ඉවසීම උතුම් ම තපස යි
අපට ආරංචි වෙනවා ලස්සන රටවල් තිබෙනවා කියා. ලස්සන මිනිසුන්, ලස්සන දියඇලි, ලස්සන
වනාන්තර, ලස්සන නිවාස, ලස්සන වාහන, ලස්සන අඳුම් පැළඳුම් ආදි ලස්සනයි, ලස්සනයි කියා
කතාවෙන බොහෝ දේ තිබෙන බව. අපගේ පියවි ඇසට ඒ ලස්සන දේ කෙතරම් බැලුවත් එපාවීමක්,
ඇතිවීමක් වෙන්නේ නැහැ.
දිනක් සක්දෙවිඳුන් බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්නට පැමිණ වන්දනා කරමින්
උන්වහන්සේගෙන් මෙසේ අසා වදාළා.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ ලස්සන ස්ථාන තිබෙනවා ද? ලස්සන රමණීය භූමිය
කියා කියන්නේ කුමකට ද”?
ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුට හරි ලස්සන උත්තරයක් දුන්නා.
“දේවේන්ද්‍රය, ලස්සනට නිර්මාණය කරපු ආරාම, චෛත්‍ය, විශාල රුක්ගොමු, පැන් පොකුණු
උයන්වතු ආදිය තිබෙනවා. නමුත් දෙවිඳුනි, මනුස්සයාගේ සිතේ ඇතිවන රමණීයත්වයෙන් දහසයෙන්
එක පංගුවකින් ඒ රමණීය ස්ථාන නො වටී. දේවේන්ද්‍රය, යම් ගමක වේවා, ආරණ්‍යයක වේවා,
නිම්නයක වේවා, කඳු ගැටයක වේවා යම් ස්්ථානයක රහතන් වහන්සේ නමක් වැඩ සිටිනවා නම්
එතැනට යි රමණීය භූමිය කියා කියන්නේ. රහතන් වහන්සේ නමක් යම් භූමියක ජීවත් වෙනවා නම්
ඒ භූමිය ලස්සන යි. රහතන් වහන්සේ කියා කියන්නේ මිනිසෙක් ලෙස ඉපදී, මිනිසෙක් ලෙස
ගුණධර්ම දියුණූ කර, ඒ ගුණධර්ම පරිපූර්ණත්වයට පත් කර සිටින උතුමෙක්. තමාගේ සිත විනාශ
කරන යම් අකුසල් තිබෙනවා නම් ඒ සියලු අකුසල් දුරු කරලයි ඉන්නේ. ඒ වගේ ම ජීවිතේ යම්
දෙයක් අවබෝධ කර ගන්නට තිබෙනවා නම්, ඒ හැම දෙය ම අවබෝධ කර ගෙනයි ඉන්නේ. එහෙම නම් යම්
භූමියක් ලස්සන වෙන්නේ ජීවිතවල තිබෙන ගුණධර්මවලින්.
සමහර විට ඔබට සුන්දර, ලස්සන නිවෙසක් ඇති. ඒ නිවෙසට ගැළපෙන ආකාරයට මිදුලකුත් ඇති. ඒ
වත්තේ පොකුණු ඇති. ඒ වගේම ලස්සන තණකොළ අතුරා, සුන්දර කරල ලස්සන ගෙවත්තක් හදාගෙන
ඇති. නිවස තුළත් බොහෝ ම පිළිවෙළට බඩු භාණ්ඩ තබා දුටුවන්ගේ සිත් සතුටුවන ආකාරයට
නිවෙස පිළියෙළ කරලා ඇති. ඒ පරිසරය, නිවෙස කෙතරම් ලස්සන වුවත් ඒ නිවෙසේ ජීවත්වන
අම්මා, තාත්තා, දරුවෝ, සහෝදර, සහෝදරියන්, එකිනෙකා රණ්ඩු අල්ලනවා නම්, නුරුස්සන
ස්වභාවයෙන් ජීවත්වෙනව නම්, එකිනෙකා ද්වේෂයෙන් ඉන්නවානම් අර පරිසරය කෙ තරම් සුන්දර
වුවත්, ඒ නිවස ඇතුළත සුන්දර නැහැ. ලස්සන නැහැ. පරිසරය ලස්සන වුණාට මිනිසුන්ගේ සිත්
තුළ ඇතිවිය යුතු ලස්සන නැත්නම් ඒ පරිසරය ලස්සන නැති බවයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ.
