නිදහස් සිතින් ගැටලු දකින්න
ඌරුගමුවේ අස්සජී හිමි
යහපත් ගුණධර්ම ඇසුරෙන් සකස් කර ගත් පුද්ගල සබඳතා සමාජය බැබළීමට හේතු වේ. එහෙත්
අනවශ්‍ය කලකෝලාහල ආදියට පැටලී නොහික්මුණු අයුරින් ක්‍රියාකරන අය කොතෙකුත් දැකිය
හැකි ය. ඒ ඒ පුද්ගලයන් ගේ ගුණධර්මවල හිස් බව එමඟින් ප්‍රකට කෙරේ.
ස්වකීය ශ්‍රාවකයන් මුණගැසුණු අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ පිළිසඳර කතාව ආරම්භ
කෙළේ “ඇවැත්නි, කෙසේ ද? ඔබ වහන්සේ සමගියෙන්, සතුටින්, විවාදයකින් තොර ව කිරිත්,
දියත් මුසු වූවා සේ ඔවුනොවුන් දෙස ප්‍රියමනාප බැල්මෙන් බලමින් වසන්නාහුදැ”යි,
අසමිනි. ඒ තුළින් ම උන්වහන්සේ කලබලකාරිත්වයෙන් තොර ප්‍රියමනාප වාසය අගය කර ඇති බව
අපට පැහැදිලි වෙයි.
නූතන සමාජය තුළ “කලහකාරී” “ප්‍රචණ්ඩකාරී” යන වචන නිතර භාවිත වනු අසන්නට ලැබෙයි. එම
වචන අප සිත් තුළ ජනිත කරවනුයේ අප්‍රසාදයකි. ප්‍රචණ්ඩකාරී යන වදන ඇසූ සැණින් ම අප
දුටු ගැටුමක් හෝ ඒ ආශ්‍රිත විනාශයක් පිළිබඳ මතකයට නැඟෙයි.
ඒ ඒ පුද්ගලයන් සතු ප්‍රශ්නවලට මුහුණදීමේ ශක්තිය මත ප්‍රචණ්ඩකාරී අවස්ථාවන් ඇතිවීම
බොහෝ ස්ථානවල දැකිය හැකි දෙයකි. ප්‍රචණ්ඩත්වය ඇතිවනුයේ සිතට නැඟෙන ද්වේශ සහගත වූ
අදහස් නිසා ය. යම් විටෙක එවැනි අදහසක් සිතට නැඟුණු විට අප ක්‍රියා කළ යුත්තේ කෙසේ
දැයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ අනුව අපට යම් විටෙක ද්වේෂ සහගත චේතනාවක්
පහළවූයේ යැයි සිතමු. එම ද්වේෂය අපට දුක් පිණිස පවත්නා බව පළමුව හොඳීන් වටහාගත යුතු
ය. දෙවනුව එය බාහිර සමාජයට ද අවැඩක්, අහිතක් පිණිස ම හේතු වන බව තේරුම් ගැන්ම අපහසු
නොවනු ඇත. අපටත් පොදුවේ සමාජයටත් අවැඩක් වන දෙයක් කොට අවසානයේ සිදුවන්නේ කුමක්ද?
මානසික වශයෙන් පසුබෑමකට, පීඩනයකට පත්වීම යි. එය දිගින් දිගට ම මනසට වද දෙන
සිදුවීමක් වනු ඇත.
එබැවින් අපටත්, සමාජයටත් දුක් පිණිස, අවැඩ පිණිස, මානසික පීඩනය පිණිස හේතු වන එම
ද්වේෂ සහගත චේතනා විනාශ කර දැමිය යුතු ය. එසේ හටගන්නා වූ ත්, අනාගතයේත් හටගැන්මට ඉඩ
ඇත්තා වූත් ද්වේෂය මුළුමනින් ම බැහැර කිරීම අප මෙහි දී ගත යුතු බුද්ධිමත් ම ක්‍රියා
මාර්ගය යි.
