ඇසළ පුර පසළොස්වක පෝ දා
2025-07-10
ධර්මයෙහි අප්‍රමාදී වීම
බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් ත්‍රිවිධ රත්නයේ සරණ ජීවිතයට මහත් භාග්‍යයකි. මේ ජීවිතයට
පමණක් නොව සසර ගමනට ද මහත් ඵල උදාකර ගැනීමකි. ඒ රැකවරණය ලබන්නට නම් මනා වූ අවබෝධයක්
අත්‍යවශ්‍ය ය. ඒ බුද්ධ රත්නයේ ගුණ පිළිබඳව ය. ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ගුණ පිළිබඳව
ය. අවබෝධය පමණක් ද ප්‍රමාණවත් නැත. ත්‍රිවිධ රත්නයෙහි පැහැදී ඒ උතුම් ගුණ තුළින්
තමන්ගේ ජීවිතය ද ආලෝකවත් කරගත යුතු ය.
තෙරුවන් සරණ ගියා යැයි කියන බොහෝ පිරිස් සමාජයේ සිටිති. එහෙත් ඒ සෑම තන්හි ම
ආලෝකයක් දකිනු නොහැකි ය. අඳුර රජ කරනු දකින්නට ලැබේ. විවිධ පුද්ගල ක්‍රියාකාරකම් හා
සමාජ සංසිද්ධීන් තුළ බෞද්ධයකුට, බොදු සමාජයකට නො ගැළපෙන ක්‍රියාකාරකම් සුලබ ව දැකිය
හැකි බැවිනි. ප්‍රාණඝාතය, සොරකම, කාමමිථ්‍යාචාරය, බොරුව, මත්ද්‍රව්‍ය භාවිතය,
වංචාව, දූෂණය ඇතුළු අනේකවිධ ඇදැහැමිකම් කුඩා ම සමාජ ඒකකය වන පවුල් සංස්ථාවේ සිට මහා
සමාජය දක්වා ම අද අපි අත්දකිමින් සිටිමු. ඒ තුළ වන අපමණ දුක් කම්කටොළු මිනිසා ඇතුළු
සමස්ත පරිසරය ම පීඩාවට පත්කරමින් සිටී.
බෞද්ධයන් ජීවත්වන පරිසරයේ අනුන් නිසා ජීවිත බියක් නොදැනේ. තමන් උපයා සපයා ගත් දෙය
අහිමි වේ යැයි බිය නොවේ. නොරැවටේ, විශ්වාසය බිඳී ජීවිත ව්‍යාකූල නොවේ. රහමෙර නිසා
පමා වූවන් නොවේ.
අපට කොතැනක හෝ වැරදී ඇති බව පෙනෙන්නේ දුරාචාරය සමාජය තුළ හිස ඔසවා ඇති බැවිනි. මේ
අභාග්‍ය සම්පන්න බවට මූලික ම හේතුව ප්‍රමාදී බව ය. ධම්මපදයේ අප්පමාද වග්ගයේ
පුද්ගලයකුගේ ජීවිතය ඔසවා තබන්නට සමත් මාහැඟි සදුපදේශයක් වේ.
උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනො
අප්පමත්තස්ස යසො’භි වඩ්ඪති
යම් පුද්ගලයෙක් නැඟී සිටි වීර්යයෙන් යුතු වේ. මනා සිහියෙන් යුතු වේ. ඔහු තුළ ඇත්තේ
පිරිසුදු කාය වාක් කර්මයි. හේ නිතර විමසා බලා කටයුතු කරන, දැහැමි පැවැතුම් ඇත්තෙකි.
ධර්මයෙහි නො පමා වූ ඔහුගේ කීර්තිය මනාව වැඩේ.
දියුණුව කැමැති වීම සාමාන්‍ය මිනිස් ස්වභාවය යි. එහෙත් සමහරු කුසීත ය. සැබෑ බෞද්ධයා
නම් නැඟී සිටි වීර්යය ඇත්තෙකි. සිත කය නඟා සිටුවන වීර්යයෙන් යුතු ය. එය දෙලොව ම
දියුණුවට ය. බෞද්ධයා සිහි ඇත්තෙකි. සතිමත් ය. කුසල චිත්ත වීථියෙහි තමන් හා එක්ව
යෙදෙන අරමුණු සිහිකර ගනී. ඔහු කයින්, වචනයෙන් පාපකාරී ක්‍රියාවන්හි නො යෙදේ.
මෛත්‍රී සහගත ය. විමර්ශනශීලී ය. ඒ විමසීම තුළ තමන් කරන සියලු කාර්යයන් හි ආදීනව
දකී. එවිට අයහපතින් වැළකී නුවණින් කටයුතු කරයි.
සිත, කය, වචනය මනාව සුරැකීම බෞද්ධයාගේ ස්වභාවය යි. හේ පව් නොකරයි. දැහැමි ජීවනෝපාය
මාර්ගයන්ගෙන් ජීවිතය පවත්වයි.
ධම්මපදය මාහැඟි හස්තසාර ග්‍රන්ථය පුරා ම ඇත්තේ ජීවිතය සරසවන මෙවැනි මිණි මුතු ය. ඒ
වටිනාකම් ලැබී තිබියදීත් අඳ බාලයන් සේ කටයුතු කොට විනාශයට වැටිය යුතු නැත. |