සම්බුදු දහමෙන් සුපෝෂිත වූ සාහිත්‍ය කලාවේ රුව ගුණ
සිංහල සාහිත්‍යයත්, බුදුදහමත් ගහට පොත්ත සේ බැඳී පවතී. බුදුදහමෙන් තොර සාහිත්‍යයක්
අපේ ඉතිහාසයේ පෙනෙන්නට නැත. හෙළ සාහිත්‍යකරුවා නිරතුරුව ම ගමන් ගත්තේ බුදුදහමේ
ආභාසයෙන් ය. අලංකාර, උපමා රූපක, කාව්‍යයෝක්ති යෙදුම් සමඟින් ජනතාව යහමඟට ගැනීමට හෙළ
සාහිත්‍යකරුවා බුදුදහම උපයෝගී කර ගත්හ.
‘භාසතී වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙති
චක්කංච වහතො පදං”
ගොනා පසුපස ගැල ඇදෙන්නාක් මෙන් පවු කළ තැනැත්තා පසුපස ඒ පාපය පැමිණෙන බව බුදුදහමේ
සඳහන් ව ඇත. ධම්මපදය මෙන් ම ජනතාවට සමීප වූ සූත්‍ර දේශනාවල ද ඉගැන්වෙනුයේ දෛනික
ජීවිතයට අවශ්‍ය කරන පාඩම් ය.
අපේ පැරැන්නන් ඒ සාහිත්‍ය නිවැරැදි ව රස වින්ද අතර ඒ රසාස්වාදය ඔවුන්ට මහත් පිහිටක්
වූහ. පවුලක සතුට, සමාදානය රඳා පවත්වා ගැනීමට මෙන්ම නිවැරැදි දිවිපෙවෙතකට ජනයා යොමු
කරවන්නට අපේ ගද්‍ය පද්‍ය ඉවහල් විය.
ලෝවැඩ සඟරාව දෙස බැලීමේ දී මේ බව හොඳින් වටහාගත හැකි ය.
අද අද එයි මරු පින්කර ගන්නේ
කෙලෙස ද හෙට මරු නේති සිතන්නේ
කිකල ද මහසෙන් මරු ඇප වන්නේ
කුමට ද කුසලට කම්මැළි වන්නේ
මාරයා අද වුවත් එන බව, සිතා කුසල් කළ යුතු බවත්, හෙට මරු නොපැමිණෙන බව කෙසේ සිතන්නේ
ද? යනුවෙන් කුසලයට මැලි නොවිය යුතු බවක් එහි දක්වා ඇත.
අන්සතු සැපතක් දැක දළ ලොබිනේ
උන්ට නොවී මට වේවයි සිතිනේ
උන් කළ ඒ සිත අටගත් පවිනේ
උන් මතු නිරයේ දුක්මයි විඳිනේ
අනුන්ට අයත් සැපයක් දැක ඒ කෙරෙහි දැඩි ලෝභයෙන් ඒ සැපත ඔහුට නොලැබීමට ලැබේවා'යි සිතේ
හටගත් පවට මරණින් මතු අපායේ උපත ලබන බව ප්‍රකාශ කර ඇත. වීදාගම මහා මෛත්‍රිය හිමියන්
ලෝවැඩසඟරාව රචනා කර ඇත්තේ ජනතාව සුමඟට යොමු කිරීම පිණිස ය.
බුදුරජාණන් වහන්සේ ගද්‍යයෙන් දේශනා කළ දේ වීදාගම හිමියන් පද්‍යයෙන් ප්‍රකාශ කර ඇත.
අවම වශයෙන් සූත්‍ර 10ක්වත් අවබෝධයකින් කියවා හරය රසවින්දනය දැනුම ලබා ගන්නවා නම්,
අපේ ආකල්ප මීට වඩා බොහෝ වෙනස් වනු ඇත. අපරාධ මර්දනයට නොව අපරාධ සඳහා ජනතාව යොමු
නොවීමට එය ප්‍රබල හේතුවක් වේ. පහත් මානසිකත්වයට ගමන් කරන මිනිසා දැහැමි මඟට යොමු
වේ.
බුදුදහම දඬුවමින් අපරාධ වැළැක්වීමට හැකි යැයි දක්වා නැත. දඬුවම අපරාධ සඳහා ලබා දෙන
විකල්පයක් මිස අපරාධ වැළැක්වීමට පිටිවහලක් වේ යැයි සිතීම අපහසු ය.
ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තිබෙන තුරු මෙම තත්ත්වය පහ කිරීම අසීරු බව වටහා ගත යුතු
ය.
දුසිරිත්, අපරාධ, නොමිනිස්කම්වලින් තොර සදාචාර සම්පන්න සමාජයක් බිහිවන්නේ මූලික
වශයෙන් ම සිත්සතන් දියුණු වන තරමට ය.
