දෙලොව රැකවරණයට ධර්මයෙහි හැසිරෙන්න
බුදුරජාණන් වහන්සේ පාරමී පුරන කාලයේ දී සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ඇස්, ඉස්,
මස්, ලේ, අඹුදරුවන් දන් දෙමින් දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ත පාරමිතා
සම්පූර්ණ කරමින් සොයාගත් උතුම් ම වස්තුව වන්නේ ධර්මය යි. එය ලොව ඇති පරම සත්‍යය යි.
කිසිවකුගේ මඟ පෙන්වීමක් නොමැති ව ස්වෝත්සාහයෙන් ම සොයා ගත් ඒ උතුම් දහම අතීත,
වර්තමාන, අනාගත යන කාලත්‍රය ට ම එකසේ සාධාරණ, සමාන, පොදු වූවකි. එම උතුම් දහම යමකුට
සරණ යෑමට හැකි නම්, අනුගමනය කිරීමට හැකි නම්, ඔවුනට ඒකාන්තයෙන් ම දීර්ඝායුෂ ලැබෙනු
ඇත. එයට හේතුව වන්නේ “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” යන පාඨයට අනුව ධර්මයෙහි
හැසිරෙන්නා ධර්මය විසින් ම රකිනු ඇත යන සදාතනික ධර්මතාවය යි.
යථාර්ථය කැටිකොට දේශනා කර තිබීම ධර්මයේ ඇති සුවිශේෂත්වයකි. ධර්මය යනුවෙන්
හැඳින්වෙන්නේ නවලෝකෝත්තර ධර්මය යි. එනම්,
සෝවාන් මාර්ගය - සෝවාන් ඵලය
සකෘදාගාමී මාර්ගය - සකෘදගාමී ඵලය
අනාගාමී මාර්ගය - අනාගාමී ඵලය
අර්හත් මාර්ගය - අර්හත් ඵලය හා නිර්වාණය යන්නයි.
ආර්ය මාර්ග හා ඵල පිළිවෙළින් පිරීම නිමිති කොටගෙන නිර්වාණය ක්ෂාත්ක්ෂාත් කර ගැනීමට
පුළුවන. පළමු අංගය වූ සෝවාන් මාර්ගයට පිවිසීමෙන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා,
සීලබ්බත පරාමාස දුරු කර ගැනීමට පුළුවන. එතුළින් නිර්වාණයට යන මාර්ගයට පිවිසුනා
වන්නේ ය. සෝවාන් වූ කෙනකු නැවත කිසි කලෙක අපාගත නොවේ.
උපදින්නේ ද මතු ආත්ම බාව හතක් පමණි. ඔවුනට චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය ලැබී
බෝධිපාක්ෂික ධර්ම වර්ධනය කිරීමට ද සිදුවේ. එය වර්තමාන ආත්මය උදෙසා බොහෝ ප්‍රතිඵල
ගෙන දෙනු ඇත. ඒ අතර ප්‍රධාන ම කාර්යයක් වන්නේ දීර්ඝායුෂ ලැබීමයි. ධර්මයේ තිබෙන එක්
ආනිශංසයක් නම් සන්දිට්ඨික ගුණය යි. එනම් වර්තමාන භවයේ දී ම ප්‍රත්‍යක්ෂ වීම නොහොත්
ප්‍රතිඵල ගෙන දිමයි. මිනිසකුට ජීවිතයක අවශ්‍ය වන පංච විධ සම්පත් අතර ප්‍රධාන අංගය
වන්නේ ආයුෂය යි. ආයුෂ ලබා ගැනීමට අප ධර්මය පිළිපැදිය යුතු ය. ඒ සම්බන්ධ ව ජාතක
පොතෙහි සඳහන් මහා ධර්මපාල ජාතක කතාව ඉතා වැදගත් වනු ඇත. එහි ඇතුළත් වන්නේ ධර්මයේ
