතු වගකීම ය.

නිකිණි අව අටවක

අගෝස්තු 15 සිකුරාදා අ.භා. 11.52 අව අටවක ලබා 16 සෙනසුරාදා අ.භා. 09.37 න් ගෙවේ.
16 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]