ගහක අරටුව ගෙන ඒමට කැලයට යන තැනැත්තෙක් ගස කපා දමා එම ගසේ කොළ පමණක් රැගෙන එය අරටුව
බව කියයි. මෙය දුටු තවත් අයෙක් ඔහු අරටුව හා කොළ නොහඳුනන බව පවසා කැලයට ගොස් ගසක
පොතු පමණක් ගෙන එයි. එය දුටු තවත් අයෙක් ඔහු අරටුව හා කොළ නොහඳුනන බව පවසා කැලයට
ගොස් ගසක මුල් රැගෙන එයි. එය දුටු තවත් අයෙක් කලින් තැනැත්තා අරටුව හෝ කොළ හෝ පොතු
හෝ මුල් හෝ නොහඳුනන බව පවසා කැලයට ගොස් අරටුව යැයි කියා ගසක ඵලය රැගෙන එයි. අවසානයේ
කැලයට යන පුද්ගලයා ගසෙහි කොළ, පොතු ඉවත් කර, මුල් කපා දමා, ඵලය ඉවත්කර අරටුව රැගෙන
යයි. බුද්ධ දේශනාව ද එයයි. තම ශ්‍රාවකයන් අමතා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොළ,
පොතු, මල් ආදිය කීර්ති, ප්‍රශංසා, ලාභ සත්කාර ආදියට සමාන බවත්, ඒ සියල්ල ඉවත් කර
හරය වන අරටුව පමණක් සොයා ගන්නා ලෙසයි.
අන්ධයන් හත්දෙනා ඇතාගේ හැඩරුව පැවසූ ආකාරය ද අප සිහිතබා ගත යුතු ය. අද ඇතැමුන්
සංසාරය දෙස බලන්නේ අන්ධයන් ඇතාගේ හැඩරුව පැවසූ ආකාරයට ය. අන්ධයන් ඇතාගේ හැඩරුව
පැවසූ ආකාරය දක්වන සූත්‍රයක් සංයුක්ත නිකායේ දක්නට ඇත. එය සගිය සූත්‍රය යි.
බුදු දහමින් ලද පෝෂණය ජන කවියෙන් ද පිළිබිඹු වෙයි.
උඩින් යන්ට රන් තැටියක් ලැබීයන්
බිමින් යන්ට මුතු කුඩයක් ලැබීයන්
තනියම යන කලට පිරිවර ලැබීයන්
අපේ අම්මා ජාතිත් මට ලැබීයන්
අප්‍රමාණ මවු සෙනෙහසකින් දරුවකු විසින් කරන මෙම ප්‍රාර්ථනය ගැමිකම ද, අහිංසක්තවය ද
පිළිබිඹු කරන්නෙකි. සිය මවට සියලු සැප සම්පත් ලැබේවා'යි පතන මේ ගැමි දරුවා උපනූපන්
ජාතිත් ඇය තමාගේ මව වේවා'යි ද ප්‍රාර්ථනය කරයි. සිය මවට අගහිඟ දුක් පීඩා ඇතිවනු
දක්නට අකැමැති වන හෙතෙම ඇයට පිරිවර ද ලැබේවා'යි ඉත සිතින් පතයි. මවගෙන් තමාට ලැබුණු
නිකලැල් සෙනෙහස ද සැබෑ ආරක්ෂාව ද, විධිමත් පෝෂණය ද හේතුවෙන් ඇයට අව්‍යාජ ව මෙත්
වඩන, සෙත් පතන අහිංසක දරුවකු එතුළින් පිළිබිඹු වෙයි.
දනවා පපුව සිහිවෙන කොට
අම්ම මගේ
එනවා කඳුළු නෙත් දෙක
රතුවෙලා යුගේ
වෙනවා මෙහෙම කල ලැබුව ම සෙනසුරුගේ
මොනවා කියා සිත සනසා ගන්නෙ මගේ
මවත්, දරුවාත් අතර ඇති බැඳීම වූ කලි ලෝකයේ අසමසම වූ ආධ්‍යාත්මික බැඳීම ය. එතරම්
පිවිතුරු, සෙනෙහෙවන්ත බැඳියාවක් තවත් දෙදෙනකු අතර නැත. අම්මා මිය ගිය පසු මේ දරුවා
සිත හදාගන්නේ සෙනසුරුගේ අපලයට එබඳු දුක් පැමිණීම සිදුවන බව සිහිකරමිනි. මේ අයුරින්
ආදරයේ, ආරක්ෂාවේ හා පෝෂණයේ උත්තරීතර උල්පත වූ අම්මා දරුවන්ගේ දුක සැප දෙකේ දී ම
ඔවුන් සමඟ සිටියා ය. මවගේ වියෝවෙන් මතුවන්නේ මව කෙරේ පැවැති අපිරිමිත සෙනෙහස යි. ඇය
නැති පාළුව දරාගත නොහැකිවීම මහ දුකකි. මවුපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් නැත.
දරුවන්ට ද මවුපියන් තරම් උතුම් සම්පතක් නැත.
-
හේමමාලා රන්දුනු |