[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ලොව සනාතන දහම

ලොව සනාතන දහම උතුම් ශ්‍රී සද්ධර්මය යි

අප සරණ ගිය අපගේ භාග්‍යවතුන් වහන්සේ ඇසළ පුන් පෝ දිනෙක උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළ සේක. එය ලෝකයේ කිසිදු ශ්‍රමණ බ්‍රාහ්මයකුට හෝ දෙවියකුට හෝ මාරයකුට හෝ බ්‍රහ්මයකුට හෝ ලොවෙහි අන් කිසිවකුට ආපස්සට කැරකැවිය නොහැකි ය.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා “පින්වත් මහණෙනි, සක්විති රජු දැහැම් වූ ධාර්මික රජෙක්. සක්විති රජු වුවත් තවත් රජකුගෙන් තොරව රට පාලනය නො කරයි.”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සක්විති රජු යනු මුළු පෘථීවියට ම එකම රජු බැවින් ඔහුට ඉහළින් සිටින රජු කවුරුන් ද?”

“පින්වත් මහණෙනි, සක්විති රජුට ඉහළින් ඉන්නා රජු ධර්මය යි. මහණෙනි, සක්විති රජු ධර්මය ඇසුරු කරගෙන, ධර්මයට ගරු කරමින්, ධර්මයට පුද දෙමින්, ධර්මය ධජය කරගෙන, ධර්මය ම මුදුන් කරගෙන, ධර්මය ම අධිපති කරගෙන, මාළිගාවේ පිරිසටත්, රාජ පිරිසටත්, බ්‍රාහ්මණ පිරිසටත්, ගෘහපති පිරිසටත්, ජනපදවාසීන්ටත්, ශ්‍රමණ පිරිසට, පමණක් නොව සතා සිව්පාවට පවා දැහැමි නියෝග, තීන්දු, තීරණ, දෙනු ලබයි. එනිසා සක්විති රජුගේ තීරණ වැරැදියි කියන්නට කිසිවකුට නොහැකි යි. සක්විති රජුගේ ආඥා චක්‍රය ආපස්සට හරවන්නට බැරි ඒකයි. ඒ තීන්දු තීරණ ධර්මානුකූල ව නිකුත්වන නිසා.”

“මහණෙනි, සක්විති රජු නිතර ම ඡන්දයෙන්, භයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, අගතියට නොයා තීන්දු තීරණ ගනියි. ආනුභාව සම්පන්න මාණික්‍ය හතකින් යුතු ව, මුළු පෘථිවියට එකම අධිපති ව සිටිද්දීත් සක්විති රජු රාජ බලය ගෙන තීරණ නො ගනියි. මෙය පින ද? මෙය පව ද? මෙය කුසල් ද, අකුසල් ද, යහපත ද, අයහපත ද? තමාටත්, අන් අයටත් හිතසුව පිණිස පවතී ද? සත්පුරුෂයන්ගේ ගැරහීමට ලක්වේ ද? මේ ආදී ලොව සනාතන ධර්ම සිහි කරලයි යම් තීරණයක් ගනු ලබන්නේ. ඒ රජු සතා සීපාවට පවා දැහැමිව ම කටයුතු කරනවා.”

“පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දැහැමි ව, දම් රජු ව සිට, ධර්මය ම ඇසුරු කරමින් ධර්මයට ම ගරු කරමින්, සත්කාර කරමින්, ධර්මය පුදමින්, ධර්මය ම ධජය කොට ගෙන, ධර්මය ම මුදුන් කොට ගෙන, ධර්මය ම අධිපති කරගෙන, කායික ක්‍රියා කරනු ලබනවා. වචනය පිළිබඳවත්, මනස පිළිබඳවත් මෙසේ කළ යුතුයි, මෙසේ නොකළ යුතු වශයෙන් දැහැමි පැනවීම් සිදු කරනු ලබනවා.

භාග්‍යවතුන් වහන්සේ කළ යුතු, නො කළ යුතු දේ පනවන්නේ, විස්තර කරන්නේ ශ්‍රාවකයාට අනුකම්පාවෙන් ම යි. අප කෙරෙහි කිසිදු අමනාපයකින් නොවේ. ලොවේ යහපත, අයහපත කියමින් යමක් තිබේ ද? ඒ සෑම දෙය ම සම්බුදු නුවණින් දැකලයි අපට මේවා කරන්න, මේවා කරන්න එපා කියා වදාළේ. ධර්මය දැකගෙන, දැනගෙන මේ දස කුසල්, මේ දස අකුසල් ලෙස දේශනා කළා. අපගේ ශාස්තෘන් වහන්සේ අවබෝධ කරගත් මේ සුමිහිරි දහම දෙවියන්, මරුන්, බඹුන්, සහිත ලොවෙහි කිසිවකුට වෙනස් කළ නො හැකියි. ධර්ම චක්‍රය ආපස්සට කැරකැවිය නොහැකියි. බුද්ධ වචනය යනු ලොවෙහි පවතින සැබෑ තත්ත්වය පිළිබඳ ව සත්‍ය දේශනාවක්. සැබෑ තත්ත්වය එසේ නොවේ යැයි කිව හැක්කේ කාට ද? යමෙක් එසේ කීවද එ පමණකින් ම මුළු සත්‍යය ම වෙනස් වේවි ද?