හැබැයි යම් කඳු ගැටයක වේවා, ඉතා දුෂ්කර පරිසරයක වේවා යම් පිරිසක් එකිනෙකා කෙරෙහි
මෙත් සිතින්, ඉවසීමෙන්, එකිනෙකා තේරුම් ගෙන, අකුසල්වලට යට නොවී සිටියොත් ඒ ප්‍රදේශය
බෙහෝ ම ලස්සන වෙනවා. පරිසරය ලස්සන නො වුණත් ලස්සන සිත් ඇති මිනිසුන් වාසය කරන ස්ථාන
ලස්සන යි.
ඉවසීම, කරුණාව, මෛත්‍රිය තිබෙන මිනිසුන් සිටින ස්ථාන කෙ තරම් ලස්සන ද? දන් දෙන
මිනිසුන්, අනුකම්පා සිත් ඇති මිනිසුන්, උතුම් ගුණධර්ම ඇති මිනිසුන් සිටින ස්ථාන කෙ
තරම් ලස්සන ද? භාග්‍යවතුන් වහන්සේ වදාළා මනුෂ්‍යත්වය තරම් ලස්සන දෙයක් මේ ලෝකයේ
තවත් නැහැ කියලා. මනුෂ්‍යත්වය විනාශ කර ගෙන ලෝකය ලස්සන කරන්නට හැදුවාට එය සාර්ථක
දෙයක් නොවෙයි. පළමුව වියයුත්තේ ගුණධර්මවලින් ලස්සන වීමයි. තථාගතයන් වහන්සේ මහා
කරුණාවෙන් අපට වදාළා ගුණධර්මවලින් ලස්සන ජීවිතයක් ඇති කර ගන්නේ කොහොමද කියලා.
අපි මේ ලෝකයේ ජීවත් වන්නේ තනියම නොවේ. අප අවට පිරිසක් සිටිනවා අම්මා, තාත්තා,
ස්වාමියා, බිරිඳ, දරුවන්, යහලුවන්, සහෝදර, සහෝදරියන් සමඟ ජීවත්වෙන්න වෙනවා. එසේ
සමාජයක් සමඟ ජීවත්වීමේ දී අපට ගොඩාක් වටින අවශ්‍ය ම ගුණයක් තමයි ඉවසීම කියන්නේ.
අපි පිරිසක් සමඟ ජීවත් වීමේ දී ඉවසීම අප තුළ නැත්නම් එතැන සතුටින්, සමගියෙන් ඉන්න
බැරි තැනක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ඉවසීම නැති වුණොත් ඒ ජීවිතයට බලපාන,
හානිකරන කරුණු හතක් තිබෙන බව. එනිසා අප උත්සාහ කරන්න ඕනෑ මේ ගුණධර්මය හොඳින් ඔපවත්
කරගෙන අපේ ජීවිතයට එකතු කර ගන්න.
භාග්‍යවතුන් වහන්සේ වදාළා ඉවසීම නැති කෙනා බොහෝ ජනයාට අපි‍්‍රය, අමනාප වෙනවා. ඔබට
ඉවසීම නැත්නම්, පොඩි දෙයක් දරා ගන්නා බැරි නම්, ඉක්මණින් කලබල වෙනවා නම් ඔබ ව අන්
අයට අපි‍්‍රය අමනාප වෙනවා. ඒ වගේ ම සීතල, උෂ්ණය, බඩගින්න, පිපාසය ඉවසා ගන්නට බැරි ව
කලබල වෙලා කටයුතු කරනවා නම්, ඔහු ව පිරිසට අපි‍්‍රය, අමනාප වෙනවා.
දෙවැනි කරුණ ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළා ඉවසීම නැති පුද්ගලයා වෛර බහුල කෙනෙක්
වෙනවා. නිතරම ඉන්නේ වෛරයෙන්.
අපට ඕන ආකාරයට මේ ලෝකයේ මිනිසුන් තුළ ගුණධර්ම නැහැ. අපට විවිධාකාර පිරිස් සමඟ
කටයුතු කරන කොට ඉවසීම නැති වුණොත් අපට නිතර ම ඉන්න වෙන්නේ වෛරයෙන්. තරහ සිතින්.
එවැනි පුද්ගලයා නිවෙසේ සිටියත් ඉන්නේ වෛරයෙන්.
මහමඟ ගියත් යන්නේ වෛරයෙන්. රැකියා ස්ථානයේ සිටින්නේ වෛරයෙන්. පොඩි පොඩි දේ ඉවසා
ගන්න බැරි නිසා නිතර වෛරී සිත බලවත් වෙනවා. ඔහු සිතනවා මගේ මේ වෛරය සාධාරණ යි. මම
කටයුතු කළ යුත්තේ මේ ආකාරයට යි කියලා. නමුත් එයින් වන හානිය තමාට බව ඔහු තේරුම්
ගන්නේ නැහැ. බුද්ධ වචනයේ සත්‍ය බව අප අදහා ගත යුතු වෙනවා.
