සිතින් සවිමත් වෙමු
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
සිත ගැන අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරියට මහ මුහුද වගේ කියලා.
මහ මුහුදේ රළගෙඩි දැක තියෙනවා නේද? ඒවා මොහොතක්වත් එක විදිහට තියෙන්නේ නෑ. හැම
තිස්සේ ම එහෙට මෙහෙට පෙරළි පෙරළී තියෙනවා.
පෙරළි පෙරළී තියෙන රළගෙඩි වගේ තමයි මේ සිත ඇතුළේ එන සිතිවිලි. අපිට දවසක් ඇතුළත
විතරක් කොයි තරම් නා නා ප්‍රකාර සිතිවිලි එනව ද කියලා අපිට ම හිතාගන්නවත් බෑ නේද?
එහෙම පෙරළෙන සිතිවිලි අතරේ අපිට බොහොම අයහපත පිණිස පවතින සිතිවිලි තියෙනවා. ඔන්න
කෙනෙක්ට සිතිවිල්ලක් එනවා තව කෙනකුට ගහන්න ඕනි කියලා. සිතිවිල්ල ආපු පමණින් ලොකු
ප්‍රශ්නයක් නෑ නේද? නමුත් අපි ඒ සිතිවිල්ලට අනුව කය ක්‍රියාත්මක කළොත්, අපි ගහන්න,
රණ්ඩුවට යන්න පටන් ගත්තොත්, ලොකු ප්‍රශ්නයක් ආරම්භ වෙනවා.
ඔන්න කෙනකුට සිතෙනවා තවත් කෙනකුට රළු වචනවලින් බණින්න. ඒ සිතිවිල්ල ආවා කියලා ලොකු
ප්‍රශ්නයක් පටන් ගන්නේ නෑ. නමුත් හිතුණු විදිහට ම රළු පරුෂ වචනවලින් බණින්න පටන්
ගත්තොත්, ලොකු අවුලක් ආරම්භ වෙනවා නේද?
එහෙම නම් තේරෙනවා නේද සිත ඇතුළේ ඇති වූ සිතිවිල්ල, සිත ඇතුළේම පාලනය කර ගන්න
පුළුවන් වුණොත් ඒක විශාල යහපතක් කියලා. ඒත් සිත පාලනය කර ගන්නේ මොකකින්ද? ඔව්. ඒක
කරන්න තියෙන්නෙත් සිතෙන්මයි.
සිත සිතෙන් ම රකින එක කවුද අපට කරලා දෙන්නේ? පින්වත් දරුවනේ ඒක කාටවත් කරලා දෙන්න
බෑ. ඒක කරගත යුත්තේ අපි විසින්මයි. නමුත් සිත සිතෙන් ම රකින විදිහ බුදුරජාණන්
වහන්සේ අපට කියලා දුන්නා. එය ඉගෙනගෙන ඒ අනුව කටයුතු කරන්න අපි දක්ෂ වුණොත් සිත
සිතෙන් ම රැක ගන්න අපිට පුළුවන්.
බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘සිත මහ මුහුදක් නම්, ඒ සිත රකින වෙරළ සීලය යි.’ සීලය
නම් වූ වෙරළ තියෙනවා නම්, සිතේ සිතුවිලි නම් වූ රළගෙඩි කොයිතරම් දරුණුවට නැඟුණත්,
කයින් වචනයෙන් ඒ සිතිවිලි ක්‍රියාත්මක නොවෙන නිසා හානි සිදු වෙන්නේ නෑ. තමන්ගේ
සිතිවිල්ලත්, කුසල මනසිකාරයකින් ටික ටික දමනය කර ගත්තා ම ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ම
අවසන්. හරියට වෙරළ තෙක් ආපු රළගෙඩි ආපසු හැරී යනවා වගේ.
නමුත් ඔයාලට මතක ඇති සුනාමි ව්‍යසනය. මුහුදු රළ වෙරළ ඉක්මවා ගියා. බලන්න කොයිතරම්
විනාශයක් වුණා ද? ඒ වගේමයි, අපේ සිතිවිලි සීලයකින් පාලනය වුණේ නැත්නම් මෙලොව පරලොව
දෙලොවේ ම අයහපත උපදින දේවල් තමයි අපේ ජීවිතේට එකතු වෙන්නේ.
