[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වත් සපුරා පින් පුරන්නට මේ හොඳම කාලය යි - තලල්ලේ චන්දකිත්ති හිමි

වත් සපුරා පින් පුරන්නට මේ හොඳම කාලය යි

තලල්ලේ චන්දකිත්ති හිමි

ඇසළ පුර පෝ දිනයත් සමඟ මේ උදාවෙන්නේ පින්බර වස්සානය යි. පින් පුරන්නට, පින් වඩන්නට හොඳම කාලය යි. පැවිදි උතුමන්ට සේ ම ගිහි බෞද්ධ ජනතාවට ද ආධ්‍යාත්මික ගුණධර්ම වැඩිදියුණු කරමින්, පින්කම් කරමින් කුසල් වඩන්නට මේ කාලය ආශිර්වාදයක් කර ගත හැකියි. මේ, උදා වූ එම උතුම් අවස්ථාව පිළිබඳ ව පූජනීය තලල්ලේ චන්දකිත්ති හිමි සමඟ කළ සාකච්ඡාවකි

ස්වාමීන් වහන්ස, තථාගතයන් වහන්සේ භික්ෂූන් වහන්සේට වස් සිල්පද අනුදැන වදාළේ ඇයි?

වස්සාන සමයේ ඉන්දියාවේ තිබෙන මූලික ආගමික නිකායයන් නියෝජනය කරන සෑම කෙනෙක් ම වාගේ එක් ස්ථානයක නැවතී තමාගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා කටයුතු කරනවා. එවන් පසුබිමක් තිබෙන කාලයක අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළව බරණැස ඉසිපතන මිගදායේ දී පස්වග තාපසයන් උදෙසා ධර්ම දේශනා පවත්වා යසකුල පුත්‍රයා ප්‍රධාන යහළුවන් පනස් හතර දෙනාට මූලික ව ධර්මය දේශනා කළා.

ඔවුන් පැවිදි දිවියට පත් වූ පසුව “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාං"

පින්වත් මහණෙනි, දෙව් - මිනිසුන්ගේ හිතසුව පිණිසත්, තමාගේ හිතසුව පිණිසත් ධර්මයේ හැසිරෙන්න. ධර්ම දේශනා කරන්න. එක මාවතක දෙදෙනෙක් ගමන් නො කරන්න. මේ සද්ධර්මය ශීඝ්‍රයෙන් පතුරුවා හරින්න යැයි දේශනා කොට වදාළා.

ඒ බුද්ධාවවාදය අනුව ස්වාමීන් වහන්සේ වස් කාලයේ පවා එක් එක් ස්ථානවලට යමින් ධර්මය දේශනා කරමින් ධර්ම ප්‍රචාරයේ යෙදුනා. මේ සිදුවීම බලා සිටි සාමාන්‍ය ජනතාව " නිගන්ඨනාථපුත්තගේ ගෝලයන් පවා එක ස්ථානයක සිටිය දී ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස පමණක් මේ වැසි කාලයේ යම් යම් ස්ථානවලට ගමන් කරමින් පැළෑටි, කුඩා කෘමීන් පාගමින් ප්‍රාණඝාතය කරනවා” යි දෝෂාරෝපණය කළා. එයට ඇහුම්කන් දුන් භාග්‍යවතුන් වහන්සේ වැසි තුන් මාසය තුළ දී එක ස්ථානයක වැඩහිඳ වස් සමාදන් ව තමන්ගේ ආධ්‍යාත්මික සුවය සලසා ගන්නා ලෙස වස් සිල්පද පැණවූවා.

එතැන් පටන් භික්ෂූන් වහන්සේ මහත් ගෞරවයෙන් ඒ සිල්පද සමාදන් ව රැක ගත්තා.

ස්වාමීන් වහන්ස, පෙර වස් සමාදන් වීම හා පසු වස් සමාදන් වීම අතර වෙනසක් තිබෙනවා ද?

වස් ශික්ෂාපද සමාදන් වීමේ දී පෙර වස් හා පසුවස් කියා කොටස් දෙකක් තිබෙනවා. පෙර වස් සමාදන් වන භික්ෂූන් වහන්සේ ඇසළ මාසයේ වස් ශික්ෂාපද සමාදන් ව වප් මාසයේ දී සිල්පද පවාරණය කරනවා.

