සසුන‘ඹර පහන්ටැඹ
ආචාර්ය අකුරටියේ නන්ද නා හිමි
මියන්මාර් රාජ්‍යය වෙතින් අග්ගමහා පණ්ඩිත ගෞරව නාම සම්මුතියෙන් පිදුම් ලැබූ ආචාර්ය
අකුරටියේ නන්ද නා හිමි වෙත උපහාර පිදීමේ යතිවර සම්භාවනා ප්‍රණාම උළෙල අගෝස්තු 14
ප.ව. 2.30 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.
මේ ලිපිය ඒ නිමිත්තෙනි
ඌරුගමුවේ අස්සජී හිමි
මං නමස්සන්ති තෙවිජ්ජා - සබ්බෙ භුම්මා ච ඛත්තියා
චත්තාරෝ ච මහාරාජා - තිදසාව යසස්සිනො
අහං ච සීලසම්පන්නො - චිරරත්තසමාහිතෙ
සබ්බා පබ්බජිතෙ වන්දෙ - බ්‍රහ්මචරියපරායනෙ
(සංයුත්ත නිකාය 1, සක්කනමස්සන සූත්‍රය)
ත්‍රිවේදය හදාරන සියලු දෙනා ද, ක්ෂත්‍රියයෝ ද, සිව්වරම් දෙව් මහරජහු ද, යසස් ඇති
දෙවියෝ ද මා (සක්දෙවිඳු) නමදිත්.
මම ද සීලයෙන් සමන්විත වූ, බොහෝ කලක් මුළුල්ලෙහි එකඟ කළ සිත් ඇති බ්‍රහ්මචරිය නම් වූ
උතුම් හැසිරීමෙහි යෙදුනු පැවිද්දන් මැනවින් වඳීමි.
සම්බුදු සසුනේ පැවැත්ම රඳා පවතින උතුම් මහා සංඝ රත්නය සතු ව පැවතිය යුතු සුපටිපන්න
යනාදී උතුම් ගුණ සමුදායෙන් පිරිපුන් රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරටියේ
නන්ද නා හිමි සිරිලක සසුන’ඹර ශෝභාවත් කරන ලක්දිව අතිසම්භාවනීය ථෙරවාදී භික්ෂු
පරපුරේ උදාර ගුණයන් මේ යැයි, මැනවින් ප්‍රකට කරමින් වැඩ සිටින රුහුණේ කීර්තිධර
විද්වත් මහා යතිවරයාණන් වහන්සේ ය.
ආචාර්ය අකුරටියේ නන්ද නා හිමි ස්වයං ලිඛිත චරිත කතාවක් ලෙස වර්ෂ 2016 දී
මුද්‍රණද්වාරයෙන් පළ කළ “මතක ඇති දා සිට.......” ග්‍රන්ථය තුළින් උන්වහන්සේ පිළිබඳ
අප්‍රකට අසිරිමත් ජීවන තොරතුරු රැසක් දිග හැරෙයි. එම ග්‍රන්ථයට විශේෂ ප්‍රකාශයක්
නිකුත් කරන දිවියාගහ යසස්සි නා හිමි සඳහන් කර සිටිනුයේ ගාලු දිසාවෙහි ගිං ගඟ ඇසුරු
කොටගෙන ඈත කාලයේ සිට බිහි වූ ශ්‍රේෂ්ඨතම ගිහි පැවිදි උතුමන්ගේ නාමාවලියෙහි එක් මුතු
ඇටයක් වශයෙන් අකුරටියේ නන්ද නා හිමි හඳුන්වා දිය හැකි බව යි.
ස්වකීය විශ්වවිද්‍යාල ජීවිතය ගැන “මතක ඇති දා සිට...” ග්‍රන්ථයේ අකුරටියේ නන්ද
නාහිමි දක්වන තොරතුරු වෙසෙසින් නූතන ගිහි පැවිදි සරසවි සිසුනට කදිම පූර්වාදර්ශයක්
සපයයි.
“විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තත් භික්‍ෂු ගෞරවය රැක ගත යුතු යැයි බලවත් හැඟීමක් අප තුළ
තිබුණි. එකට ඉගෙන ගන්නා විශ්වවිද්‍යාල සිසුන් සාමාන්‍යයෙන් පැවිදි සිසුන්ට වැඳ පුදා
සමු ගැනීමක් නැතත් අප කෙරෙහි මහත් ගෞරවයෙන් ගිහි පිරිස ආචාර කළහ.”
