[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අභිමානවත් ඉතිහාසයක අමරණීය මතකයපොළොන්නරුවේ පොත්ගුල් විහාරය

අභිමානවත් ඉතිහාසයක අමරණීය මතකය පොළොන්නරුවේ පොත්ගුල් විහාරය

පොත්ගුල් විහාර ලෙස හඳුන්වන විහාර රාශියක් ලංකාවේ දක්නට ලැබේ. ඒ සෑම විහාරයක් ම මෙන් ම මහනුවර රාජධානි සමයට අයත් පුස්කොළ පොත් ගබඩා කර ඇති විහාර ලෙස සැලකේ. අතීතයේ පොත්ගුල යැයි හැඳින්වූයේ පුස්තකාලය යි.

පොත්ගුල් විහාරය නමින් හඳුන්වන පැරැණි ම විහාරය පිහිටා තිබෙන්නේ පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අද්දර පුරාණ නගරයේ දකුණු දිශාවේ ය. ක්‍රි.ව.1151 - 1186 අතර කාලයේ මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරවන ලද විහාරයක් යැයි ද සඳහන් ය. පොත්ගුල් විහාරය ලෙසින් හැඳින්වූවත් ඓතිහාසික මූලාශ්‍රවල නම් එවැනි නමක් හමුවන්නේ නැති බවයි සඳහන් වෙන්නේ. මෑත අතීතයට අයත් නමක් විය හැකි බව ද පැවසේ.

මෙම ගොඩනැඟිලි සංකීර්ණයේ ශෛලමය උළුවස්සක තිබී 1906 දී පළමු පුරාවිද්‍යා කොමසාරිස් වූ බෙල් මහතා විසින් සොයා ගන්නා ලද පාලි බසින් රචිත සෙල්ලිපියක සඳහන් වන ආකාරයට, මෙම විහාරය මහා පරාක්‍රමබාහු රජු විසින් මුලින් ම කරවූ බව කියැවේ. පරාක්‍රමබාහු රජුගේ ලීලාවතී රැජින සහ චන්ද්‍රවතී යන බිසෝවරුන් විසින් ප්‍රතිසංස්කරණය කළ බවත් සඳහන් වේ. ඒ අනුව මෙම ගොඩනැඟිලි සංකීර්ණය මහා පරාක්‍රමබාහු රජු කර වූ බව තහවුරු වී ඇත.

පළමු පුරාවිද්‍යා කොමසාරිස් වන බෙල් මහතා විසින් 1904 සහ 1906 වසරවල පොත්ගුල් විහාරය සම්බන්ධ ව මුල්ම පුරාවිද්‍යා ගවේෂණය සිදු කළ බව ද සඳහන් ය. බෙල් මහතාට අනුව මේ හා සමාන තවත් ගොඩනැඟිලි පරිශ්‍රයක් ලංකාවෙන් හමු වී නැති බවක් ද කියැවේ. ගෙඩිගේ ආකාරයේ වලයාකාර ගොඩනැඟිල්ලේ වහලය කඩා වැටීම නිසා එහි ඇතුළත පිරී තිබූ අවශේෂ මෙන් ම නිදන් හොරුන් විසින් සිදුකළ දරුණු කැණීම් සහ සුන්බුන් ඉවත්කිරීම් නිසා ගොඩනැඟිල්ලේ හැඩය පිළිබඳ ව කිසිම තොරතුරක් සොයාගත නොහැකි පරිද්දෙන් විනාශ වී තිබූ බව ද බෙල් මහතා පවසා ඇත.

1906 වසරේ දී බෙල් මහතා ඉදිරිපත් කරන ලද පුරාවිද්‍යා පාලන වාර්තාවක සඳහන් වන්නේ මෙම ගොඩනැඟිල්ල භික්ෂූන් වහන්සේ විසින් දේශනා කරන ලද ජාතක කතා ධර්මයන් ශ්‍රවණය පිණිස තැනූ මණ්ඩප මන්දිරයක් විය හැකි බවයි. පසු කාලීනව මෙය ආරාමික පුස්තකාලයක් බවට හඳුනාගැනීමෙන් පසු පොත්ගුල් වෙහෙර නමින් හැඳින්වීම සිදුකළ බවට ද විශ්වාසයක් පවතී. චූල වංශයේ සඳහන් මහා පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද කපිල විහාරය මෙය බවට ද තවත් අදහසක් ඉදිරිපත් වී ඇත.

