[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බෙල්ලට්ඨිසීස ස්ථවිර වස්තුව

බෙල්ලට්ඨිසීස ස්ථවිර වස්තුව

“යෙසං සන්නිචයො නත්ථි - යෙ පරිඤ්ඤාත භොජනා

සුඤ්ඤතො අනිමිතෙතා ච - විමොෙක්‍ඛා යෙස ගොචරො

ආකාසෙ’ව සකුන්‍තානං - ගති තෙසං දුරනනයා’ති”.

“රහතන් වහන්සේ කර්ම හෝ සිවුපසය හෝ රැස් කිරීමක් නැත. තමන්ගේ ආහාර පරිභෝජන සීමාව හොඳ හැටි දනී. ඒ සියලු රාගාදියෙන් මිදුණු හෙයිනි. රහත්හු සුඤ්ඤත වූ ද, අනිමිත්ත වූ ද, අප්පණීහිත වූ ද නිවන අරමුණු කොට වාසය කරන්නෝ වෙත්, මෙවන් රහතන් වහන්සේ මරණෙන් පසු ගිය මඟ හෝ යන මඟ හෝ නොදත හැකි ය. මේ පිරිනිවීම අහසෙහි කුරුල්ලකු පියාසර කළ මඟ නොදත හැකිවාක් මෙනි.”

දැන් පාලි පදාර්ථයන් කෙටි වශයෙන් හෝ කියවා දැනගමු

යෙසං - මෙය රහතන් වහන්සේ යනුවෙන් අනියාර්ථයෙන් යෙදූ වචනයකි.

සන්නිචයො නත්ථි - රැස්කිරීමක් නැත.

රැස්කිරීම් දෙකෙකි. ඒ කර්ම රැස්කිරීම හා ප්‍රත්‍යය රැස්කිරීම වශයෙනි. එනම් කුසලාකුසල කර්ම රැස්කිරීම හා චීවර – පිණ්ඩපාතාදී සිවුපසය රැස්කිරීම ය. රහතන් වහන්සේට මේ දෙකම නැත. උන්වහන්සේ තුන්දොරින් ම කරන ක්‍රියාකාරකම්හි ප්‍රතිසන්ධියක් දීමේ ශක්තියක් නැත. ඒ ඒ අවස්ථාවන්හි ඔවුනට උපදින්නේ ක්‍රියා සිත් ය. අකුසලකර්ම කිසිසේත් ම නොවේ. අවිද්‍යා - තණ්හා ප්‍රහීණ කළාහු හෙයින් නැවත භවයක ප්‍රතිසන්ධිය දීමේ ශක්තියක් නොලැබේ.

යෙ පරිඤ්ඤාත භොජනා:– දහමේ එන සියලු ධර්මයන් පිරිසිඳ දැනීම පරිඤ්ඤතයි ඤාත පරිඤ්ඤා - තීරණ පරිඤ්ඤා හා පහාන පරිඤ්ඤා යනුවෙන් පරිඤ්ඤා තුනකි. තවද බුදිනු ලබන ආහාර 4කි. කබලිංකාර – ඵස්ස - මනොසංචේතතා හා විඤ්ඤාණ මේ ආහාර සතරයෝ ය.

අපේ මේ රූපය (කය) කටින් ගන්නා කැබලි ආහාරයන්ගේ ඕජස් මත යැපෙන්නෙකි. එය කබලිංකාරාහාරය යි. ඵස්සාහාරය ත්‍රිවිධ වේදනා සකසා දෙයි. තුන් භවයෙහි නැවැත නැවැත ප්‍රතිසන්ධිය මනෝ සංචේතනාහාරයෙන් කෙරේ. විඤ්ඤාණාහාරය චිත්තක්ෂණ 17න් 17ට නාමරූපය සාදා දේ. මේ ත්‍රිවිධ ආහාරයන්ගෙන් රහතන් වහන්සේ ඉහත පරිඤ්ඤා තුන අවබෝධයෙන් කබලිංකාරාහාරය හැර ඉතිරි තුන් ආහාරය අරහත්ඵලය සාක්ෂාත් කිරීමත් සමඟ ප්‍රහීණ කළාහු වෙත්.

කබලිංකාරාහාරය ආයු කෙළවර වන තෙක් දැඩි ආශාවන් තොරව භුක්ති විඳී.

