ඇසළ අව අටවක පෝ දා 2025-07-18
ශක්තිමත් සිත
සිතේ ශක්තිය ඉතා ප්‍රබල ය. අන් සියලු
ශක්තීන් ඉක්මවා යන්නේ ය. අප තථාගතයන් වහන්සේ පන්සාළිස් වසක්
පුරා ලෝ සත වෙත පතළ මහා කරුණාවෙන් දේශනා කොට වදාළේ මේ ශක්තිමත්
සිත මෙහෙයවා ගන්නා ආකාරය පිළිබඳව යි. ඒ සත්වයාගේ දෙලොව යහපත
සැලසීම උදෙසා යි. මේ දුක්ඛිත සසරින් එතෙර ව උතුම් නිවන් මඟ
සලසනු පිණිස යි.
එහෙත් තථාගත ධර්මය සරණ ගියා යැයි කියන බොහෝ
දෙනකුට තවමත් සිත යහපතෙහි යෙදවීමට නොහැකි වී ඇති සැටි පුද්ගල
හා සමාජ සංසිද්ධීන්ගෙන් පෙන්නුම් කරයි. එසේවන්නේ සිත නො වඩන ලද
නිසා ය. සිතේ අවස්ථා දෙකක් පවතින බව ධර්මයෙහි පැහැදිලි කරයි.
භාවිත සිත හා අභාවිත සිත යනුවෙනි. භාවිත සිත
යනු වඩන ලද සිත ය. සිත නිවැරැදි ව හසුරුවන්නේ වඩන ලද, පුහුණු
කරන ලද සිතක් ඇති පුද්ගලයා ය. ඔහුගේ සංවරය, කුසලයට නැමුණු
ස්වභාව ඇත්තේ ය. අසංවර, අයහපතට යොමුවුණු සිත අභාවිත ය. එනම් නො
වඩන ලද, පුහුණු නො කරන ලද සිත ය. අකුසලයට යොමු වන්නේ එවැනි
සිත් ඇත්තා ය.
බෞද්ධයා යනු වඩන ලද සිත් ඇත්තෙකි. ඔහු සිත
වඩන්නේ, එසේත් නැතිනම් සිතට පුරුදු පුහුණු කරන්නේ කාම
සිතිවිලි, රාගී සිතිවිලි පාලනය කරන්නට යි. රාගය, දැඩි කාමය සිත
දුර්වල කරයි. ඒ තුළ හැඟීම්වලට වහල් වී තමන් කරන කියන කිසිවක
යහපත අයහපත තෝරා ගත නොහැකි තැනට වැටෙයි. බුද්ධිය හීන වෙයි. සිත
කිළිටි වී විකෘති වෙයි. පුද්ගලයා වැරැදි මඟට වැටෙන්නේ එසේ තම
සිතේ පාලනය ගිලිවුණ තැන දී ය.
බොහෝ අයට තරහ ව, ක්‍රෝධය, වෛරී ස්වභාවය
පාලනය කර ගන්නට නොහැකි ය. එම සිතිවිලි වර්ධනය වූ වහාම සිතේ
ප්‍රකෘති බව නැතිව යයි. හැඟීම්වලට නතු වෙයි. බුද්ධිය ගිලිහෙයි.
තමන් ද විනාශ වී, අනුන් ද නසන තත්ත්වයට පත්වන්නේ මේ සිතිවිලි
පාලනය නො වුණ තැන දී ය.
සමහරු අලස ය. එය ද සිත අපිරිසුදු කරයි.
එවැනි පුද්ගලයා කුසල ධර්ම වැඩීමෙහි දක්ෂ නොවේ. ලෞකික ජීවිතය සේ
ම ලෝකෝත්තර ජීවිතය ද පරිහානියට පත් කර ගනී.
නො වඩන ලද සිතක තවත් ස්වභාවයක් වන්නේ
වික්ෂිප්ත බවයි. එනම් සිතේ විසිරුණු ගතිය යි. එවැනි සිතක් ඇති
පුද්ගලයා සෑම මොහොතක ම ජීවත් වන්නේ පසුතැවිලි ලෙසිනි. අවුල් වූ
ලෙසිනි. එහා මෙහා දුවන සිත එක තැනකට ගෙන තීරණ ගන්නට ඔහුට
නොහැකි ය.
ඇතැම් ඇය කිසිදු හේතුවක් නොමැති ව යම්
පුද්ගලයන් පිළිබඳ, දේ පිළිබඳ සැක කරති. ඒ තුළ හැඟීමෙන් බරව
ක්‍රියා කරති. එය ද යහපත් නොවේ.
බෞද්ධයා සිත පුහුණූ කළ යුතුවන්නේ මෙම රාගී
ස්වභාවය, තරහව, ක්‍රෝධය, අලස බව, සැකය, වික්ෂිප්ත බව පාලනය කර
ගනිමින් කුසලයෙහි ශක්තිමත් වීමට ය. ඒ සඳහා ශ්‍රී සද්ධර්ම මඟ
දැන ජීවිතය හසුරුවා ගැනීමට අප්රමාදී වෙමු. |