අනුන්ගේ කීර්තියට
ගරහන්න එපා
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කාලයේ ඒ නුවර
තෙරුවන් සරණ ගිය කෝටි පහකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වුණා. ඒ හැම දෙනා ම වගේ අවස්ථාව
ලද හැම වෙලාවේ ම ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් හා ශ්‍රාවක සංඝයාගෙන් බණ
අහනවා.
ඇතැම් දිනවල සැරියුත් මහරහතන් වහන්සේගෙන්, මුගලන් මහරහතන් වහන්සේගෙන් බණ අහනවා.
බෞද්ධයෝ හැමෝම වගේ මේ රහතන් වහන්සේගේ බණ අසා ගෙදර යන ගමන් ඒ දෙදෙනා වහන්සේගේ ගුණ
කතා කරනවා.
දිනක් සැරියුත් මහරහතන් වහන්සේගේ ධර්ම දේශනාවක් අසා ගුණ කතා කරමින් යන කොට
‘ලාලුදායි’ නම් භික්ෂුවට ඇහුණා උන්වහන්සේගේ ගුණ කතා කිරීමක්.
‘බලන්න අපේ සැරියුත් මහරහතන් වහන්සේත්, මුගලන් මහරහතන් වහන්සේත් බණ කියන කොට අපට
හො½දින් තේරෙනවා. හොඳට ධර්ම කරුණු තෝරලා දෙනවා. හැමෝම වගේ මේ රහතන් වහන්සේගෙන් බණ
අහන්න හරිම කැමැති‘යි. මේ විදිහට ගුණ කතා කරන විට ‘ලාලුදායි’ භික්ෂුව ඒ කතාව අහගෙන
හිටියා. ඊට පස්සේ ‘හොඳයි ඒ දෙන්නාගේ බණ අහලානේ මෙහෙම ගුණ වර්ණනා කරන්නේ. මගෙන් බණ
අහපු දාට මං ගැන මොනවද කියන්නේ. අපටත් පුළුවන් හොඳට බණ කියන්න‘යි කිව්වා.
ඒ පිරිසත් මේක අහගෙන ඉඳලා හිතුවා ‘මේ නම් හොඳ ධර්ම කථිකයන් වහන්සේ නමක් වෙන්නට ඇති.
අපි ඉතිං බණ අහලා නැති නිසා හරියට කියන්න දන්නේ නෑනේ උන්වහන්සේගේ බණ හොඳයි ද, නරකයි
ද කියලා. අපි දවසක උන්වහන්සේට ආරාධනා කරලා බණක් අහමු. ඊට පස්සේ අපට පුළුවන්නේ
උන්වහන්සේ ගැනත් ගුණ වර්ණනා කරන්න‘යි කියලා තීරණය ගත්තා.
කතා කරගත්ත විදිහට දවසක් ජේතවනාරාමයට දානය පූජා කරලා ‘ලාලුදායි’ තෙරුන් වහන්සේ ළඟට
ගිහින් වන්දනා කරලා ‘ස්වාමිනි, දැන් ධර්ම දේශනාවට කාලය හරි, අපට අනුකම්පා කරලා බණට
වඩින්න‘යි ආරාධනා කළා. ‘ලාලුදායි’ තෙරුන් වහන්සේත් සිවුර හොඳට පොරවාගෙන, අලුත්
වටාපතකුත් ගෙන ධර්මාසනයට ගොඩවුණා. ආසනයේත් අසුන් ගත්තා. ආසනයේ ඉඳගෙන, වටාපත එහෙට
මෙහෙට කරමින් පවන් සලනවා. බණ පදයක්වත් කිව්වේ නැහැ. අවසානයේ දී ‘මම මේ පිරිසට පෙළ
දේශනා කරන්නම්, වෙනත් භික්ෂුවක් වඩමවාගෙන ඇවිත් අරුත් තෝරාගෙන බණ අහන්න‘යි කිව්වා.
මෙහෙම කියලා බණ ආසනයෙන් බැහැලා යන්න ගියා.
ඒ පිරිස වෙනත් භික්ෂුවකට ආරාධනා කරලා උදේ ධර්ම දේශනාව සිදු කර ගත්තා. ධර්ම දේශනාව
අවසන් වෙන කොට දායක පිරිස නැවතත් ‘ලාලුදායි’ තෙරුන් වෙත ගොස් ‘ස්වාමිනි, ධර්ම
දේශනාව අවසන් කළා පෙළ දේශනාවට වඩින්න‘යි ආරාධනා කළා. ආරාධනාව පිළිගෙන ධර්මාසනයට පෙර
පරිදි ම ගොඩවෙලා ඉඳගෙන බොහෝ වේලාවක් හිටියත් පෙළ දහම දේශනා කරන්න නො හැකි වුණා. ඊට
පස්සේ කිව්වා. ‘දැන් පෙළ තෝරා ගන්න කටයුත්ත වෙනත් භික්ෂුවක් ලවා කරවා ගන්න‘ මම රෑට
බණ කියන්නම්‘යි කියලා ඒ පාරත් එතැනින් මඟඇර යන්න ගියා.
සවස් කාලයේ උපාසක-උපාසිකා පිරිස භික්ෂූන් වහන්සේට අවශ්‍ය තල තෙල්, උක් හකුරු, මී
පැණි, ගිතෙල්, සිවුරු පිරිකර, ආදිය ගෙන පූජාවට අවශ්‍ය මල්, පහන් ආදියත් ගෙන විහාරයට
ඇවිත් ඒවා සුදුසු පරිදි පූජා කරලා ‘ලාලුදායි‘ තෙරුන්ගේ ධර්ම දේශනාව අහන්න ඉඳගත්තා.
