හිත සුව සදන උතුම් වස්සානය
දර්ශනපති
කනංකේ විජිතනන්ද හිමි
ඇසළ පුන් පොහෝ දිනයෙන් පසු එළඹෙන වස් කාල සමය ගිහි පැවිදි අප සැමට ඉතා වැදගත්
වූවකි. විශේෂයෙන් බුදු දහමෙහි දැක්වෙන පරිදි බොහෝ කුසල් දහම් සම්පාදනය කර ගැනීමට
ඉවහල් වන වස් කාලය තුළ ගිහි පැවිදි දෙපක්ෂය ම අන් කවරදාටත් වඩා සහයෝගයෙන් ධර්ම
මාර්ගයෙහි ගමන් කිරීම සිදු කරයි.
සසර දුක නිවාලීම සඳහා මෙම සබැඳියාව අතිශයින් ම වැදගත් ය. බුදුපියාණන් වහන්සේ තමන්
වහන්සේගේ දහම තුළින් බලාපොරොත්තු වූයේ ද එයයි.
උපසම්පදා භික්ෂූන් වහන්සේ බුද්ධ නියමයට අනුව වස් ශික්ෂාපදය සමාදන් වී සියලු දෙනාගේ
දෙලොව දියුණුව උදෙසා ක්‍රියා කිරීම තෙමසක් පුරාවට සිදු කරන අතර, ඒ නිසා ම වස්සාන
සමය බොහෝ ජනයාගේ හිත සුව පිණිස හේතු වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
“අයං වස්සාන කාලෝ”
යන පාලි පාඨය මෙම කාල සමය තුළ සෑම විහාරස්ථානයක ම බෙහෙවින් දැකිය හැකි වූවකි.
වස්සාන සමය ලෙස අර්ථ ගන්වමින් මෙය හඳුන්වා ඇති නමුදු විශේෂයෙන් ගිහි පැවිදි දෙපක්ෂය
ම අන් කවරදාටත් වඩා ගුණ දහම් වඩමින් සසර දුක අවබෝධ කොට ගෙන ක්‍රියාකරන කාලය ලෙස මෙය
හැඳින්විය හැකි ය.
“අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං” යන දේශනා පාඨයට අනුව උපසම්පදා භික්ෂුව
වස් සමාදන් වීමෙන් පසු දායක දායිකාවන් විසින් ද වස් විසීමට ආරාධනා කළ යුතු ය.
සාම්ප්‍රදායානුකූල ව දැහැත් ගොටුවක් පිළියෙළ කොට විවිධ පුද පූජා හා වැසි සළු සමඟින්
පූජා කොට ආරාධනා කිරීම කරනු ලබන්නේ තෙමසක් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරන ලෙස ය.
එසේම තමන් විසින් ද සියලු ඇප උපස්ථාන සිදුකරන බවට දායක පක්ෂය විසින් පොරොන්දු වී
වස් ආරාධනාව සිදු කරන්නේ මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙනි. මෙලෙස ශාසනික නීති රීති
අනුගමනය කරමින් එළැඹෙන වස් කාලය මේ නිසා ගිහි පැවිදි දෙපක්ෂයට ම බොහෝ සෙයින් වැදගත්
වනු ඇත.