හැසිරීමේ විපාක පිළිබඳවයි. එනම්,
යටගිය දවස බරණැස් රජු දවස අප මහ බෝසතාණෝ ධර්මපාල නම් බමුණකුට දාව ධර්මපාල නමින්
ඉපිද පන්සිල්, අටසිල් රකින දැහැමි පවුලක විසී ය. ධර්මපාල කුමාරයා දිසාපාමොක්
ආචාර්යවරයා ළඟ ශිල්ප හදාරන කාලයේ දී ආචාර්යවරයාගේ බාල පුතු මිය ගියේ ය. අන් සියලු
දෙනාම හඬා වැළපෙද්දී ධර්මපාල කුමාරයා නොහඬා සිටියේ ය. ඒ ඇයි දැයි දිසාපාමොක්
ආචාර්යවරයා ඇසූ කල ධර්මපාල කුමාරයා පිළිතුරු දුන්නේ “බාල අවස්ථාවේ කිසිවෙක් මිය යන
බවක්, නොදනිමි යි” යනුවෙනි. ධර්මපාල කුමාරයාගේ පිළිතුර සත්‍ය දැයි විමසා බැලීම සඳහා
දිසාපාමොක් ආචාර්යවරයා ඔහුගේ ගමට ගොස් ධර්මපාල කුමාරයාගේ පියාට එළුවන්ගේ ඇටකැබලි
කිහිපයක් දී “ඔබේ පුතා හදිසි රෝගයකින් මිය ගියා" යනුවෙන් පැවසී ය. ධර්මපාල කුමරුගේ
පියා හයියෙන් සිනාසී අපේ පවුලේ කිසිවකු අඩු වයසින් නොමියෙන බව පවසා මෙම ඇට සැකිලි
ගවයකුගේ හෝ එළුවකුගේ හෝ විය යුතු යැයි පවැසී ය. එයට හේතුව කුමක්දැයි දිසාපාමොක්
ආචාර්යවරයා ඇසූ කල ධර්මපාල කුමරුගේ පියා පිළිතුරු දෙන්නේ දාන, සීල, භාවනාවල යෙදී,
දස පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන නිසා බවයි. එයින් සතුටට පත් දිසාපාමොක් ආචාර්යවරයා,
ඔබගේ පුතා මිය ගියේ නැත. ඔබ විමසනු පිණිස මෙසේ අසන ලදැයි උත්තර දුන්නේ ය.
“විශාල ඡත්‍රයක් (කුඩයක්) වැස්සෙන් රැකවරණය ලබා දෙන්නේ යම් සේ ද? මාගේ ධර්මපාල
කුමරු ධර්මය විසින් රකිනු ලබයි. මේ අනිකකුගේ ඇටකටු ය. කුමරු සුවපත් වේවා.”
ඉහත කතා පුවතින් පැහැදිලි වන්නේ ධර්මයේ හැසිරීම දීර්ඝායුෂ ලැබීමට හේතු වන බවයි.
ධර්මයෙහි හැසිරෙන්නෝ අඩු ආයුෂයෙන් නොමැරෙති.
මඝමානවක කතාපුවත තුළින් වුව ද මේ සඳහා කරුණු ගත හැකි ය. මඝ මානවක කුමරුගේ සිල්වත්
ගුණවත් බවත්, ධර්මයේ හැසිරීමත් හේතුවෙන් තමා මරන්නට එවන ලද ඇතා පවා ආපසු හැරී ගිය
බව සඳහන් වේ. ආයුවඩ්ඪන කුමරුට පිරිත් අසන්නට සැලස්වීමෙන් දීර්ඝායුෂ ලැබුණු බවට ද
ඉතා ප්‍රකට කතා පුවතක් වේ. ධර්මය තුළ ඇති ශක්තිය, බලය වචනවලට හසුකිරීමට නොහැකි තරම්
ය. නවාංග ශාස්තෘ ශාසනයට පිවිසීමේ දී සම්‍යක් ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ජීවිතය
ධාර්මික වනු ඇත. එවිට ඕනෑම පුද්ගලයකුගේ ජීවිතය ආරක්ෂා වනු නියත ය.
