දිවි මඟ සරසන දම්සක් පැවතුම් සුතුර
ශාස්ත්‍රවේදී
වැලිපත ධම්මාරාම හිමි
බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නේ ද, ගිහිගෙය හැර දමා අභිණික්මන් කරන්නේ ද,
දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්නේ ද ඇසළ පෝ දිනයක ය.
උපසම්පදා භික්‍ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන්නේ ද ඇසළ පොහොය දිනයේ වීම තවත්
විශේෂ කරුණකි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනයට වැඩමවා මිනිසුන්, දෙවු
බඹුන් අමතා ආඥා පතුරවමින් පස්වග මහණුන් අමතා උතුම් දම්සක් සූත්‍රය දේශනා කරමින්
ලෝකවාසී සියලු සතුන්හට කෙලෙස් නිවා, නිවන ලබන්නට උතුම් බුදු දහමේ සියලු හරපද්ධතීන්
කැටි කොට වදාළ දිනයකි ඇසළ පෝ දිනය.
මනුෂ්‍ය ශරීරයට අධික සැප දීමත්, අධික දුක් දීමත් නිස්සාර බව පෙන්වා දුන් අතර, සියලු
කෙලෙස් ප්‍රහීණ කර උතුම් බුද්ධත්වයට පත් වී, තමන් වහන්සේ ලද අත්දැකීම් හා අවබෝධය
තුළින් හීන වූ, ග්‍රාම්‍ය වූ, පුහුදුන් පෘතග්ජනයා විසින් අනුගමනය කරන මේ අන්ත
දෙකෙන් මිදෙන අයුරුත් පැවිද්දකු විසින් අත්හළ යුතු අන්ත දෙකක් බවත් පෙන්වා දුන්
සේක. එසේ ම ප්‍රඥාව පහළ වන ආර්යාෂ්ඨාංගික මාර්ගය අනුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර
“නිවන” අරමුණු කර ගත යුතු මාර්ගය පෙන්වා දෙන ලදී. අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන්
මිදී, ප්‍රඥාලෝකය දල්වා සසර පුරාවට ඇතිවන දුක, දුක හට ගැනීම, දුක නැති කිරීම, දුක
නැති කරන මාර්ගය ඉතා ගැඹුරින් අධ්‍යයනය කර එසේ අවබෝධ ලත් තැනැත්තා “නිවන” කරා ගමන්
කරන ආකාරය පෙන්වා දී ඇත.
“යං කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං”
යමක් ඇති වන ස්වභාවය කොට ඇත්තේ ද,
එය නැසෙන ස්වභාවය කොට ඇත්තේ ය, යනුවෙන් යථාභූතඤානය ලබන අයුරු කියාදෙන ලදී.
මේ ලොව පවතින්නේ ඉහත කී කරුණු මත බව අවබෝධ කොට ගන්නේ නම්, ඔහු හෝ ඇය හෝ පංච කාමයන්ට
ගිජු නොවී, එයින් මිදී පසිඳුරන් පිනවීමට ඇති ආශාව, කැමැත්ත තේරුම් ගෙන පහනේ දැල්ලට
ලෝබ වූ කනාමැදිරියාට වන ඉරණම අවබෝධ කර ගනී. දික් වූ සසරෙන් මිදෙන්ට උපායශීලී වේ.
යහපත් සමාජයක්, යහපත් පුද්ගලයකු නිර්මාණය කිරීමේ දී ආර්ය අෂ්ඨාංගික මාර්ගය කොතරම්
වැදගත් ද?, ඒ ආදර්ශය මොන තරම් වැදගත් ද?.
සම්මා දිට්ඨි - යහපත් මානසික පසුබිමේ අඩිතාලමයි. කර්මය හා කර්ම පල පිළිබඳ විශ්වාසය
ගොඩනැඟේ. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා පංචවිධ සම්පත්තීන් කෙරේ වෛර නොකරයි.
තුනුරුවන් කෙරෙහි සැකයක්, වෛරයක් ඇති නොවේ. දුප්පත්, පොහොසත් හා පන්ති භේද නොතකයි.
ධනවතා කෙරේ දුප්පතා වෛර නොකරයි. ඒ දන්දීමේ ආනිසංස බව අවබෝධ කර ගනී. සිල්වතුන්
කෙරෙහි වෛර නොකරයි. ඊර්ෂ්‍යා නොකරයි. ඔවුන් පෙර භවයන්හි සිල් රැකීමේ ආනිසංස ලෙස
ජනප්‍රිය පුද්ගලයකු ලෙස ප්‍රචලිත වේ. අපි ඊර්ෂ්‍යා කර
ඇති ඵලය කුමක් ද ? අනුන් ගැන සිත සිතා අකුසල රැස් කිරීමේ ඵලය කුමක් ද ?
එසේම මවුපියන් කෙරේ විශ්වාසය ඇත්තකු විය යුතු වේ. ඔවුන් සතර බ්‍රහ්ම විහරණයන්ගෙන්
යුතු අය බව තේරුම් ගත යුතු ය. යහපත් දැකීමක් පුද්ගලයකු තුළ තිබිය යුතු වේ.
සම්මා සංකප්ප - කේන්තිය අඩු කර ගැනීම මෙන් ම යහපත් අදහස්, ආකල්ප ගොඩනඟා ගත යුතු වේ.