උපසම්පදා භික්ෂුව වස් ශික්ෂාපදය රැක ගනිමින් බුද්ධ නියමයට අනුව ගිහි ජනතාවගේ යහපත
නිතර ම අපේක්ෂාවෙන් ක්‍රියා කළ යුතු ය. අනුකම්පාවෙන් ම ඔවුන්ට ධර්ම මාර්ගය පෙන්වා
දීම භික්ෂූන් වහන්සේගේ ප්‍රධානතම කාර්යභාරයයි. “ගහට පොත්තත් පොත්තට ගහත්” යන
සම්බන්ධය බොහෝ සෙයින් ගිහි පැවිදි දෙපක්ෂය තුළ අන් කවරදාටත් වඩා ගොඩනැඟෙනුයේ වස්
කාලය තුළ දී ය. ඒ අන් කිසිවක් නිසා නොව සසර දුක නිවාලීමට අවශ්‍ය බොහෝ පින් පුරන
කාලසමයක සහයෝගයෙන් හා සුහදශීලි ව ක්‍රියා කරන නිසා ආධ්‍යාත්මික ගුණධර්ම බොහෝ සෙයින්
වැඩෙන නිසාවෙනි. බුද්ධ පූජා, බෝධි පූජා, ධර්ම දේශනා, පිරිත් දේශනා, විවිධ පෙරහර ආදී
බොහෝ විවිධ පින් කටයුතු නිතරම පාහේ විහාරස්ථාන මූලික කොටගෙන සිදුකිරීම සිදු වන්නේ
වස් කාලයේ දී ය.
බුද්ධ නියමයට අනුව බෞද්ධ භික්ෂුව අන් කවරදාටත් වඩා තම නිවන් මඟට අවශ්‍ය ගුණධර්ම වඩා
ගැනීම සිදු කළ යුතු ය. එක් ස්ථානයකට වී මෙකී කාල සමය ගත කිරීමට බුදුරදුන් අනුදැන
වදාළේ ද මේ නිසා ය.
“ගිහීන මුප කරොන්තානං
මිච්චං මාමිස දානතෝ
කරෝථ ධම්ම දානේන
තේසං පච්චූපකාරකං”
යනුවෙන් දැක්වෙන පරිදි තමන්ට සියලු අයුරින් ඇප උපස්ථාන කරන ගිහි ජනයාට නිරතුරුව ම
ධර්ම දානයෙන් සංග්‍රහ කළ යුතු බව දක්වා ඇත.
මේ සෑම කරුණක් තුළින් ම මනාව පැහැදිලි වන්නේ අන් කිසිවක් නොව ගිහි - පැවිදි
සම්බන්ධය යි. සිඟාලෝවාද සූත්‍රයේ දී ගිහියා විසින් පැවිද්දාට ඉටු කළ යුතු යුතුකම්
05ක් දක්වා ඇති අතර, පෙරළා පැවිද්දා විසින් ගිහියාට යුතුකම් 06කින් සංග්‍රහ කළ යුතු
ව ඇත.
බුදුදහමට අනුව පුද්ගලයාගේ ප්‍රධානම පරමාර්ථය විය යුත්තේ සසර දුක නිවාලීමයි. එලෙස
සසර දුක නැති කිරීමට අවශ්‍ය බොහෝ ගුණධර්ම වර්ධනය කර ගනිමින් ක්‍රියා කිරීමට ගිහි
පැවිදි දෙපක්ෂයට ම අවැසි මඟ බොහෝ සෙයින් මෙම වස් කාලය තුළ හිමි වන බව මේ අනුව මනාව
සනාථ වේ.
විශේෂයෙන් මේ සඳහා බොහෝ සෙයින් අවශ්‍ය කරනුයේ නිවැරැදි අවබෝධය හා විශ්වාසය යි. එය
බුදු සමය තුළ අර්ථ ගන්වා ඇත්තේ ශ්‍රද්ධාව ලෙසිනි. මෙකී ගුණයන් තවදුරටත් වර්ධනය කර
ගනිමින් වස්සාන සමය ගත කිරීමට අප බෞද්ධයන් ලෙස අදිටන් කර ගත යුතු ය. වෙහෙර
විහාරස්ථාන දියුණූු කරමින් මෙම දැවෙන සසර දුක නිවීමට නිරතුරුව ම අප්‍රමාදී ව
ක්‍රියා කිරීම තුළ දෙලොව ජය ගැනීමට හේතු වන්නකි. ඒ සඳහා මේ පින්බර වස්සාන සමය අර්ථ
සම්පන්න ව ගත කිරීමට නිසි අවබෝධයෙන් ම අදිටන් කර ගනිමු. |