ඕනෑම ප්‍රශ්නයකට මනා ඉවසීමකින් අවධානය යොමු කරවීමේ පුරුද්ද එයින් අපට ලැබේ.
ස්වභාවයෙන් ම අපට ප්‍රශ්නවලට මුහුණදීමේ හැකියාවක් තිබේ. එහෙත් එය පුද්ගලයාගෙන්
පුද්ගලයාට වෙනස් ය. අද බොහෝ දෙනකු තුළ හැඟීම්වලට වහල්වීමේ ස්වභාවයක් පෙන්නුම් කෙරේ.
එය ප්‍රචණ්ඩත්වය කරා පුද්ගලයා යොමු කරවන මාවතක් වැනි ය. ඉවසීමේ ශක්තිය ඇති කෙනකුට
ගැටලුවක් ඇති වූ අවස්ථාවක දී එම ගැටලුවෙන් මිදී අලුත් තත්ත්වයකට හැඩගැසීමට හැකියාව
තිබේ. ගැටලුව සඳහා හේතුසාධක වූ දේ අවබෝධ වීමෙන් මානසික පීඩාකාරී තත්ත්වයෙන්
තුරන්වීමට හැකියාව ලැබේ. එහෙත් සමහර අයගේ මෙම ඉවසීමේ ශක්තිය ඉතා දුර්වල ය. එවැන්නෝ
හැමවිට ම ප්‍රශ්නවලට ලෙහෙසි හා ක්ෂණික විසඳුම් සොයති. විටෙක ප්‍රශ්නවල දී ලබා ගත
හැකි ක්ෂණික විසඳුමක් ලෙසට ප්‍රචණ්ඩකාරී ව හැසිරෙති.
මෙම ප්‍රචණ්ඩකාරිත්වය නම් වූ නොමනා පිළිවෙත පාසල් සිසුන් අතරට පවා දැනට පැමිණ තිබේ.
සන්නිවේදන මාධ්‍ය තුළින් වරින්වර අපි ඒ පිළිබඳ ව දැක ඇත්තෙමු. මෙහි දී අප හොඳීන්
වටහාගත යුත්තක් තිබේ. එනම්, මිනිසා, තිරිසන් සතුන්ගෙන් වෙන් වී ඇත්තේ බුද්ධිය හා
ක්‍රියාකාරිත්වය මත යි. එකී අංශ දෙක ම අන්තයට ම පිරිහී ගියහොත් මිනිස් - තිරිසන්
භේදයක් ඇති නොවේ. ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කරන තිරිසන් සතුන් අපි කොතෙකුත් දැක
ඇත්තෙමු. ඔවුන්ට ඉවසීම හෝ ප්‍රශ්න දෙස බුද්ධිමත් ව බැලීම හුරු කළ නොහැකි ය. එබැවින්
දිගින් දිගට ම ඔවුහු ප්‍රචණ්ඩත්වය පෙන්නුම් කරති. මිනිසා ද එම තත්ත්වයට පත් වුවහොත්
සිදුවන්නේ කුමක්ද? තිරිසන් සතුන් ගණයට ඇතුළත්වීම නොවේ ද?
අපගේ සෑම හැසිරීමක දී ම තම තත්ත්වය පිළිබඳ ව ද මනා විමසිලිමත් භාවයකින් සිටිය යුතු
ය. නූගතුන් සේ අනවශ්‍ය වාදභේද ආදියට සම්බන්ධ වී ප්‍රචණ්ඩ ලෙස සමාජයේ හැසිරුනහොත්
පළමු ව අප සමාජයේ කොන් වු තත්වයකට පත්වනු ඇත. ඒ නිසා මව්පියන්ට ද, සහෝදර සහෝදරියන්ට
මෙන් ම ඤාති හිතමිත්‍රාදීන්ට ද අප නිසා පසුතැවීමට සිදුවනවා නොවේ ද? ඇතැම්විට
මවුපියන්ට, ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට විරුද්ධ ව ප්‍රචණ්ඩකාරී ව ක්‍රියා කරන අය ද
අද සමාජය තුළ දැක ගත හැකි ය. එයට හේතුව තමා වෙනුවෙන් ඔවුන් කළ කැපකිරීම හඳුනාගෙන
නොතිබීමයි. මෙය “මුල අමතකවීම” ලෙස ද භාවිතයේ පවතියි. එහෙත් අප එවන් ගුණමකු
තත්ත්වයකට පත් නොවිය යුතු ය.
