සියලු සතුන් ලොව
සුවපත් වෙත්වා!
ශාස්ත්‍රපති
ඕමාරේ පුඤ්ඤසිරි හිමි
බුදු සමය පැහැදිලි කරන ආකාරයට සාමයට විරුද්ධ ප්‍රධාන බලවේගය තෘෂ්ණාවයි. සාමයට ඇති
බාධක බැහැර කිරීමට නම් තෘෂ්ණාව හා බැඳී පවත්නා අතිමානය, මසුරුකම, බොරු කීම, මිථ්‍යා
ප්‍රබන්ධ ආදිය ද බැහැර කළ යුතු ය
දුකට පත් සුවහසක් ජනයා දුකින් නිදහස් කොට පරම සැපය ළඟා කර දීමේ අභිලාෂයක
ප්‍රතිඵලයක් ලෙස ගෞතම බුදුරදුන් ලොව පහළ විය.
දිගු කලක් ස්ථිර අධිෂ්ඨානයක පිහිටා අනේකවිධ බන්ධන සහ දුක්ඛ දෝමනස්සයන්ට නොසැලී,
නොපසුබට ව මුහුණ දී තමන් වහන්සේ අවබෝධ කර ගත් ධර්මය මුළු මහත් ලෝකයේ සියලු සත්ව
වර්ගයාගේ පොදු යහපත වෙනුවෙන් දේශනා කළහ. සකල විධ භේද පිටු දකිමින් සාමය,
සමානාත්මතාවය, සමඟිය, සමෘද්ධිය, කරුණාව, මෛත්‍රිය, පරෝපකාරය මූර්තිමත් කරමින් දේශිත
ධර්මස්ඛන්ධය ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු ගැටුම්කාරි නූතන ලෝකය සුවපත් කිරීමට ප්‍රායෝගික
හැඩයකට ගෙන ඒම යුගයේ කාර්යභාරයකි.
සාමය යන වචනයට ප්‍රතිවිරුද්ධ වචනය භේදය යන්නයි.
එය කුල භේද, ජාති භේද, ආගම් භේද ආදී විවිධ නම්වලින් ප්‍රකාශ වේ. මෙම කවර නම් භේද
වුව ද පදනම වන්නේ තෘෂ්ණාවයි. තෘෂ්ණාව ශෝකයට සහ බියට හේතු වේ. ක්‍රෝධය, වෛරය,
ඊර්ෂ්‍යාව මානය යන මනෝභාවයන් මිනිස් සිත දූෂණය කරයි. මිනිසාගේ ආධ්‍යාත්මය අපිරිසුදු
කරන මෙම ගති ලක්ෂණ සමගිය සිඳ බිඳ සාමකාමී පරිසරය විනාශ කර දමයි. මෙය නූතන විශ්වීය
ලක්ෂණයක් වී ඇත. ජාති මමත්වය, කුල මමත්වය, වර්ණ මමත්වය, ආගම් මමත්වය, සසර බැදීම්
දික් කරයි. අපේ අය, අන්‍ය අය, වශයෙන් මිනිස් වර්ගයා ළං කර තැබීමත්, වෙන් කර තැබීමත්
බුදු දහමට අනුව නුසුදුසු ක්‍රියාවකි. එකී සිතිවිලි විවිධ ගැටුම්වලට මුල පුරයි.
අප ජීවත් වන ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත විනාශ වෙමින් පවතින්නේ මෙම පසුගාමී,
පාපකාරී, පටු සිතිවිලි වර්ධනය කිරීම නිසා ය. ලොව කොතැනක වාසය කළත් මිනිස් වර්ගයාගේ
පොදු, ප්‍රමුඛ අපේක්ෂාව සැකයෙන්, බියෙන් තොර ව, ආරක්ෂා සහිත ව සැප සේ ජීවත් වීමයි.
ආගමික නායකයින් ප්‍රමුඛ බුද්ධිමය සමාජය මෙම අපේක්ෂාව සහතික කිරීමට ඇප කැප විය යුතු
ය.