සීලය කියන්නේ ජීවිතයක් තුළ පුරුදු කළ යුතු ම උතුම් වටිනා දෙයක්. බුදුරජාණන් වහන්සේ
ගිහි පින්වතුන් හට නිත්‍ය සීලය ලෙස දිවි තිබෙන තුරුම රක්ෂා කර ගන්න කියා දේශනා කොට
වදාළේ පංච සීලයයි.
කොයිතරම් සතුන් මැරීම උදෙසා සිතුවිලි නැඟුණත්, 'පාණාතිපාතා වේරමණී සික්ඛාපදං
සමාදියාමි' මම ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වු සිල්පදය සමාදන් වෙමි කියලා සිල්වත් වූ
කෙනා සතුන් මැරීමෙන් වළකිනවා. හිතන්න........., මම නිසා මදුරුවෙක් වගේ සතකුටවත් භය
හටගන්නේ නෑ නේද? මම සතුන් මැරීමෙන් වැළකුණු කෙනෙක් නේද කියලා දැනෙද්දී ඒක තමාට
කොයිතරම් සුවයක් ද?
සොරකමට ආසා සිතිවිලි නැඟුණත්, 'අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි' මම
සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි කියලා සිල්වත් වූ කෙනා සොරකම් කරන්නෙ
නෑ. මේ සමාජයේ සෙරෙප්පු දෙකක් ගලවලා යන්න බෑ, නැති වෙනවා. පර්ස් එකක්, ෆෝන් එකක්
ගැන කොයිතරම් බලාගන්න ඕනි ද? වටින චේන් එකක්, මුද්දක්, අරුංගලයක් දාගෙන පාරේ යන්න
බයයි. ගෙදර මල් ගහක් තිබ්බත් ගලවගෙන යනවා. මේ වගේ පරිසරයක තමන් නිසා කාගෙවත්
වස්තුවකට හානියක් නැති බව තමන්ට කොයි තරම් සුවයක් ද?
'කාමේසුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි' මම වැරැදි කාම සේවනයෙන් වැළකීම නම්
වූ සිල්පදය සමාදන් වෙමි කියලා සිල්වත් වුණ කෙනාට කෙතරම් සුවයක් තිබෙනවා ද තමාගේ
සෘජු, අවංක පිරිසුදු ජීවිතේ ගැන.
බොරු කීමට සිතුවිලි නැඟුණත් 'මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි' මම බොරු කීමෙන්
වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි කියලා සිල්වත් වූ කෙනා බොරුවෙන් වෙන්වීම නිසා
තමා ගැන තමාට ම තිබෙන්නේ කොයිතරම් සුවයක් ද?
'සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි' මම මත්පැන් හා මත්ද්‍රව්‍ය
භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි යනුවෙන් සිල්වත් වූ කෙනාගේ සිත
කොයිතරම් නම් සුවයක් ලබනවා ද? මේ සමාජය දෙස බලද්දී. මත් බව නම් වූ ශාපයෙන් තමාට ම
ශාප කරගත් මිනිසුන්, ගැහැනුන් මැද ඔහු කොතරම් සුන්දර චරිතයක් ද?
බොහෝ වෙලාවට මේ රටේ දැන් දැන් මහා වටිනා දෙයක් වගේ උලුප්පන්න හදන අදහසක් තමයි මේ
කාලේ සිල් රකින්න බෑ, කවුද මේ කාලේ සිල් රකින්නේ, සිල් නොරකින පිරිසක් මැද අපි
සිල්වත් වෙලා අසරණ වෙයි...., මේ වගේ නොයෙක් දුර්මත. අපි හොඳින් තේරුම් ගත යුතු දේ
තමයි, තමන්ගේ සීලයේ පිහිට, ආරක්ෂාව තමන්ටමයි. අනිත් මිනිස්සු සිල්වත් ද, නැත් ද
කියන දේ තමාගේ සීලයට කිසිසේත් අදාළ නෑ. ඒ නිසා තරුණ වයසේ සිටම සිල්වත් වෙන්න.
