මඩහපොළ
මංගල හිමිපාණෝ අසූ දෙවැනි විය සපුරති
මඩහපොළ විමලජෝති හිමි
වයඹ දිසාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල හත්පත්තුවේ ඉහළ ඕතොට කෝරළයෙහි මඩහපොළ
නම් රමණීය ග්‍රාමයේ බද්දේගම වලව්වෙහි විසූ රාජපක්ෂ වාසල අතපත්තු බණ්ඩාරනායක
මුදියන්සේලාගේ තෙන්නකෝන් බණ්ඩාර නිලමේතුමන්ට හා වත්තේ වලව්වේ අනුලාවතී කුමාරිහාමී
මහෝපාසිකාවගේ දෙටු පුතනුවන් ලෙස රාජපක්ෂ වාසල අතපත්තු බණ්ඩාරනායක මුදියන්සේලාගේ
සුමනතිස්ස බණ්ඩාර කුල කුමරු මෙලොව එළිය දකින්නේ 1943 ජූනි මස 30 වැනි දිනයේ දී ය.
මඩහපොළ මහින්ද මහ විදුබිමේ අයනු ආයනු කියන අවධියේ දී ම අපවත් වී වදාළ ගරු මොහොත්තව
විමලජෝත්‍යාභිධාන අතිගෞරවණීය ලොකු හාමුදුරුවන්ගේ අන්තේවාසික වන සුමනතිස්ස බණ්ඩාර
කුල කුමරුවන් 1953 වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දින දී පෙර කළ පින් මහිමය හේතුවෙන්
මඩහපොළ මංගල නමින් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වන්නට විය.
එතැන් පටන් මඩහපොළ මංගල හෙරණපාණෝ උගතමනා බණ දහම් හා නෙක දැනුම ලැබුමට අත්පොත්
තබන්නේ කුරුණෑගල මලියදේව විද්‍යාරක්ෂක පිරිවෙන් විද්‍යාස්ථානයෙන් ය. ප්‍රාචීන
පණ්ඩිත ආදී විභාගවලින් ඉහළ ම දක්ෂතා පෙන්වු අප කථානායකයාණන් වහන්සේ කැලණිය
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය පශ්චාද් උපාධි
ආයතනය මඟින් පිරිනමන ශාස්ත්‍රපති උපාධියත් ලබන්ට විය. ඒ අතර ම නිසි වයස් සම්පූර්ණ
වූයෙන් මහනුවර මල්වතු මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව 1964 ජූනි මස
20 වැනි දින දී පිහිටුවනු ලැබීය.
උගත් සිප්සතර තුළින් තම ගම්වැසියන්ට ම සේවාවක් කරන්නට අදිටන් කර ගත් කථානායකයාණෝ තම
ගුරු හිමියන් දායාද කළ මඩහපොළ ශ්‍රී ජයන්ති මහ පිරිවෙන් විද්‍යාස්ථානයේ දහස් ගණන්
ගිහි පැවිදි සිසුන්ගේ නැණස පාදමින් වසර 33ක් මුළුල්ලේ හොබවමින් කළ සේවය ඉමහත් ය.
අද වන විට මඩහපොළ ශ්‍රී ජයන්ති මහ පිරිවෙනෙහි කෘත්‍යාධිකාරි ධුරය හොබවමින් විවේක
සුවයෙන් වැඩ වසන අප ගුරු දේවයන් වහන්සේ වෙනුවෙන් පසුගිය දා සර්වරාත්‍රික පරිත්‍රාන
දේශනයක් සහ පසුදින අර්ධ ශතාධික මහා සංඝරත්නය උදෙසා සාංඝික දානමය පින්කමක්
පැවැත්විණි. මඩහපොළ ශ්‍රී රතනපාලාරාමයේ, මඩහපොළ ශ්‍රී ජයන්ති මහ පිරිවෙනේ
පඩිකාරමඩුවේ සුදින්න ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඉටුකරන ලද විසිඑක් රියන්
උසැති අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීම අනුරාධපුර
අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, සාහිත්‍යසූරී, ආචාර්ය පල්ලේගම
හේමරතන නාහිමි සහ නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති, ජාත්‍යන්තර භාවනා උපදේශක,
මහාකම්ට්ඨානාචාර්ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ
වැඩමවීමෙන් සිදුකරනු ලැබිණි.
මඩහපොළ ශ්‍රී ජයන්ති මහ පිරිවෙන් රත්නෝදය මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලේ දන්
දීමේ පුණ්‍ය කර්මයක් ද පැවැත්විණි. මේ පින් බෙලෙන් අස්මදාචාර්ය මඩහපොළ මංගල
ගුරුදේවයන් වහන්සේට නිදුක් නීරෝගි ව ශතවර්ෂාධික කාලයක් යෙහෙන් සසුන් වැඩ යෙදෙන්නට
අවශ්‍ය ශක්තිය තෙරුවන් සරණින් ලැබේවා’ යි පතමි. |