හිමිනමකට එසේ වස් සමාදන් වීමට නො හැකි වූයේ නම් උන්වහන්සේට පුළුවන්කම තිබෙනවා පසුවස් වශයෙන් නිකිණි මාසයේ වස් සමාදන් ව ඉල් මාසයේ දී වස් පවාරණය කිරීමට. මෙහි තිබෙන විශේෂත්වය නම් පෙර වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ වස් ශික්ෂාපද හොඳින් ආරක්ෂා කරමින් මාස තුනක් ගිය විට වස් පවාරණයත් සමඟ උන්වහන්සේ වැඩසිටි විහාරස්ථානය කඨින පින්කමක් කරන්නට පුළුවන් ස්ථානයක් බවට පත්වෙනවා. පසුවස් සමාදන් වූ ස්වාමීන් වහන්සේට ඒ විහාරස්ථානය තුළ කඨින පින්කමක් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

වස් කාලය ගිහියන්ට වැදගත් ඇයි ?

භික්ෂූන් වහන්සේ ඉතාම කාර්ය බහුල ජීවිතයක් ගත කරන පිරිසක්. උන්වහන්සේට වස් තුන් මාසය කියන්නේ විවේක කාලය යි. ඒ විවේක කාලයේ දී සීල භාවනා ආදියට අවධානය යොමු කර ගෙන, බණපොත් කියවමින්, ධර්ම අධ්‍යාපනයේ යෙදෙමින්, ධර්ම ශාස්ත්‍රීය වශයෙන් තමන් වහන්සේ පෝෂණය වන කාලයක්. ගිහි පිරිස ඒ කාලයට උන්වහන්සේට ඉඩ දීම ඉතාම වැදගත් කියා මම සිතනවා.

එහෙත් අද කාලය බොහෝ වෙනස් වෙලා. වස් කාලයේ බොහෝ පින්කම් යොදා ගන්නවා. පින්කම් සංවිධානය කිරීම වරදක් නොවේ. නමුත් වස් විසූ ස්වාමීන් වහන්සේ ගේ විවේකය අහිමි කරමින් පින්කම් සංවිධානය කිරීම තුළ ඇතැම් විට වස් ශික්ෂා පදයේ මූලික අරමුණු මඟහැරෙන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා කඨින චීවර මාසයට වස් පින්කම් යොදාගෙන වස්සාන කාලයේ ස්වාමීන් වහන්සේට විවේකී ව සිටීමට තිබෙනවා නම් එය වටිනවා.

ඒ වගේම වස් විසූ භික්ෂූන් වහන්සේට දායකයන් සිව්පසයෙන් උපස්ථාන කිරීමත්, රැක බලා ගැනීමත් කළ යුතු වෙනවා. එය දායකයන්ට පින් වැඩෙන පින්කමක්. දිනපතා විහාරස්ථානයේ පැවැත්වෙන බුද්ධ වන්දනාවට, බෝධි පූජාවට සහභාගි වීමත් ගිහි පින්වතුන්ට කළ හැකියි.

ගිහි ජීවිතය අර්ථ සම්පන්න කර ගන්නට පිරිය යුතු පිළිවෙත් මොනවා ද?

වස් තුන් මාසයේ ගිහි ගෙදර වෙසෙන ඔබටත් විශේෂ මාස තුනක්. පින්දහම් දියුණු කර ගන්නටත්, ආධ්‍යාත්මික ගුණ වර්ධනය කරන්නටත් පුළුවන්.

කෙනෙක් අධිෂ්ඨාන කර ගන්නවා මම මේ වස් තුන් මාසය පුරා ම පන්සිල් පද පහ කඩ නො කර ආරක්ෂා කරනවා කියලා. එහෙම නැත්නම් ආජීව අෂ්ඨාංගික සීලය සමාදන් ව ඒ තුන් මාසය ම ආරක්ෂා කරනවා. ඒ වගේම ඔබට පුළුවන් මේ තුන් මාසයේ විකාල භෝජන සීලය සමාදන් ව ආරක්ෂා කරනවා කියා සිතුවොත් එහි යම් අතහැරීමක් ද තිබෙනවා. තව කෙනකුට පුළුවන් බුදු ගුණ වඩන්න. බුදු ගුණ ඉගෙන ගන්න. නැතිනම් සබ්බපාපස්ස අකරණං ගාථාව තේරුම සහිත ව ඉගෙනගෙන මේ කාලය තුළ දී මම මෙ තරම් ප්‍රමාණයක් සජ්ඣායනා කරනවා කියා සිතනවා. එලෙස ම දස දිසාවට ම මෙත් සිත පතුරවමින් සියලු සත්වයෝ සුවපත් වේවා'යි මෛත්‍රී භාවනාව වඩනවා. නැත්නම් සියලු සත්ත්වයන් උදෙසා කරුණා භාවනාව, මුදිතා භාවනාව වඩනවා. නැතිනම් බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මේ සියල්ල ම අනිත්‍ය යි. අනිත්‍ය සියල්ල ම දුකයි. දුක් දේ අනාත්ම යි. ආදී ලෙස අනිත්‍ය භාවනාව දිනකට වරක් දෙවරක් පුරුදු කරනවා. එය ඉතාමත් උතුම් භාවනාවක්.