තථාගතයන් වහන්සේ තුන්වැනි කරුණ ලෙස වදාළා ඉවසීම නැති පුද්ගලයා වැරැදි බහුල කෙනෙක්
කියලා. නිතර ම ඔහු අතින් වැරැදි සිදුවෙනවා. දෙයක් ඉවසා ගන්න, දරා ගන්න බැරි අය
ක්ෂණික තීරණ ගන්නවා. එහි ඇති බරපතලකම සිතන්නේ නැහැ. ආවේගය වැඩි නිසා වැරැදිත් වැඩි
වෙනවා. එහෙම වේලාවක අම්මා, තාත්තා වුවත් මරණයට පත්කරනවා. ඒ සියලු ම හානි අපට
සිදුවෙන්නේ අපට ඉවසා ගන්න බැරි වූ නිසයි. ඉවසීම කියන ගුණධර්මය යම් නිවෙසක් තුළ
නැත්නම් ඒ නිවස කෙතරම් ලස්සන වුවත් එහි සැබෑ ලස්සනක් නැහැ. වැරැදි බහුල කෙනාගේ
මනුස්සකම් ඔහුගෙන් ගිලිහී යනවා.
ඊළඟට තථාගතයන් වහන්සේ වදාළා ඉවසීම නැති කෙනා පසුතැවෙන කෙනෙක් වෙනවා කියලා. පොඩි
දෙයක් ඉවසන්න බැරිව දැඩි තීරණ ගෙන මුළු ජීවිත කාලය ම පසුතැවෙන පිරිස් අපට හමුවෙනවා.
ඔවුන් පසුව කියනවා ඒ පොඩි වේලාව මට ඉවසන්නට තිබුණා. ඒ වෙලාවේ ඉවසුවා නම් අද මට මේ
දුක නැහැ කියලා.
භාග්‍යවතුන් වහන්සේ පස්වැනි කරුණ ලෙස වදාළේ ඉවසා ගන්නට බැරි කෙනා දරුණු, රෞද්‍ර
කෙනෙක් වෙන බවයි. ඇතැම් විට ඉතා අහිංසක කෙනෙක් ඉවසීම නැති නිසා රෞද්‍ර කෙනෙක් වෙන්න
පුළුවන්. අද සමාජයේ මේ සඳහා ඕනෑතරම් උදාහරණ තිබෙනවා. සිපිරි ගෙදර සිටින බොහෝ දෙනා
කියන්නේ ඒ අවස්ථාවේ දී මම ඉවසුවා නම් අද මෙහෙම දුකක් නැති බවයි. ඉවසීම නැති කෙනා
ඉතා දරුණු රෞද්‍ර අය වෙන බවයි ශාස්තෘන් වහන්සේ වදාළේ.
ඉවසීම නැති පුද්ගලයාට වෙන ඊළඟ අයහපත ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඔහු මරණයට
පත්වන්නේ සිහි මුළාවීමෙන් කියලා. තමාට තමා කවුද කියලා තේරුම් ගන්න බැරි ව මරණයට පත්
වෙනවා. සිහි මුළාවීම ඔහුට වෙන්න පුළුවන් ලොකුම හානියයි. අපගේ ජීවිතයේ තිබෙන වටිනාම
දේ සිහිය කියන්නේ. අවශ්‍ය මොහොතේ සිහි මුළාවීම බොහෝ අයහපත පිණිස පවතිනවා.
හත්වැනි කරුණ ලෙස තථාගතයන් වහන්සේ වදාළේ ඉවසීම නැති පුද්ගලයා මරණින් මතු දුගති
ලෝකයක උපදින බවයි. ඉවසීම නැති පුද්ගලයාට මරණින් මතු එක හානිය යි සිදුවන්නේ. නමුත්
ජීවත්ව සිටිද්දී හානි හයක් සිදු වෙනවා. මේ ඉවසීම කියන එක ගුණයක් අපේ ජීවිතයට එකතු
කර ගත්තොත් තමාගේ ජීවිතයට එය කෙ තරම් යහපතක් ඇති කර ගන්නට පුළුවන් ද?
එනිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඉවසීම පුරුදු කරන පුද්ගලයාට මුදලට, උගත්කමට, බලයට
ගන්නට බැරි බොහෝ දේ ලබා ගන්නට අවස්ථාව තිබෙන බව. අපගේ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවක
පිරිස ලෙස අපත් ඉවසීම නැමැති ගුණධර්මය පුරුදු පුහුණුූ කර ගැනීමට උත්සාහ කරමු!
-
නයනා නිල්මිණී |