මොකද, භාග්‍යවතුන් වහන්සේගෙන් කෙනෙක් ප්‍රශ්න කළා (කිංසු යාව ජරා සාධු) “නාකි
වෙනකම්ම කරන්න හොඳ දේ මොකක්ද?” කියලා. සියල්ල දන්නා, සියල්ල දක්නා අපගේ සම්බුදු
රජාණන් වහන්සේ වදාළේ 'සීලං යාව ජරා සාධු' “වයසට යන තෙක් ම සිල්වත් වීම හොඳයි”
කියලයි. ඒක තමන් කළොත් තමන්ට හොඳයි. අනිත් කෙනෙක් සිල් රැක්කොත් ඒක එයාට හොඳයි. ඒ
නිසා අනුන්ගේ සිල් හෝ දුස්සීලකම් හෝ තමාගේ සීලයට පටලවා ගන්න තරම් දුර්වල වෙන්න එපා.
බුදුරජාණන් වහන්සේ දිනක් භික්ෂූන් වහන්සේ අමතා දේශනා කළා “මහණෙනි, සීලය තිබෙන්නේ
(සංවරත්ථාය) සංවර වීම පිණිස යි.” ඒ කිව්වේ අසංවරය වළක්වා ගැනීම පිණිස. සීලයෙන් සංවර
වෙන්නේ කය සහ වචනය කියන දෙක. චේතනාවක් පහළ කොට කය සංවර කර ගැනීම සීලයයි. චේතනාවක්
පහළ කොට ම වචන සංවර කිරීම සීලයයි.
ඒ විදිහට සිල්වත් වුණා ම තිබෙන යහපත තමයි (අවිප්පටිසාර) සිත විපිළිසර නොවීම. ඒ
කිව්වේ සිත පසුතැවෙන්නේ නෑ. මගෙන් මෙහෙම, මෙහෙම වැරැදි අඩුපාඩු වුණා කියන පසුතැවීම
සිතට නොඑන්න නම් සිල්වත් වෙන්න ම ඕනි. ඒ සැනසීම අපිට මුදල්වලින්, බලයෙන්,
උගත්කමකින් ගන්න පුළුවන්කමක් නෑ. ඒ සැනසීම ජීවිතයට ලැබෙන්නේ සිල්වත් වීමෙන් ම යි.
රහතන් වහන්සේ මේ සීලය හැඳින්වූවේ උතුම් ආභරණය කියලයි. ඒ ආභරණයෙන් සැරසෙන්න. කෙටි
කලකට ලැබුණු මේ මනුස්ස ජීවිතේ සීලය කියන ආභරණයෙන් ලස්සන කර ගන්න.
ඒ සීල ආභරණයෙන් සැරසුණු කෙනාට මේ ලෝකයේ වාසය කරන හැබෑම සම්‍යක් දෘෂ්ටික යහපත් දෙවි
දේවතාවුන් පවා කැමැතියි. මේ ලෝකයේ මිනිස්සු පලඳින සාමාන්‍ය ආභරණවලට ඇතැම්විට
මිනිස්සු ම කැමති නෑ. දෙවියෝ පි‍්‍රය කිරීම ගැන කවර කතා ද? නමුත් සීල ආභරණය නිසා ම
දෙවියෝ පවා ඒ කෙනාට පි‍්‍රය වෙනවා.
දෙවිවරු කියන්නේ මිනිස් ශරීර පිළිකුල් කරන පිරිසක්. අපිට එළුවන්, ඌරන්, බැටළුවන්,
හරක් වගේ සත්තු ළඟට යද්දී වෙනම ම ගඳක් දැනෙනවා වගේ දෙවියන්ට මේ මිනිස් සිරුර
පිළිකුලයි. නමුත් එබඳු දෙවියෝ සිල් රකින කෙනාව මවක්, දරුවෙක් රකින්නා සේ රකිනවා.
(දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති) දෙවියන්ගේ අනුකම්පාව ලබනා කෙනා හැම
කල්හි ජීවිතයේ යහපත ම දකිනවා.
සිත සිතෙන් ම රකින කටයුත්ත ඔය විදිහට සිල්වත් වීම මූලික කරගෙන පටන් ගන්න. සිතේ
රැකවරණය උදෙසා අවශ්‍ය කරන මූලික ම දෙයක් තමයි සිල්වත් බව. ඔයාලගේ ළඟ සිල්වත් බවත්,
ශ්‍රද්ධාවත් තිබේ නම් එය දිවි ගමන සුන්දර කරන මහා ආශීර්වාදයක් වෙනවා ම යි.
සිල්වත් දිවියකින් යුතු ව සිත සිතෙන් ම රැක ගැනීමට කටයුතු කළොත් දවසෙන් දවස,
මොහොතින් මොහොත ජීවිතේ සුන්දර ජීවිතයක් ම වේවි. |