‘ලාලුදායි’ තෙරුන් වහන්සේත් උදේ සහ දහවල් කාලයේ වගේම මෙවරත් ධර්මාසනයට ගොඩවෙලා
කිසිවක් කියා ගත නො හැකි ව
‘පින්වත්නි, මම වෙහෙසට පත්වෙලා ඉන්නේ. උදෑසන ධර්ම දේශනාව මා විසින් සිදු කරලා
දෙන්නම්. මේ ධර්ම දේශනාවත් වෙනත් භික්ෂුවක් ලවා කරවා ගන්න‘යි කියලා එවරත් මඟහැර
ගියා. උපාසකවරු රාත්‍රි ධර්ම දේශනාව වෙනත් භික්ෂුවක ලවා සිදු කරවා ගත්තා. පාන්දර
ධර්ම දේශනාව සිදු කරන්නට ‘ලාලුදායි’ තෙරුන්ට ආරාධනා කරලා ධර්මාසනයට වඩමවා ගත්තා. ඒ
මොහොතේත් බණ කියා ගන්න බැරි වුණා. ඒ වෙනුවෙන් ම සූදානම් වෙලා තමන්ගේ කාලය කැප කරගෙන
බලාගෙන හිටි පිරිස දොස් කියන්න පටන් ගත්තා. ධර්ම ශාලාව මහා ඝෝෂාවකින් පිරී ඉතිරී
ගියා. පිරිසක් කියන්න පටන් ගත්තා ‘මේ ‘ලාලුදායි භික්ෂුව’ ‘අපව රැවටුවා, සැරියුත්-
මුගලන් දෙනමට දොස් නැගුවා. උන්වහන්සේගේ
බණ ඉවසා ගන්න බැරිව මටත් බණ කියන්න පුළුවන් කිය කියා කියෙව්වා. දැන් බණ කියන්න
බැරිව පැනයනවා‘ ඇයි එහෙම අගසව් දෙනමට දොස් නැඟුවේ? කිය කියා පස්සෙන් එලවන්න පටන්
ගත්තා.
‘ලාලුදායි’ භික්ෂුවත් පණ බේරා ගන්න දුවනකොට දිරා ගිය වැසිකිලි වළකට වැටුණා. මේ පුවත
මොහොතින් විහාරය පුරා පැතිර ගියා. ඒ විතරක් නෙවෙයි. ගම් නියම්ගම් පුරාම පැතිර ගියා.
හවස් වෙනකොට සැවැත්නුවර පුරා ම ආරංචිය පැතිරුණා. සවස දම්සභාවට වැඩම කළ බුදුරජාණන්
වහන්සේටත් මේ පුවත භික්ෂූන් වහන්සේ වෙතින් අහන්න ලැබුණා.
එතැන දී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා දේශනා කරනවා
‘මහණෙනි, දන්නා ධර්ම කරුණ හරි, දන්නා ශිල්පය හරි හොඳීන් දේශනා කරන්න හෝ ක්‍රියාවේ
යොදවන්න නම් ඒවා නැවත නැවත සිහි කළ යුතු වෙනවා. නැවත නැවත අධ්‍යයනය කළ යුතු වෙනවා.
එහෙම
නැති වුණොත් ඒවා යකඩයක් මලවලින් බැඳී යනවා වගේ වැහිලා යනවා. ගෙදරක කැඩුම් බිඳුම්,
දිරාපත්වීම් සිදුවෙන කොට ඒවා සකසන්න ඕන. එහෙම නැත්නම් ටික දවසකින් ගේ වාසයට
නුසුදුසු ස්ථානයක් වෙනවා. අපගේ ශරීරය දහදිය හා දූවිලිවලින් හැමදා ම පිරෙනවා. ඒ නිසා
නැවත නැවත ශරීරය ද පිරිසුදු කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් තමා ළඟ ඉන්න අයගේ
හිස්මොළ දුගඳීන් කකියවන්න පටන් ගන්නවා. ඒ වගේ ම ප්‍රමාදී ව කටයුතු කරන අයගේ වස්තුව
මොහොතින් විනාශයට පත් වෙනවා. ඒ නිසා නිතර ම නුවණින් හා සිහි කල්පනාවෙන් ජීවත් විය
යුතු වෙනවා’යි පැමිණ සිටි පිරිසට ධර්මාවවාද කිරීමේ පුවතක් ධම්මපදයේ මල වග්ගයේ සඳහන්
වෙනවා.
පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ‘ලාලුදායි’ භික්ෂුව කටයුතු කළා නම්
පිරිසක් ඉදිරියේ නින්දාවට, අපහාසයට, ලජ්ජාවට පත් වෙන්නේ නැහැ. අපකීර්තියක් සමාජයේ
පැතිර යන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ තරම දැනගෙන කටයුතු කරන්න ඕනෑ.
අනුන්ගේ කීර්ති ප්‍රශංසාවලට ගරහන්න හොඳ නැහැ. තමන්ට කීර්ති ප්‍රශංසා නැති නම් ඒවා
උපදින විදිහට අප්‍රමාදී ව, නුවණින් කටයුතු කරන්නට ඕනෑ. එහෙම �ට ඕනෑ. එහෙම පිරිස තමා මෙලොවත්,
පරලොවත් කීර්තියට වගේ ම සැපයෙන් සැපයට පත් වෙන්නේ. |