නූතන සමාජය තුළ ඉගෙනීමෙන් තොර ව ප්‍රචණ්ඩකාරිත්වය කරා බාල පරපුර ඇද දමන බලවේග බහුලව
පවත්නා බව වටහා ගත යුතු ය. විවිධාකාර පුද්ගලයන් ආශ්‍රයේ දී කල්පනාකාරීවීම මෙහි දී
ඉතා වැදගත් ය. බාල අවධියේ සිට ම සියලු ම දෙනා කණ්ඩායම් වශයෙන් හැසිරීමට දැඩි
කැමැත්තක් දක්වති.
කණ්ඩායම් ලැදියාව වැරැදි ලෙස යොදා නොගෙන, වගකීම් මනාව තේරුම් ගෙන ක්‍රියා කිරීමට
ඔවුන් යොමු කරවීම අප සතු කාර්යයකි. කුමක් නිසාද? ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන සිසුහූ
තමන් ළඟා විය යුතු යහපත් අරමුණු කරා ළඟාවන්නෝ නොවෙති. තමත් ජීවත් වන සමාජ වටපිටාවට
ද ඔවුන්ගෙන් සිදුවනුයේ බලවත් අසාධාරණයකි. පළමු ව ඔවුන් තමා කෙරෙහි තබා ඇති අනාගත
අපේක්‍ෂාවන් බිඳ දමනු ඇත. අනාගත අපේක්‍ෂාවන් බිඳ වැටුණු අපේක්‍ෂා භංගත්වයට පත්වුණ
සමාජ කණ්ඩායමකට ඔවුහු ඇතුළත් වෙති. එබැවින් අයිතිවාසිකම් ලබා ගැනීමට හැකි පහසුම මඟ
ප්‍රචණ්ඩත්වය නොවන බව අප අවබෝධ කර ගත යුතු ය.
අප එකිනෙකා කෙරෙහි සහජීවනයෙන් බැඳී සිටින තාක් කල් ගැටුම් ඇති නො වේ. තව ද
දියුණුවෙමින් පවතින රටක ජනතාවට දියුණු රටක මිනිසුන් විඳීන වරප්‍රසාද විඳීමට නොහැකි
වන බව අප තේරුම් ගත යුතු ය. ඒ තුළින් ද අප සිතට නැඟෙන ප්‍රචණ්ඩකාරී හැඟීම් දුරු කර
ගත හැකි වෙයි.
මනා හැකියාවකින් යුක්ත ව ප්‍රශ්න දෙස බැලීමට බුදුදහම අපට උගන්වා තිබේ. ඒ සඳහා සමාජය
හා ලෝකය පිළිබඳ ව ලබා ගන්නා දැනුම අත්‍යවශ්‍ය ය. ලෝකධර්මය පිළිබඳ කම්පා නොවීම උතුම්
මංගල කරුණක් ලෙස ධර්මයේ දක්වා ඇත. මෙහි දී අප ගේ සිත මුල්තැන ගනී. වහ වහා නොයෙක්
අරමුණු කරා දිවෙන සිත සන්සුන් කර ගත යුතු ය. ඒ සඳහා සීලයත්, භාවනාවත් හොඳම
ප්‍රතිපත්තිය වේ. සිත සන්සුන් කර ගැනීමෙන් ප්‍රශ්න දෙස නිදහස් ව බැලීමටත්, සුදුසු
ක්‍රියාමාර්ග ගැනීමටත් පෙළඹෙයි. ඒ නිසා ප්‍රචණ්ඩකාරී අදහස්වලට යොමු නොවන අතර,
උපේක්‍ෂා සහගත ව ප්‍රශ්නවලට මුහුණදීමේ හැකියාව ලැබේ. |