නිකිණි අව අටවක
පෝ දා 2025-08-16
නිවැරැදි අවබෝධය
අනේක දුක් සහිත මේ ඝොර සසරේ භයානක බව දුටු අප මහ බෝසතාණන්
වහන්සේ උතුම් නිවනට පිවිසීමට හැකියාව තිබියදීත් සසර ගමනට වැද
අපමණ දුක් දොම්නස්වලට මුහුණ දෙමින්, සත්‍ය ධර්මය අවබෝධ කරගෙන,
තමන් වහන්සේ සසර දුකින් මිදී අසරණ ලෝ වැසි සත්වයාට ද දුකින්
මිදෙන මඟ පෙන්වා වදාළ සේක.
තථාගතයන් වහන්සේ, උන්වහන්සේ දේශිත ශ්‍රී සද්ධර්මය, ආර්ය මහා
සංඝරත්නය සරණ ගිය, එනම් තෙරුවන් සරණ ගිය බෞද්ධයා කවර හේතුවක්
නිසා හෝ ඒ ධර්මය ඉක්මවන්නේ නැත. ඔහු ධර්මය ආරක්ෂා කරන්නේ
තමන්ගේ ප්‍රාණය හා සරිව ය. එය සෑම බෞද්ධයකු ම සිතට ගත යුත්තකි.
ධර්මයෙහි රැකවරණය, දෙලොව අර්ථය ලබන්නේ ද, උතුම් නිවන් මඟට
පිවිසීමට හැකි වන්නේ ද එවැනි පුද්ගලයාට ය.
සෑම බෞද්ධයකු ම ධර්ම රත්නයේ ගුණ දැන සිටීම ඉතා ප්‍රයෝජනවත්
ය. ධර්මය ගැන නිවැරැදි ශ්‍රද්ධාවක් ඇති වන්නේ එවිට ය.
තථාගතයන් වහන්සේ දේශිත ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත ය. එනම්
මනා ලෙස දේශිත ය. මුල, මැද, අග යහපත් වන්නේ ය.
ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨික ය. එනම් දහම් මඟ යන, ධර්මය
පිළිපදින පුද්ගලයාට මේ ජීවිතයේ දී ම දැන, දැක ප්‍රත්‍යක්ෂ කර
ගන්නට හැකි ගුණයෙන් යුතු වන්නේ ය. තමන්ගේ සන්තානය තුළ දියුණුූ
කර ගැනීම් වශයෙන්, සිතෙහි පහළ කර ගැනීම් වශයෙන්, ප්‍රත්‍යක්ෂ
කර ගැනීම වශයෙන් සන්දිට්ඨික වන්නේ ය.
ධර්ම රත්නය අකාලික ගුණයෙන් යුතු ය. නිවැරැදි ව පිළිපදින
සත්පුරුෂයාට කල් නොයවා ඕනෑම කාලයක දී ප්‍රතිඵල අත්විඳීමට
පුළුවන. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ඵල පහළවන හෙයින්
අකාලික වන්නේ ය.
අන්ධ භක්තියෙන් තොරව ප්‍රඥාවෙන් දකින්නට කැමැති පුද්ගලයකුට
ඇවිත් බලන්න යැයි පෙළඹවන දහමක් හෙයින් ශ්‍රී සද්ධර්මය
ඒහිපස්සික ගුණයෙන් යුතු ය. ලොව විද්‍යමාන වන හෙයින් ද, ඉතා
පිරිසුදු අර්ථ ඇති හෙයින් ද ඒහිපස්සික ය. ඒ උතුම් ධර්මය සීල,
සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන සම්පත්තියෙන්
යුතු වන්නේ ය. එහෙයින් ඒහිපස්සික වන්නේ ය.
තථාගත ධර්මය ඕපනයික ගුණයෙන් යුතු ය. සමීපයට පමුණුවන, නිවනට
පමුණුවන, තම සිත්හි ලා පිහිටු විය යුතු දහමකි.
චිඤ්ඤු පුරුෂයන් විසින් තම තමා විසින් අන් තැනකින් නොව
තමාගේ සිත් තුළින් ම වෙන වෙන ම අවබෝධ කර ගත යුතු ධර්මයකි.
ශ්‍රී සද්ධර්මයේ මේ ගුණ ගැන ලබන අවබෝධය කුඩා දරුවාගේ සිටම
ලබාදිය යුත්තකි. ධර්මයේ ගුණ දැන ගැනීම නොබිඳෙන ශ්‍රද්ධාව පිණිස
ය. ධර්ම මාර්ගයේ ස්ථාවර ව ගමන් කළ හැකි එවැනි විචාරවත්
පුද්ගලයාට ය. බෞද්ධයා යනු විචාරශීලි පුද්ගලයකු මිස අවිචාරවත්
වූවකු නොවේ. ඒ විචාරවත් බව ඔහුගේත්, සමාජයේත් අර්ථය පිණිස ය. |