ආගම්වල එන විමුක්ති දායක හරයන් මඟින් ලෝ වැසි ජනතාවගේ සිත් සතන් සුවපත් කොට යහපත්
ලෝකයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව වෙන කවරදාවකටත් වඩා නූතයේ ස්මතු වී ඇත. වාග්
සංග්‍රාම, තර්ක විතර්ක, පහරදීගැනීම්, අවි ගැටුම්, මරාගෙන මැරීම් බහුල ලෝකයක
ප්‍රථමයෙන් ම මිය යන්නේ මනුෂ්‍යත්වය යි. මිනිස්කමට කිසිදු වටිනාකමක් නොදෙන
ප්‍රචණ්ඩත්වය අගයමින් සමාජය භේද කරන පාපකාරි මිනිසුන්ට මානව හිතවාදි බව යනු බුදු
දහමේ උගන්වන සතර බ්‍රහ්ම විහරණ අතුරින් දෙවැන්න වූ කරුණාව පදනම් කොට ඇති දෙයක් බව
වටහා දිය යුතු ව ඇත.
සමාජයේ පවතින විවිධාකාර ගැටුම්වලට මුල් වන කාරණා බුදුරදුන් කලහ විවාද සූත්‍රයෙන්
මැනවින් පෙන්වා දී තිබේ. ප්‍රිය වස්තු, තිමානය, මසුරුකම, බොරු කීම යන මේ කරුණු නිසා
කලහ, විවාද ඇති වී සාමය කඩවන බව පෙන්වා දී තිබේ.
බුදු සමය පැහැදිලි කරන ආකාරයට සාමයට විරුද්ධ ප්‍රධාන බලවේගය තෘෂ්ණාවයි. සාමයට ඇති
බාධක බැහැර කිරීමට නම් තෘෂ්ණාව හා බැඳී පවත්නා අතිමානය, මසුරුකම, බොරු කීම, මිථ්‍යා
ප්‍රබන්ධ ආදිය ද බැහැර කළ යුතු ය. ආගමික වාද විවාද ද සාමයට බාධාවක් බව බුදුරජාණන්
වහන්සේ වදාළහ. එක් ආගමක් හුවා දක්වමින් අනෙක් ආගම පහත් යැයි සැලකීම ද බුදුරජාණන්
වහන්සේ ප්‍රතික්ෂේප කොට ඇත. අන්‍යාගමික අදහස් දරන ප්‍රබල චරිත සමඟ පවා බුදුරදුන්
සුහද පිළිසඳරේ යෙදී ඇත. උපාලි සූත්‍රය, කූටදන්ත සූත්‍රය වැනි සූත්‍ර ධර්මවලින් එය
මැනවින් පැහැදිලි වේ. අන්‍යාගමික අදහස් දරන අයට ගරු කිරීම බුදුරදුන් ආදර්ශයෙන්
පෙන්වා දී ඇත.
දිනක් නිගණ්ඨනාථ පුත්තගේ ප්‍රධාන ශ්‍රාවකයා වූ දීඝතපස්සි බුදුරදුන් වෙත පැමිණි විට
කරුණාවෙන් පිළිගෙන සැප දුක විමසා පනවන ලද ආසන ඇත. කැමැති පරිදි වාඩි වෙන්න යැයි
පවසා ඇත. එමෙන් ම බුදුරජාණන් වහන්සේ සමඟ වාද විවාදයට පැමිණි උපාලි ගෘහපතියා බුදු බණ
ඇසූ පසු පැහැදීමට පත්ව “තෙරුවන් සරණ ගිය උපාසකයකු ලෙස සලකන්න”යැයි ඔහු බුදුරදුන්ට
ආරාධනා කළේ ය. “ඔබ බෞද්ධ උපාසකයකු වුවත් ඔබේ පැරැණි ශාස්තෘවරයාට දැක්වූ ගරු
සැලකිලි, පුද සත්කාර අඩු නොකරන්න” යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මෙයින් ගම්‍ය
වන්නේ බුදුරදුන් ආගමික සහජීවනය ඉහළින් ම අගය කළ බවයි.
කෙනකුගේ උද්දාමයටත් තවත් කෙනෙකුගේ කනස්සල්ලටත් හේතුවන බැවින් තර්ක විතර්ක, වාදවිවාද
කිරීම ද නුසුදුසු බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. “ජයං වේරං පසවති - දුක්ඛං සේති
පරාජිතෝ” කෙනකුගේ ජයග්‍රහණය තවත් කෙනෙකුගේ පරාජිත දුක්සහිත සිතිවිලි ඇතිවන බැවින්
ජය පරාජය දෙකෙන් ම මිදී සිටීම ප්‍රඥා ගෝචර බව භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කළහ.