කෙනෙක් මේ තුන් මාසය පුරාවට ම මම ඉතිපිසෝ භගවා ගාථාව මෙ පමණ වාර ගණනක් සජ්ඣායනා කරනවා යැයි සිතා ගණන් තබාගෙන කටයුතු කරනවා නම් එය සම්පූර්ණ කරන්නත්, වෙනත් ගාථා සජ්ඣායනා කරන්නන් සිතේ කැමැත්ත ඇති වෙනවා. මේ වස් තුන් මාසය පුරාවට ම මම නිවසේ බුද්ධ වන්දනාව කරනවා කියා තව කෙනෙක්ට අධිෂ්ඨානයක් ඇති කර ගන්නට පුළුවන්. ඒ වගේම ඔබ ඔබගේ ජීවිතයේ ආධ්‍යාත්මික ගුණ ධර්ම දියුණු කර ගැනීමට පැය භාගයක් වෙන් කර ගන්න. එවිට මේ අසිරිමත් වස් කාලයේ පින්, කුසල් වඩා ගන්නට අවස්ථාව තිබෙනවා.

ඔබට පුළුවන් විවේක කාලයක දී විහාරස්ථානයට ගොස් ස්වාමීන් වහන්සේ සමඟ ධර්ම සාකච්ඡාවක් කරමින් ධර්ම ඥානය වැඩිදියුණු කර ගන්න. එහෙම නැත්නම් මේ තුන් මාසයේ ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ කියවන්න.

නැතිනම් ධම්මපදය ගාථා තේරුම් සහිත ව සජ්ඣායනා කරන්න. ජාතක පොත් වහන්සේ කියවීම ආදී යම් තෝරාගත් දෙයක් මේ කාලය තුළ දී පුරුදු කරන්න පුළුවන්. ඒක තමන් තුළ විශාල ආධ්‍යාත්මික ශක්තියක් බවට පත්වෙනවා. එය ආචින්න (පුරුද්දක්) ලෙස කරන කර්මයක් ද වෙනවා.

මේ කිසිවක් ඔබට කළ නොහැකියි කියා සිතන්න. එසේ නම්, ඔබට පුළුවන් දිනපතා සතෙකුට කෑම වේලක් දෙන්න, ඉඩ තිබෙන තැනක පැළයක් රෝපණය කරන්න, විහාරස්ථානයට ගොස් වත් කරන්න. විහාරස්ථානය පිරිසුදු කිරීම තුළින් ඔබට විශාල පිනක් රැස් වෙනවා. ඒ තුළින් තමාට සිල් ගුණදම් පිරෙනවා. වත් පුරන්නේ නැති කෙනාට සිල් පිරෙන්නේ නැති බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ.

ඒ වගේ ම ඔබ තුළ යම් යම් අගුණ, දුර්වලතා, අඩුපාඩු තිබෙනවා කියා හිතන්න. ඒවා හඳුනාගෙන එයින් මිදීමත් මේ කාලයේ දී කර ගන්නට පුළුවන්.

අදින් උදාවෙන මේ වටිනා තුන් මාසය නැවත උදාවෙන්නේ ලබන වසරේ දී යි. එනිසා උතුම් පිනෙන් ජීවිතය පුරවා ගත හැකි මේ කාලයේ ඔබටත් උතුම් පින්කම් කර ගන්නටත්, නුවණින්, ගුණයෙන් දියුණු වීමටත් ශක්තිය ලැබේවා.

ඇසළ පුර පසළොස්වක

ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]