දළදා වහන්සේට රැකවරණය දුන් කොත්දූව රාජමහා විහාරය

දළදා වහන්සේට රැකවරණය දුන් කොත්දූව රාජමහා විහාරය

දකුණු පළාතේ පිහිටා ඇති සංචාරක ආකර්ෂණය බහුල ලෙස දිනාගත් ස්ථාන අතර මාදු ගඟ සහ ඒ ආශි‍්‍රත පරිසර පද්ධතිය ප්‍රධාන තැනක් ගනී. අතීතයේ දී මාදු ගඟේ දූපත් 50කට අධික ප්‍රමාණයක් පිහිටා තිබුණත් අවාසනාවකට මෙන් වර්තමානය වන විට දැකිය හැක්කේ ඉතා සුළු දූපත් ප්‍රමාණයකි.

මේ සෑම දූපතක් පිළිබඳ ව ඊට ආවේණික කතන්දර සහ සිදුවීම් තිබේ. උතුම් වූ දන්ත ධාතූන් වහන්සේට මුලින් ම රැකවරණය ලබා දුන් බවට සැලකෙන කොත්දූව රාජමහා විහාරය මෙරට ඇති බෞද්ධ විහාරස්ථාන අතරින් එතරම් අවධානයට ලක් නොවුනු විහාරස්ථානයක් වුව ද එහි ඇති ආගමික හා ශාසනික වැදගත්කම ඉතා ඉහළ ය.

විහාරස්ථානයේ අතීත කතාව දළදාගමනය තෙක් ඈතට විහිදේ. ජනප්‍රවාදයන් හි එන පරිදි හේමමාලා කුමරිය සහ දන්ත කුමරු දන්ත ධාතුන් වහන්සේ රෝහණයේ වැලිතොට වරාය ආසන්නයේ සිට ලංකාවට වැඩම කරවන අවස්ථාවේ මෙහි පැවති යුද තත්ත්වය නිසාවෙන් මාදු ගඟ මැද දූපතකට පැමිණ වැලිවලින් සෑදු කොතක දන්ත ධාතූන් වහන්සේ නිදන් කොට පුද පූජා පවත්වා ඇත. වැලිවලින් කොතක් නිර්මාණය කොට දළදා වහන්සේ තැන්පත් කිරීම නිසා මෙම දූපතට කොත්දූව ලෙසින් භාවිත කිරීම ආරම්භ වූ බවට ද විශ්වාසයක් පවතී. මෙම යුදමය වාතාවරණය නිම වූ පසු අනුරාධපුරයට ගොස් කිත්සිරිමෙවන් රජුට දළදා වහන්සේ භාරදුන් බව ද කියැවේ.

තවද මෙම කොත්දූව රාජමහා විහාරයේ රෝපණය කර ඇති බෝධීන් වහන්සේ ද විශේෂයක් ඇතැයි පැවසේ. මහින්දාගමනය සිදුවූ අවස්ථාවේ දි මෙරටට වැඩම කරවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හට ගැනුණු දෙතිස් ඵල බෝධීන් වහන්සේගෙන් අවසාන දෙතිස් ඵල බෝධීන් වහන්සේ අද රෝපණය කර ඇත්තේ ද කොත්දුව රාජමහා විහාරයේ බව ජනප්‍රවාදයේ හි සඳහන් ය. තවත් ජනප්‍රවාදයක එක්තරා කාලයක දී රෝහණයේ පාලකයා වූ දේවපතිරාජ අමාත්‍යවරයා විසින් එම බෝධීන් වහන්සේ මෙම විහාරස්ථානයේ රෝපණය කරන ලද බව ද කියැවේ.

වර්තමානයේ බැතිමතුන්ට දැකගත හැකි මෙම කොත්දූව විහාරය මීට වසර සියයකට ආසන්න කාලයක් තුළ ඉදිකරන ලද්දක් වුව ද මෙම ස්ථානයේ විහාරස්ථානයක් අතීතයේ පිහිටා තිබූ බවට ද සාක්ෂි දෙවැනි පරාක්‍රමබාහු රජ දවස දක්වා දිවයන බව ද කියැවේ.

කෝට්ටේ රාජධානි සමයේ වීදිය බණ්ඩාර කුමරුගේ පාලන සමයේ දී සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා දළදා වහන්සේ මෙම දූපතෙහි තැන්පත් කර තිබූ බව ද මූලාශ්‍රයන්හි සඳහන් ය.

වර්තමානයේ මෙම දූපතේ දැකිය හැකි විහාරස්ථානය එවකට බලපිටිය මහා කප්පින වලව්වේ ශ්‍රීමත් සැම්සන් රාජපක්ෂ මහ මුදලිතුමාගේ බිරිඳ රුපියල් දසදහසක පමණ මුදලක් වැය කොට ඉදිකරවා ඇති බවට ද සඳහන් වේ.

මාදුගඟ මධ්‍යයෙහි වූ දූපතක පැරැණි බෝධීන් වහන්සේ නමක් සහ නටබුන් දක්නට ලැබෙන බව ධීවරයන්ගෙන් ලැබෙන ආරංචියක් මත මහා කප්පින වලව්වේ සැම්සන් රාජපක්ෂ මුදලිතුමාට දැන ගන්නට ලැබී ඇතැයි සඳහන් වේ. ඒ අනුව එහි සත්‍ය අසත්‍ය බව සොයා බලා දැක ගැනීමට පෝය දිනක අඟුලක නැගී සේවකයන් සමඟ කොත්දූව දූපතට ගොස් ඇතැයි ද කියැවේ. කැලෑවට යට වී තිබූ නටබුන් දුටු මුදලිතුමා රැගෙන ගිය මල් බෝධීන් වහන්සේට පූජා කොට පහනක් ද දල්වා තබා දූපතෙන් පිටත්වීමට අඟුලට ගොඩ විය.

ගඟ මැදට පමණ ගොස් ආපසු හැරී දූපත දෙස බලන කල දුටු දසුනින් මුදලිතුමා බොහෝ බියට පත්වූ බව ද කියැවේ. මුදලිතුමා දැක ඇත්තේ කොත්දූව දූපත ම ගිනිගෙන දැවෙන බවකි. තමා දල්වා තබා පැමිණි පහනින් මෙය සිදුවනවා ඇතැයි සිතා බිය වී කලබලයට පත් මුදලිතුමා, අඟුල ආපසු හරවා ගෙන දූපතට පැමිණ බෝධීන් වහන්සේ අසලට ගිය ද තමා දැල්වූ පහන නිරුපද්‍රිත ව දැල්වෙමින් තිබෙන අයුරු දැක ගන්නට ලැබී ඇතැයි පැවසේ.

මෙම දූපතේ මෙන් ම බෝධීන් වහන්සේගේ හාස්කම් ඇතැයි සිතූ මුදලිතුමන් මෙම ස්ථානයේ විහාරස්ථානයක් ඉදිකිරීමට අධිෂ්ටාන කර වර්තමානයේ මෙම දූපතේ දැකිය හැකි විහාරය කර වූ බව ද සඳහන් ය. මෙහි ඉදිව ඇති ස්තූපයේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇතැයි ද ඉතිහාස තොරතුරුවල සඳහන් ය. මුදලිතුමන් ඉදිකළ පැරැණි ගොඩනැඟිලි කිහිපයක් ද මෙම කොත්දූව දූපතේ දැක ගත හැකි ය.

ඇසළ අව අටවක

ජුලි 17 බ්‍රහස්පතින්දා අ.භා. 07.09 අව අටවක ලබා 18 සිකුරාදා
අ.භා 05.02න් ගෙවේ.
18 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]