මානව වර්ගයාගේ ආරක්ෂාවටත්, දියුණුවටත් ආශිර්වාද කරන බුදු දහම අහිංසක සාමකාමී නිදොස්
ජනතාවට හිංසා කරන, වධ බන්ධන පමුණුවන, පහර දෙන අයට දස වැදෑරුම් විපාකයන්ට මුහුණ දීමට
සිදුවන බව පෙන්වා දී ඇත. යුදකාමීහු සාමකාමි ලෝකය භේද බින්න කර එකිනෙකා බිලි ගැනීමේ
උත්සාහයක නිරත වූව ද සාමකාමීන් සමඟි ව සිටින තාක් කල් ඔවුන්ගේ අභිලාශය ඉටු නොවන්නේ
ය. ඛුද්දක නිකායට අයත් ධම්මපදයේ චුල්ලතිස්ස තෙරුන්ගේ කතා පුවතින් පැහැදිලි වන්නේ
ඉවසීමෙන් හා නුවණින් කරුණු අවබෝධ කර ගැනීමෙන් සාමය සහතික වන බවත්, විනයගරුක වීමත්,
නීතිගරුක වීමත්, ආචාර ධර්මගරුකිරීමත් සාමකාමීයකු තුළ තිබිය යුතු වැදගත් ම ලක්ෂණයක්
බවයි.
බුදුරජාණන් වහන්සේ සාමය සඳහා අපට කියා දෙන ලද පාඩම් එක ආගමකට, එක ජාතියකට, එක
මහද්වීපයකට සීමා වූ ඒවා නොවේ. විශ්ව සාධාරණ ඵලදායි ඉගැන්වීම් ය.
ගැටුම්වලින් තොර සුවපත් සමාජයක් සඳහා බුදුරජාණන් වහන්සේ යුදපිටිවලට, සැඩ පරුෂ
පුද්ගලයින් හමුවට වැඩම කිරීම පුදුම සහගත ය. ශාක්‍යකෝලීය යුද්ධය සඳහා රෝහිණි නදී
තෙරට පැමිණ අවි අමෝරා සිටි පිරිස මැදට වැඩම කළ බුදුරදුන් මානව ජීවිතවල ඇති
වැදගත්කමත්, ජලයේ ඇති වැදගත් කමත් පහදා දුන්හ.
සටන්කාමි දෙපිරිස අමතා සාමයේ ඇති වැදගත්කමත්, ශාක්‍ය කෝලිය දෙපිරිස ම මෙහිදී වැරැදි
බවත් කරුණාවෙන් අවබෝධ කර දුන්හ. යුද අවි ගැටී මහා විනාශයක් වීමට තිබූ අවස්ථාවක්
මඟහැරි, සාමයේ සමාදානයේ නිර්මල සිසිලස පළ කරමින් රෝහිණී නදියේ පිරිසිදු සිසිල් ජලය
ගලා ගියේ ය. අති බිහිසුණු යුද පිටියක් කරුණා මෛත්‍රී ගුණයෙන් නැහැවී පින් කෙතක් බවට
පත් විය. ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත ආරක්ෂා කළ සාමය සඳහා වූ මෙම දූත මෙහෙවර
භේදයකින් තොරව ලෝ වැසි සකලවිධ ජනයා ආදර්ශයට ගත යුතු ය.
අලව් කුමරුන් ඇතුළු දහස් ගණනක ජීවිත බේරා ගැනීමට ආලවකගේ ගෙදරට වැඩම කළ බුදුරජාණන්
වහන්සේ බිහිසුණු ආලවක යක්ෂයා කරුණාව, මෛත්‍රිය, ඉවසීම යන පදනමෙහි සිට නිවැරැදි මඟට
ගත්තා සේ සාමය සමඟිය පිළිබඳ ව ප්‍රාර්ථනය සෑම මිනිස් හදවතක් වෙත ම ගෙන යාමේ
පුණ්‍යවන්ත කටයුත්ත ආධ්‍යාත්මික බෞද්ධ ප්‍රතිපත්තිය සේ සලකා ක්‍රියාත්මක වීමේ කාලය
දැන් පැමිණ ඇත. |