මේ කෙසේ හැඳින්වූවත් පසුකාලීන ව බෙල් මහතා විසින් දක්වා ඇති ආරාමික පුස්තකාලයක් යන්න වඩාත් ම පිළිගත හැකි අදහස වන්නේ යැයි සඳහන් ය. එම මතය නිවැරැදි නම් මේ විහාරය, ලෝක පුස්තකාල ඉතිහාසයේ මෙතෙක් හඳුනාගත් පැරණිතම පුස්තකාල ගොඩනැඟිල්ල ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

වර්ෂ 1980 - 1990 දශකය තුළ සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙහි ආරාමික ගොඩනැඟිලි සහ ප්‍රාකාර කැණීම් කර සංරක්ෂණය අවසන් කළ බව ද සඳහන් ය.

 

පුස්කොළ පොතක් වැන්නක් දෑතින් ගත් ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ බවයි ජනපි‍්‍රය මතය වන්නේ. එම ප්‍රතිමාවට නුදුරින් පිහිටි පස්ගොඩැල්ල දැනට දාගැබක් ලෙස හඳුනාගෙන ඇත. එහෙත් එය කැණීම් කර නැති නිසා ඒ පිළිබඳ නිශ්චිත අදහසක් පළ කිරීම අසීරු බවයි සඳහන් ව ඇත්තේ. එම පස්ගොඩැල්ල පරාක්‍රමබාහු රජුගේ ආදාහන දාගැබ විය හැකි බව ද කියැවේ. පොත්ගුල වශයෙන් හඳුන්වන ඉහළ මාලකයේ ගොඩනැඟිල්ලට පිවිසීමට පඩිපෙළක් ඉදිකර ඇත. එම පඩිපෙළෙහි නැඟෙනහිර ප්‍රාකාරය ඇත් පවුරකින් අලංකාර ව ඇත. ඒ වගේ ම මෙම ගොඩනැඟිල්ල වටා මිටි ගඩොල් තාප්පයක් දක්නට ඇත. එය මැද පිහිටි ගොඩනැඟිල්ල වක්‍රාකාර ආකාරයකි. ගෙඩිගේ ආකාරයෙන් පියස්ස ඉදිකර ඇත. ගඩොල් භාවිතයෙන් තනා තිබූ එහි වහලය කඩා වැටී ඇත. බිත්ති පළලින් විශාල ය. බිත්ති මත සිතුවම් තිබී ඇති බවට ශේෂ වී ඇති කොටස්වලින් පැහැදිලි වේ. ගොඩනැඟිල්ලේ වලයාකාර කොටසට සම්බන්ධ ව සෘජුකෝණාශ්‍රාකාර මණ්ඩප දෙකක් නැඟෙනහිර දිශාවට නිර්මාණය වී ඇත. මෙහි පළමුවන මණ්ඩපයේ ගඩොල් බිත්ති සැලකිය යුතු තරමින් දැනට ද ඉතිරි වී ඇති අතර, පසු කාලයක ඉදිකළ දෙවැනි මණ්ඩපයේ පාදම දැකිය හැකි ය. ඒ වගේ ම ගොඩනැඟිල්ල වටා කුඩා දාගැබ් හතරක් දක්නට ඇත. අතීතයේ මෙහි තිබූ අලංකාර අංග වැඩි ප්‍රමාණයක් අද වන විට විනාශ වී ගොස් ඇත.

නිකිණි අව අටවක

අගෝස්තු 15 සිකුරාදා අ.භා. 11.52 අව අටවක ලබා 16 සෙනසුරාදා අ.භා. 09.37 න් ගෙවේ.
16 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]