සුඤ්ඤතො, අනිමිතෙතාච විමොෙක්‍ඛා යෙසං ගොචරො -

මේ නිවනෙහි ලක්ෂණ 3කි. රාග - ද්වේෂ- මෝහ නැත. එහෙයින් නිවන සුඤ්ඤත විමොක්ඛ නමි. රාගාදි නිමිති නැති බැවින් අනිමිත්ත විමෝක්ඛ නමි. රාගාදි ප්‍රාර්ථනා නැති බැවින්, මිදුණා බැවින් නිවන අප්පණීහිත විමෝක්ඛ නමි. තවද සියලු ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් මිදුණු බැවින් නිවන විමෝක්ඛ නමැයි දක්වයි. නිවන ඵලසමාපත්ති වශයෙන් අරමුණු කොට වසන රහතන් වහන්සේ මේ ත්‍රිවිධ විමුක්ති සම්පත් විඳින්නෝ වෙත්. මේ ස්වභාවය බුදු දහමෙහි “දිට්ඨධම්ම සුඛ විහාර” යනුවෙන් ද යෙදේ. රහතන් වහන්සේගේ ගෝචර නම් මේ ධර්මතා සොයා යාම ය.

ආකාසෙච සකුන්තානං ගති තෙසං දුරන්තයා -

අහසෙහි පියාඹන පක්ෂීන්ගේ පා සටහන් දකින්නට නොමැති සේ රහත්හු ගේ ද පිරිනිවීමෙන් පසු ගමන්මඟ නොදත හැකි ය. ඉරි ඇඳ දක්වනු බැරි තැන ආකාස යනුවෙන් කියැවේ. “අවකාශය” යනු ද මෙය ම ය.

අට්ඨ කතාවට පෙර කෙටි සටහනක්:-

මේ ලියැවෙන්නේ අරහන්ත වග්ගයට අයත් ගාථා 10න් 3 වැන්න ය. මේ ගාථා සියල්ලෙහි කියැවෙන්නේ අරහත් ඵල සාක්ෂාත් කළහුගේ ගති ස්වභාවයන් ය. අරහත්ඵලය නිවන ම වේ.

නිවනෙහි මෙලොව දී ම ලැබිය හැකි පරම සුඛය ඇසීමෙන්, කියවීමෙන් පමණක් මෙපමණ දැනේ නම්, සාක්ෂාත් කළ හොත් ප්‍රමාණය කොතරම් වේ දැයි කිව හැකි ද? අරහත් මඟ ඵල සාක්ෂාත් කළ හැකි නිවැරැදි ධර්ම මාර්ගය ත්‍රිපිටකාගත ව තවමත් ආරක්ෂා වී ඇති බව සහතික ය. කාරණා මෙසේ වී මුත් පුණ්‍යකර්මයක් අවසානයේ හැම දෙනාටම” නිවන්, සම්පත් ලැබේවා”යි කියද්දි එය අසා සිටින අය දෙන සාධුකාරය නිවනට කැමැත්තෙන් ම දෙන සාධුකාරයක් දැයි ඇසුවෝතින් ඔවුන්ගෙන් ලැබෙන පිළිතුර කුමක් විය හැකි ද? බොහෝ බෞද්ධයෝ දැන්ම නිවන් යාමට කැමැත්තක් නැත. මෙසේ නම් අන්‍ය ලබ්ධිකයෝ ගැන කියනුම කවරේද? එහෙයින් මෙම ගාථා පෙළෙහි එන ධර්මාර්ථ සොයා යාමට අපි සියල්ලෝ උත්සාහ කරමු. නිවන පරලොව නොව මේලොව මේ ජීවිතයේ දී ම ලබන්නකි.

බෙල්ලට්ඨිසීස ස්ථවිරයන් වහන්සේ අරහත්ඵල සාක්ෂාත් කළ උතුමෙකි. ආනන්ද තෙරුන් වහන්සේගේ උපාධ්‍යායයන් වහන්සේ ය. ආරණ්‍යවාසී ව විසූ උන්වහන්සේ වරෙක ඇතුල් ගමෙහි පිඬු සිඟා වැඩ ලැබූ දානය වළඳා, නැවැත කඩපිල් වීථියකට ගොස් වියළි ආහාර ලබා විහාරයට ගෙන ගොස් සකස් කොට තබා, නිතර පිඬු සිඟා යාම දුකකැ'යි සිතා (පිඬු ලැබීමට බොහෝ දුර යා යුතු ය) කිහිප දිනක් ධ්‍යාන සුඛයෙන් සිට වළඳනු කැමැති කල්හි කඩපිලෙන් ගෙනා සකස්කොට තිබූ අහර ගෙන දියෙන් තෙමා වළඳති.

මේ බව දත් අනෙක් භික්ෂූහු දොස් නඟා ඒ පුවත බුදුරජාණන් වහන්සේට දැන්වූහ. කැඳවා විමසූ විට උන්වහන්සේ පිළිගත්හ. මේ කරුණ මුල්කොට ගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂූන්හට තැන්පත් කොට තැබූ භෝජන වැළඳීම “දුකුලා ඇවැත්” වන බවට ශික්ෂාපදයක් පැනවූහ. මෙසේ වැළඳීම නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවන බව වදාළහ.