අප දන්නවා ගඟක් පහළට ගලා බසිද්දී ඇස් ඇති කෙනෙක් මේ ගඟ පහළට ගලා බසිනවා යැයි කියනවා. අනෙක් සියලු දෙනා එය එසේ නොවේ යැයි කියනවා. එහෙත් ඒ දිය දහර පහළට ම ගලා බසිනවා. ඇස් ඇති පුරුෂයාගේ වචනය තිබෙන දේ පිළිබඳ ව සත්‍ය වූ ම ප්‍රකාශයක් බැවින් එය වෙනස් නොවෙයි. සත්‍ය යනු වෙනස් නො වන දෙයක්.

භාග්‍යවතුන් වහන්සේ නො කළ යුතු කායික ක්‍රියා ගැන දේශනා කොට වදාළා. මූලික වශයෙන් ම ප්‍රාණඝාතය, සොරකම, වැරැදි කාමසේවනය, අකුසල් ලෙස ශ්‍රාවකයාට කියා දුන්නා, ඒ අකුසල තුළින් පාපයක් රැස්වන බව වදාළා. දෙවියන්, මරුන්, බඹුන් සහිත මුළු ලෝකය ම එක් පසෙකට වී ප්‍රාණඝාතය සොරකම, වැරැදි කාමසේවනය තුළින් අකුසල් සිදු නොවෙයි, රැස් නොවෙයි කියා තීරණ ගත්ත ද, බුද්ධ වචනය වෙනස් වන්නේ නෑ. පව පවම යි. අකුසලය, අකුසලයම යි. ප්‍රාණඝාතයෙන් සොරකමින්, වැරැදිකාම සේවනයෙන් වැළකීම කුසලයක්. පිනක්. සකල ලෝකය ම එය පවක් ලෙස කීවත් බුද්ධ වචනය වෙනස් නොවෙයි. ඒ ඇයි? පව, පව ම වශයෙන් පින, පින ම වශයෙන්, කුසලය කුසලය ම වශයෙන් ඇත්ත ඇති සැටියෙන් දේශනා කිරීම බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය යි. එය ආපස්සට කරකවන්නේ කොහොම ද?

මේ අයුරින් බොරුව, කේළම, පරුෂවචනය, හිස් වචනය, භාග්‍යවතුන් වහන්සේ අකුසල් ලෙස වදාළ සේක. ලෝකයා ඒවා කුසල් කිව්වත්, එය කුසලයක් නොවේ. අකුසලය මොන කාලයක, කුමන රටක, කො තැනක කුමන ජාතිකයෙක් සිදු කළත් අකුසලය ම යි.

බොරුකීම කිනම් රටක, සිට කවුරු කිව්වත් අකුසලය ම යි. බුද්ධ වචනය සක්වලින්, සක්වලට වෙනස් වන්නේ නැහැ. එය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තිබෙන ආනුභාවය යි. තේජස යි. එය ධර්ම චක්‍රය යි. අපගේ ශාස්තෘන් වහන්සේ ම වදාළා මේ සුමිහිරි දහම මුල, මැද, අග කො තැනින් ගත්තත් එහි ඇත්තේ එකම ප්‍රනීත රසය බව.

අපගේ සිතින් සිදුකරන අනුන්ගේ දෙයට ලෝභකිරීම, තරහ ගැනීම සහ මිථ්‍යාදෘෂ්ඨිය භාග්‍යවතුන් වහන්සේ අකුසල් ලෙස වදාළා. එය එදත්, අදත් හෙටත් අකුසලයක් ම යි. එය කිසිදු අයුරකින් කාටවත් වෙනස් කළ නො හැකියි. එය එහෙම නොවෙයි කියා කියන්නත් බැහැ. පින් පව් ගැන, කුසල් අකුසල් ගැන, යහපත, අයහපත ගැන, සේවනය කළ යුතු, සේවනය නො කළයුතු දේ ගැන තථාගතයන් වහන්සේ වදාළ බුද්ධ වචනය කිසිම කාලයක, කිසිම දිනයක වෙනස් නොවෙයි. එය සනාතන සත්‍ය ධර්මයක්.

එනිසා අපගේ ජීවිත දහමෙන් පෝෂණය කර ගන්න, ගොඩනඟා ගන්න, මේ දහමේ හැසිරෙන්න අපි උත්සාහ කරන්න ඕනෑ. දහම ළඟට එනතුරු බලා නො සිට දහම සොයාගෙන යාම ශ්‍රාවකයා සතු යුතුකමක්.

නිකිණි අව අටවක

අගෝස්තු 15 සිකුරාදා අ.භා. 11.52 අව අටවක ලබා 16 සෙනසුරාදා අ.භා. 09.37 න් ගෙවේ.
16 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]