අවිහිංසා සංකප්ප ඇති කිරීම නිසා කිසිවකුට හිංසා නොකරන්නේ ය. වචනයෙන් පවා හිංසා
නොකරයි. පටිච්ච සමුපන්නතාව ඇති වේ. ආදීනව දන්නා නිසා අව්‍යාපාදය, ද්වේෂය නිසා
නිරයගාමී වීම, තිරිසන් ආත්මභාව පිළිබඳව දන්නා නිසා ඒ තැන්හි ද වැටෙන්නට උත්සාහ
නොකරයි. මම සුවපත් වෙම්වා, මා මෙන් ම සියලු සත්වයෝ ම සුවපත් වෙත්වා, යනුවෙන් සංකල්ප
ගොඩනඟා ගනියි. නෙක්ඛම්ම සංකප්ප, ලෝභ, ද්වේෂ, මෝහ වැනි අකුසල සිත්, තව කෙනකු නිසා
පහළ නොකරයි. බිරිඳ, දරුවන්, මව්පියන්, යහළු මිත්‍රාදීන්, අසල්වැසියන් නිසා ඇති කර
ගන්නා වූ අකුසල සිතිවිලිවලින් මිදෙන්න ක්‍රියා කරයි.
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, වචනය නිසා ඇතිවන අකුසල සිතිවිලි හතරෙන්
මිදෙන්න, පංචසීල ප්‍රතිපදාව දියුණු කිරීම නිසා කරන ක්‍රියාවන් යහපත් වෙනවා. පංච
දුෂ්චරිතයෙන් මිදී සුචරිතයේ යෙදෙන්නා වස විස වෙළඳාම, ආයුධ වෙළඳාම ආදීන්ගෙන් මිදෙයි.
යහපත් කර්මාන්තයක නියැළෙයි. යහපත් දිවි පැවැත්මකට යොමුවන පුද්ගලයා සත්ව ඝාතන
නොකරයි. පෙර සසරේ කළ කර්ම අනුව විඳවන්න වන බව තේරුම් ගනී.
ආජීව අෂ්ඨාංග සීලය මත ක්‍රියා කරයි. ස්වයං සංවරයක් මත ගොඩනැඟේ. හේතුඵල දහම පිළිබඳ
යම් අවබෝධයක් ඇති නිසා තම ජීවිතය හොඳීන් ගෙන යයි.
සම්මා වායාම - කුසල් වඩන්න. කරන කුසල් ශක්තිමත් කර ගන්න. නොකළා වූ කුසල් කරන්න.
ශීලයෙන් ශක්තිමත් වන පුද්ගලයා විනය තුළින් අනුගත වේ. ඔබ, රැකියාව නිසා, ව්‍යාපාර
නිසා, දරුවන් නිසා, ධනය ඉපැයීම උදෙසා ම ජීවත් වන්නේ නම්, ඔබේ ජීවිතයෙන් ඇති
ප්‍රයෝජනය
කුමක් ද ? වෙන අයකු අරමුණු කොට ජීවත්වීම නොව තමා අරමුණු කොට ජීවත් විය යුතු වේ.
තමාගේ ආත්මය යහපත් එකක් කර ගන්නට කටයුතු කළ යුතු වේ.
සම්මා සමාධි - නිවන ආවරණය කරන පංච නීවරණ තුනී කර, සුන්දර යහපත් සිත් තුළ රූපාවචර,
අරූපාවචර ධ්‍යාන ශක්ති උපදී. ඒවා ලෞකික ආර්‍ය මාර්ග ඵල වේ. ලොකෝත්තර “නිවන” ලබන්නට
බැරි වේ. එසේ නම් සතර සතිපට්ඨානය වැඩිය යුතු වේ. විදර්ශනාවෙන් විමර්ශනය කළ යුතු වේ.
කුසල් සිතේ එකඟ බව ඇති කර ගත යුතු වේ. මනා සිහිය වැඩිය යුතු වන අතර, තමාට අවැඩක්
ඇති කර නොගනී. ඔහු මෙලොව, පරලොව දිනන්නෙක් වේ.
ආධ්‍යාත්මික වශයෙන් උසස් තත්වයකට පත්ව තථාගතයන් වහන්සේ පමණක් අවබෝධ කරගත් කෙලෙස්
සංසි¼දීම පිණිස හේතුවන “නිවන” පසක් කරන ආර්යඅෂ්ඨාංගික මාර්ගය හෙවත් මධ්‍යම
ප්‍රතිපදාවට ප්‍රවිශ්ට විය යුතු වේ. ඒ තුළින් අවබෝධ වන කරුණු හතර නම් චතුරාර්‍ය
සත්‍ය යි.
එනම් ඉපදීම දුකකි, ජරාවට පත්වීම දුකකි, ලෙඩවීම දුකකි, මරණය දුකකි. එසේ නම් තණ්හාව
හෙවත් සසරේ නැවත නැවත ඉපදීමට ඇති ආසාව නම්, ඒ ආත්ම ඇලීමයි. ආත්ම ඇලීම නැති වූ
පුද්ගලයා “නිවන” කරා යන්නේ ය. යථාවබෝධයෙන් යුතු ව සසර පිළිබඳ ව දේශනා කළ ඒ උතුම්
දහම, තම තම නුවණේ ප්‍රමාණයෙන් අවබෝධ කර ගන්නේ නම්, දුකින් තොර සැනසීම ලැබෙන්නේ ම ය. |