මේ ශික්ෂාපදය “සන්නිධිකාර” විනය සික පදය ලෙස පාචිත්ත පාලිය භික්ඛු විභංගය විනය පිටක ග්‍රන්ථයේ පිට 242හි සඳහන් වේ. ඒ මෙසේ ය:

යො පන භික්ඛු සන්නිධිකාරකං ඛාදනීයං වා

භොජනීයං වා ඛා දෙය්‍ය වා භුඤෙජය්‍ය වා පාචිත්තය නති.

යම් මහණෙක් තැන්පත් කොට තැබූ කෑ යුතු දැයක් හෝ (පිඬුකොට කෑම) බිඳිය යුතු දැයක් හෝ (කැබැලි කඩා වැළඳිය හැකි කැවුම් ආදි කැවිලි) කා නම් හෝ බුදී නම් හෝ පචිති වේ” “සන්නිධිකාර” නම්. අද පිළිගත් ආමිසය අන් දිනකට තැබීමයි.

බෙල්ලට්ඨිසීස ස්ථවිරයාණෝ අරහත්ඵල ලැබූවෙකි. එවැන්නහු අප්පිච්ඡතා (අල්පෙච්ඡතා) ගුණ ඇත්තාහු ය. ලද දෙයකින් සතුටු වන්නාහු ය. උන්වහන්සේගේ එම වැළැඳීම ආහාර ආශාවෙන් කළ දෙයක් නොවන බව ඉහත ගාථාවෙන් ගළපා ගත යුතු ය.

මෙම සිද්ධියෙන් පසු පැනවූ ශික්ෂාපදයක් හෙයින් බුදුදහමෙහි විනයට අදාළ ශික්ෂා පද පැනවීමේ දී එවැනි වරදක් කළ පුද්ගලයන් දෙදෙනකු එම වරදින් නිදහස් කෙරෙති. උන්මත්තකයා (පිස්සා) එක් අයෙකි. දෙවැන්නා ආදි කම්මිකයා (පළමු කොට එම වරද කළ අය) ය. බෙල්ලට්ඨිසීස මහරහතන් වහන්සේ මේ විනය ශික්ෂාපදය පැනවීමට හේතු වූ පළමු වැන්නා ය. ආදිකම්මකයා ය. එහෙයින් මේ තෙරුන් වහන්සේ වරදින් නිදහස් වූවෙකි.

එසේ වී මුත් ගාථා පද පැහැදිලි කිරීමේ දී දක්වා ඇති පරිදි අරහතුන් වහන්සේ සියලු ආසාවන්ගෙන් මිදුණු විරාගී උතුමන් හෙයින් එවන් අය ලැබු ආමිස දානයක් ළඟ තබා ගෙන අන් දිනක වළඳන ලද්දේ ආහාරයට ලොල් ව නොවේ. තිබුණේ එවන් චේතනාවක් නොවේ. එහෙයින් කර්ම රැස්වීමක් නොවන්නේ ය. ධර්මය ඇසු බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පත්වූහ.

තවත් විශේෂ කරුණක් වනුයේ බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපද පැනවූයේ බුදුවී ද වසර 20කට පසු ය. ඒ වන විට භාග්‍යවතුන් වහන්සේ 55 වැනි වියේ පසුවූ සේක. පිරිනිවීමට වසර 25කට පෙර ය. දැනට ව්‍යවහාරික අධිකරණ ක්‍රියාවලියේ ද වරදකරුවකුට දඬුවම් නියම කිරීමේ දී උන්මත්තකයා හා ආදිකම්මිකයා නිදහස් කෙරේ. රෝමන් ලන්දේසි නීති පද්ධතියනට මෙවැනි වගන්ති ඇතුළත් වූයේ කෙසේද? 19 වැනි සියවසේ 6 වැනි දසකයේ පමණ මේ රටේ බ්‍රිතාන්‍ය පාලනයට හවුල් වූ සමහර ඉංගී‍්‍රසි ජාතික උගත් සිවිල් නිලධාරීන් බුදුදහම කෙරෙහි පැහැදී පාලි - සංස්කෘතාදී භාෂා ඉගෙන පී.ටී.එස්. වැනි සංවිධාන ලන්ඩන්හි පිහිටුවා බුද්ධා භාෂිත ත්‍රිපිටකය ඉංගී‍්‍රසි බසට පරිවර්තනය කොට මුද්‍රණය කරවීමේ ප්‍රතිඵලයක් විය හැකි ය.

නිකිණි අව අටවක

අගෝස්තු 15 සිකුරාදා අ.භා. 11.52 අව අටවක ලබා 16 සෙනසුරාදා අ.භා. 09.37 න් ගෙවේ.
16 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]