වර්තමානයේ පරමායුෂ අවුරුදු හැටකට හැත්තෑවකට සීමා වී ඇත්තේ ඇතැම්විට මිනිසුන්
ධාර්මික ජීවිත ගත නොකරන බැවින් විය හැකි ය. නමට බෞද්ධ වුව ද උදේ හවස බණ ඇසුව ද
ප්‍රායෝගික ජීවිතය තුළ ධාර්මික බවක් නොමැති වීම ජීවන ගැටලු රාශියකට හේතු වී ඇත.
සිත, කය, වචනය යන තිදොරින් කළ යුතු වන්නේ දස කුසල හා දස පුණ්‍ය ක්‍රියා ය. ඒවා අද
කොතෙක් දුරට නිවැරැදි ව පිරිසුදු ව කරන්නේ ද යන්න පිළිබඳ විමසා බැලිය යුතු ය.
ආලවක සූත්‍රය තුළ ආලවක යක්ෂයා බුදුරදුන්ගෙන් ප්‍රශ්න කරන්නේ “කිංසු සුචිණ්ණේ
සුබමාවහාති’ යනුවෙනි. එයට බුදුහිමි උත්තර දෙන්නේ “ධම්මෝ සුචිණ්ණෝ සුබමාවහාති”
යනුවෙනි. එනම් මනා කොට පුරුදු කරන ලද හෙවත් රැස් කරන ලද කවර නම් ධර්මයක් සැප
ගෙනදේද? මනා කොට පුරුදු කරන ලද කුසල ධර්මය සැප ගෙන දේ.
“ධම්මං විනා නත්ථි පිතාච මාතා” යනුවෙන් ධම්මපදය තුළ සඳහන් වන්නේ ධර්මයෙන් ලැබෙන
පිහිට මවකට හෝ පියෙකුට හෝ කළ නොහැකි බවයි.
“සද්ධම්මෝ පරම දුල්ලභෝ” ධර්මය පරම දුර්ලභ කාරණයක් බවත් සඳහන් වේ. පරාභව සූත්‍රය තුළ
“ධම්මකාමෝ භවංහෝති ධම්මදෙස්සී පරාභවෝ” යනුවෙන් ධර්මයට අකැමැති වීම පිරිහීමට හේතුවක්
බවයි පෙන්වා දෙන්නේ. මේ ආදී වශයෙන් විවිධ කරුණු තුළින් පැහැදිලි වන්නේ ධර්මයට
පිටුපෑම පිරිහීමට හේතුවක් බවත්, ධර්මයෙහි හැසිරීම ආයුෂ ඇතුළු විවිධ සම්පත් ලැබීමට
කාරණයක් වන බවත් ය.
දුර්ලභ ව ලැබු මිනිසත් බව තුළ ඇති වටිනාකම දැන හඳුනාගෙන ඉන් ප්‍රයෝජනය ලබා ගත යුතු
ය. තමාගේ පිහිට තමා විසින් ම හදා ගත යුතු ය. එය වෙනකෙකු නොහදනු ඇත. තමා තමාට
ප්‍රදීපයක් කොට වාසය කළ යුතු ය. ඒ සඳහා ධර්මය පහුරක් කර ධර්මයෙන් ලැබෙන අනුසස්
ලැබීමටත් උත්සුක විය යුතු ය. ධම්මං චරේ සුචරිතං - නතං දුච්චරිතං චරේ” ධර්මයේ
හැසිරීමත්, අධර්මයේ නොහැසිරීමත් කළ යුතු ය. එතුළින් ලෞකික, ලෝකෝත්තර දෙඅංශය ම ජය ගත
හැකි බව සිතට ගත යුතු ය.
- අයන්ති විතාන |