“විශ්වවිද්‍යාල ජීවිතය තුළ මට නවක වදය නුදුන්නා සේ ම මා විසින් ද කිසිවකුට වචනයකින්
හෝ එවැනි වදයක් නො කරන ලදී. එපමණක් නොව නවක හෝ ජ්‍යෙෂ්ඨ හෝ කිසිවෙක් අප ඉදිරියේ ද
කිසිවකුට එවැන්නක් නොකළහ. වසර හතර පුරා අධ්‍යාපනය ලැබූ සිය ගණනක් භික්‍ෂු ශිෂ්‍යයෝ
ඊට සාක්‍ෂි දරති.”
(මතක ඇති දා සිට, 116-117 පිටු)
වර්ෂ 1954 ජනවාරි මස 20 වැනි දා ජන්මලාභය ලැබූ නන්ද නා හිමි වර්ෂ 1965 ජුනි මස 24
වැනි දා උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් විය. එවකට ලංකාණ්ඩුවේ ප්‍රධාන පිරිවෙන්
පරීක්ෂක ධුරය දැරූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක විද්‍යොදය පරිවේණාධීශ්වර, රාජකීය
පණ්ඩිත,
ශාස්ත්‍රපති කීර්තිශේෂභාවෝපගත අතිපූජ්‍ය අකුරටියේ අමරවංස නා හිමි සහ අතිපූජ්‍ය
බද්දේගම පුඤ්ඤසාර නා හිමි උන්වහන්සේ ගේ අස්මදාචාර්ය පාදෝත්තමයාණන් වහන්සේ වූ හ.
මූලික හා උසස් පාරිවේණික අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙණෙනි.
තදනන්තරව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධියත්, ශාස්ත්‍රපති
උපාධියත්, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ වූ උසස් ඩිප්ලෝමාවත්, දර්ශනපති උපාධියත් ලබා ගත්
නන්ද නා හිමියෝ ඉක්බිති ව එංගලන්තයේ ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි
ඩිප්ලෝමාවත්, තායිලන්තයේ මහාචූලාලංකාර රාජ්‍ය විශ්වවිද්‍යාලය, එංගලන්තයේ
මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය වැනි ඉහළ ම අධ්‍යාපන ආයතනයන් වෙතින් පශ්චාත් උපාධි,
ඩිප්ලෝමා හා දර්ශන විශාරද උපාධියත් හිමි කර ගත් හ.
එවකට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයානුබද්ධ ආයතන සතරෙන් එකක් වූ
විද්‍යෝදය ආයතනාධිපති ලෙස ද, පසුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
උපකුලපතිවරයා ලෙස ද, සිංහල ශබ්දකෝෂයේ ජේයෂ්ඨ කර්තෘවරයකු ලෙස ද, පසුව එහි ප්‍රධාන
කර්තෘ ධුරයට ද පත්ව ඉතා දිගු කලක් අද්විතීය සේවාවන් රැසක් සිදු කළහ.
දකුණු පළාතේ කීර්තිධර විද්වත් යතිවරයන් වහන්සේ වෙත රජය මඟින් පිරිනැමෙන රුහුණ
විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය 2019 වසරේ සිට හොබවන අකුරටියේ නන්ද නා හිමියෝ උප
කුලපති හා කුලපති තනතුරු දෙක ම හෙබවීම තුළින් ලබා ගත් අත්දැකීම් සම්භාරයකින් ද
යුක්ත වන්නාහ.
මියන්මාර් රාජ්‍යය වෙතින් අග්ගමහා පණ්ඩිත ගෞරව නාම සම්මුතිය ලැබූ අකුරටියේ නන්ද නා
හිමි වෙත උපහාර පිදීමේ යතිවර සම්භාවනා ප්‍රණාම උළෙල ගිහි පැවිදි අති සම්භාවනීය
පිරිස ගේ සහභාගිත්වයෙන් අගෝස්තු 14 ප.ව. 2.30 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවත්වීමට නියමිත ව තිබුණි. |